2017 දෙසැම්බර් 23 වන සෙනසුරාදා

තරු ග‍ෙවන නත්තල්....

 2017 දෙසැම්බර් 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 117

නත්තලට තව දවසයි... හැම කතෝලික ගෙදරකම මේ අසිරිමත් දවසට දින ගාණක් තිස්සේ සූදානම් වෙනවා. නත්තල් ගහක් හදනවා... ගව ලෙනක් හදනවා... තව එක එක විදිහට නත්තලට සූදානම් වෙනවා. ඉතින් මේ කලබලයත් එක්ක අපේ ආදරණීය කතෝලික කලාකරුවන්ගෙන් කලාකාරියන්ගෙන් නත්තල් සූදානම ගැනත් අපි අහලා බැලුවා.

අප්‍ෙ නත්තල් ගහ මාස හයකට ගලවන්න‍ෙ නෑ

රයිනි චාරුකා

නත්තලට කියලා අපි එහෙම ලොකුවට සූදානමක් වෙන්නෙනම් නෑ. හැම නත්තලටම වාගේ අපි විසිපස් වැනිදා උදේ පල්ලියේ පූජාවට සහභාගි වෙනවා. 

මේ දවස්වල නම් ප්‍රසංග කීපයකටම නත්තල වෙනුවෙන් අපිට ආරාධනා ලැබිලා තියෙනවා. අපි ඒවාට යනවා. ගෙදර නත්තල් ගහක් හදලා අපි ඒක ලස්සනට සැරසුවා. හැබැයි වැඩේ කියන්නෙ නත්තල ඉවරවෙලා මාස හයක් විතර යනකම්ම ඔය නත්තල් ගස ගලවන්න අපිට හිත ඉඩදෙන්නෙ නෑ. මේ නත්තලට අපි හැමෝටම සුභ නත්තලක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

අද මේ හැමදෙයක්ම විහිළුවක්

මාරියෝ ආනන්ද

එහෙම මට ලොකු වෙනසක් නෑ. ඉස්සර අපි පුංචි කාලේ අම්මයි තාත්තයි, අක්කයි මාවයි දෙසැම්බර් 24 වැනිදා රෑට පල්ලි එක්කගෙන යනවා. 

අද බොහෝ දෙනෙක්ට නත්තලේ සැබෑ අර්ථය අමතකවෙලා. නත්තලේ සැබෑ අර්ථය තමයි ජේසුස් වහන්සේගේ උත්පත්තිය. නත්තල් සීයා කියලා හඳුන්වන්නෙ සාන්තුවරයෙක්. ඒත් අද මේ හැමදෙයක්ම විහිළුවක් වෙලා. සැබෑ අර්ථය යටපත් වෙලා. මේ හැමදෙයක්ම වෙළෙඳ භාණ්ඩ වෙලා. නත්තල් කියන්නෙ පව්කාරයන් විදිහට සිටින හැමෝටම ඒ පව්කාරකමින් ගැලවීමක් ලැබෙන දවසක්. ඒ ගැලවීමට හිත් හැරවීමක් තමයි මේ දවසට වෙන්නෙ. ඒත්... අද බොහෝ දෙනෙක්ට ඒක අමතකවෙලා. මම මේ පාරත් මගේ අම්මා අක්කා එක්ක 24 වැනිදා රූ දොළහට පල්ලියට යනවා.

රෑ දා‍ෙළහට පල්ලි ගිහින් බුලත් දීලත් වඳිනවා

අමීෂා කාවින්දි

පුංචි කාලේ ඉඳන් අපි දෙසැම්බර් 24 වැනිදා රූ දොළහේ පූජාවට ගෙදර කට්ටිය හැමෝම එක්ක පල්ලි යනවා. මේ පාරත් දෙසැම්බර් 24 වැනිදාට අපි පල්ලි යනවා. ඉස්සර අපේ ආච්චි අම්මාගේ ගෙවල් තිබුණේ උස්වැටකෙයියාවේ. 

ඉතින් අපි පල්ලි ගිහින් ඉවරවෙලා හැමෝම ආච්චි අම්මාගේ ගෙදරට යනවා. අපි එදාට අපේ වැඩිහිටියන්ට බුලත් දීලා වඳිනවා. මම දහම් පාසලේ ගීතිකා කණ්ඩායමේ හිටියා. ඉතින් ඉස්සර අපි නත්තල් දවසට කැරොල් ගායනා කරනවා. දැන් වුණත් අපි අපේ ගෙදර නත්තල් ගහක් ලස්සනට හදලා තියෙනවා. ඉතින් මේ නත්තලටත් අපි වෙනදා වගේම පල්ලියට ගිහින් ආශිර්වාද අරගෙන වැඩිහිටියන්ට බුලත් දීලා වැඳලා ආශිර්වාදය ලබාගන්නවා.

අම්මා තනිය‍ෙන් නත්තල්  කේක්  හැදුවා
ශනුද්‍රි ප්‍රියසාද්

නත්තලට කියලා ලෑස්තිවෙන්න මේ දවස් ටිකේම ඉඩක් ලැබුණේ නෑ. අපි තුන්දෙනාට එක වෙලාවකට ගෙදර ඉන්න ලැබෙන දවස් හරි අඩුයි. 

හැබැයි ඉතින් කොහොම කොහොමහරි කරලා අපි ගේ ඩෙකරේෂන් කළා. ලොකු අක්කා තමයි ගෙදරට ඕන කරන කර්ටන් එහෙම ලස්සනට හැදුවේ. නත්තල් ගස ලස්සනට සැරසුවේ දෙවැනි අක්කා. අපිත් එයාට උදවු කළා. මාත් එක එක වෙනස් විදිහේ ඩෙකරේෂන් කීපයක්ම කළා. අපේ අම්මා තමයි නත්තල් කේක් එක හැදුවේ. වෙනදාට අපි තුන්දෙනාත් නත්තල් කේක් එක හදන්න අම්මාට උදවු කළා. හැබැයි ඉතින් මේ පාරනම් අපිට උදවු කරන්න වෙලාවක් තිබුණේ නෑ. ඒ නිසා අම්මා තමයි නත්තල් කේක් එක තනියම හැදුවේ. අපේ ඇඳුම් වුණත් හරි ලස්සනට මහන්නෙත් අපේ අම්මාම තමයි. හැමපාරම වගේ මේ දෙසැම්බර් 24 වැනිදා රෑ දොළහේ පූජාවට අපි හැමෝම එකතුවෙලා පල්ලි යනවා.

නත්තලට කියලා ලොකු සූදානමක් නෑ

රොෂාන් ප්‍රනාන්දු

මිනිස්සු ජීවිත කාලයම මේ සූදානම් වෙන්නේ ජීවත් වෙන්නයි. හැම ආගමකම පණිවිඩයක් තියෙනවා. මේ ගෙනයන්නෙ ඒ පණිවිඩයයි. 

නත්තල් පණිවිඩය තමයි සාමය හා සහජීවනය. ඉතින් ඒ අපේ සිතුම් පැතුම් අලුත් කරගන්න එක තමයි හොඳම දේ. මේ නත්තල හරහා එක පණිවිඩයක් ආයේ මතක් කරනවා. ඒ තමයි මනුස්සකම. අද සමාජය තුළින් ඈත්වෙලා තියෙන්නෙත් ඒ මනුස්සකමම තමයි. ඉතින්... මේ නත්තලටත් අපි හැමෝටම කියනවා... අපි හැමෝම එකතුවෙලා මනුස්සකම අරගෙන යමු කියලා. ඒකට ජාති භේදයක් නෑ. අපි හැමෝම තුළම තියෙන්නෙ එකම ලේ. ඉතින්... මේ නත්තලට කියලා ලොකු සූදානමක් නෑ. හැම අවුරුද්දෙම විසිහතර වැනිදා හරි විසිපස් වැනිදා හරි දවස් දෙකින් එක දවසක අපි ෂෝ භාරගන්නෙ නෑ. කොහොමටත් 24 වැනිදා රෑ පූජාවට අපි පල්ලි යනවා.

පාටි නෑ. දුප්පත් පවුලකට උදවු කරනවා

සුරනි ද මැල්

අපි නත්තල් කියලා එහෙම ලොකුවට පාටි දාන්නෙ නම් නෑ. එහෙම ලොකුවට අනවශ්‍ය දේවල්වලට වියදම් කරනවාට වඩා අසරණ වුණ, තව කෙනෙකුගේ අතදීමක් අවශ්‍ය පවුලක් බලලා, පාසල් යන අසරණ දරුවන් කීපදෙනෙක් බලලා ඒ අයට උදවු කරන එක තමයි අපි හැම නත්තලකටම කරන්නෙ. දෙසැම්බර් 24 වැනිදා රෑ දොළහේ පූජාවට අපේ පවුලේ හැමෝම පල්ලියට ගිහින් දේව පූජාවට එකතු වෙනවා.

 මේ දවස්වල එක එක නත්තල් ෂෝ.. මාධ්‍ය ආයතනවල නත්තල් වැඩසටහන්වලටත් සහභාගි වෙනවා. විසිහතර වැනිදා අපි යන්නේ මොරටුව ශාන්ත පීතර දෙව් මැඳුරටයි. ඉස්සර නම් අපේ ගෙදර නත්තල් ගස හැදුවේ දෙසැම්බර් මාසේ විසි වැනිදා විතර. හැබැයි දැන් අවුරුදු දෙකක් තිස්සෙ අපේ ගෙදර නත්තල් ගස ගෙයි හදලා සරසන්න පටන් ගන්නෙ දෙසැම්බර් පළවැනිදා විතර ඉඳලයි. බබා නිසා අපි වේලාසනම නත්තල් ගස හදන්න පටන් ගත්තා.
 

ව‍ෙනදාට ෂෝ බාරගන්නෙ නෑ ම‍ෙදාපාරනම් රෑ මට ප්‍රසංගයක්

ශානිකා වනිගසේකර

නත්තලට කියලා අපි එහෙම පාටි මොනවත් දාන්නෙ නෑ. හැම නත්තලටම අපි 25 වැනිදා උදේ 9.00 පූජාවට පල්ලි යනවා. ඒ ගියාම පල්ලියෙදි අපිට අපේ හිතවතුන් බොහෝ දෙනෙක් මුණගැහෙනවා. 

පල්ලියට හැම තරාතිරමකම අය එනවා. අපි එක පවුලේ අය වගේම හැමෝම එකතුවෙලා යාඥා කරනවා. කොහොමටත් උදේ 9.00 ඉඳන් දවල් දොළහමාර එක විතර වෙනකම් අපි පල්ලියේ ඉන්නවා. ඉතින් අපේ නත්තල අපි සමරන්නෙ පල්ලියෙම තමයි. අපේ ගෙදර නත්තල් ගස හැදුවෙත් අද (23 වැනිදා). වේලාසන හදලා තිබ්බොත් නත්තල් දවසට බලද්දි ඒකෙ එල්ලන එක එක දේවල් ගලවලා අන්තිමට නත්තල් ගස විතරයි ඉතිරිවෙන්නෙ. ඉතින් මේ නත්තල් ගස කොහොමටත් ජනවාරි 01 වැනිදා විතර වෙනකම්ම තියෙනවා. වෙන නත්තල් දවස්වලට නම් මම ෂෝ භාරගන්නෙ නෑ. හැබැයි ඉතින් මේ පාරනම් නත්තල් දවසට රෑට ප්‍රසංගයකුත් තියෙනවා.


► Text -Dishani / Pic- Sumudu / Internet