2017 දෙසැම්බර් 23 වන සෙනසුරාදා

ඉන්දියාවේ කප් ගහපු අයත් මට පැරදුණා

 2017 දෙසැම්බර් 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 186

ඉන්දියාවේ සියලු ගායකයන් පරදවමින් මාෙහා‍ෙමඩ් රාෆිග්‍ෙ ගීත 1000ක් ගයන්නට වරම් ලද අප්‍ෙ ගායකයා

සංගීතය විශ්ව භාෂාවක් බව කවුරුත් පිළිගන්නා සත්‍යයක්. විවිධ රටවල්වල සංගීත ශෛලීන් සංගීත සංස්කෘතීන් හරහා දස්කම් දක්වන්නට අපේ රටේ කලා ශිල්පීන්ටද විරල අවස්ථාවන් ලැබී තිබෙනවා. 

දශක තුනකට අධික කාලයක් භාෂා 7කින් ගී ගයන තම ගායන කුසලතාවන් හරහා සුවහසක් ප්‍රේක්ෂක ජනාදරයට පාත්‍රවූ ෆාහිර් මව්ජූද් එවැනි සුවිශේෂී දක්ෂතා දක්වමින් ජාත්‍යන්තරය පිළිගත් ගායන ශිල්පියෙක්.
ඉන්දියාවේ සුප්‍රකට ගායන ශිල්පී මොහමඩ් රාෆිගේ ගීත 1000ක් ලොවටම ගයන්නට නිල වශයෙන් වරම් ලැබූ ෆාහිර් මව්ජූද් අද අප හා පිළිසඳරට සම්බන්ධ කර ගත්තෙමු.

හින්දි ගීත ගායනය තුළින් ලොවක් වසඟ කළ ෆාහිර් මව්ජූද් සිංහල, ඉංග්‍රීසි, දමිළ, අරාබි, උර්දු මෙන්ම ස්පාඤ්ඤ ගීතද ඉතාම රසවත් ලෙස ගායනා කරයි.

මම විවිධ ශෛලීන් අනුගමනය කරන ගායකයෙක්. ඒකයි මගේ විශේෂත්වය. සුප්‍රකට බටහිර ගායකයින්ගේ ශෛලියෙන් මට හින්දි ගීත ගායනා කරන්නත් පුළුවන්. ඉදිරියේදී මම එවැනි පර්යේෂණාත්මක ගීත කීපයකුත් කරනවා. මම මෑතකදී පටිගත කළ ස්වතන්ත්‍ර ගීත රැසකට සංගීතය සැපයූවේ, තනු නිර්මාණය කළේ අති දක්ෂ සංගීතවේදී සරත් ද අල්විස් ශූරීන්.

ඔබට ලොව පිළිගත් සුප්‍රකට ගායක මොහමඩ් රාෆිගේ ගී දහසක් ගායනා කිරීමේ වරම ලැබුණේ කෙසේද?
ඒක නම් මගේ පූරුවෙ වාසනාවකට ලැබුණු වරමක් වෙන්න ඇති. ඉන්දියාවේ අති දක්ෂ ජනප්‍රිය ගායකයින් අභිබවා මට ඒ වාසනාව ලැබුණේ මගේ තිබෙන කුමක් හෝ දක්ෂතාවයන් නිසා වෙන්න ඇති. මම ඕනෑම දෙයක් උපරිම කැපවීමෙන් කරන්නෙ. මම හිතන්නෙ මේ දේවල් ලැබෙන්නෙ ඒ කැපවීම නිසයි. ලෝ පතල සංගීතවේදී ඒ.ආර්. හෙමාන්ගේ වාදන වෘන්දයේ වෙනමම කණ්ඩායමක් මගේ රාෆි ගී ප්‍රසංගය සඳහා ඉන්දියාවේ පුහුණු වෙනවා. මගේ සංගීත ගමනට බී.එච්. අබ්දුල් හමීඩ්ගෙන් ලැබෙන සහාය හා උපදේශකත්වය ගෞරවයෙන් සිහිපත් කරනවා. මම ළඟදීම ඉන්දියාවට යනවා මේ කටයුතු සඳහා. ඒ වගේම මා හට පැවරූ රාෆි ගී දහස ප්‍රසංගය ලොව වටා ගෙන යන්නට සැලසුම් කරලා තියෙනවා.

ඔබ සංගීතයට යොමු වුණේ කුඩා කාලයේදී ද?
ඔව් මම සංගීතයට ලැදියාවක් දැක්වූයේ ඉතාම කුඩා වයසෙදී. ඒකට වැඩියෙන්ම හේතු වුණේ මගේ පියා. ඔහු සුප්‍රකට ව්‍යාපාරිකයෙක් හැටියට නමක් දිනා සිටියේ ලෝඩ් මව්ජුද් නමින්. ඔහු ව්‍යාපාරිකයෙක් වුණාට අති දක්ෂ ගායන හැකියාවක් තිබූ කෙනෙක්. ව්‍යාපාර කටයුතුවලට මුල් තැන නුදුන්නානම් ඔහු ලොව ජයගත් ගායකයෙක් වෙන්න තිබුණා. ඔහුට රාෆිගේ හඬ සහජයෙන්ම පිහිටලා තිබුණා. මමත් ව්‍යාපාරිකයෙක්. සංගීතය තමයි මගේ ප්‍රියතම විනෝදාංශය. මාව ජීවත් කරවන්නෙත් සංගීතයයි.
ඔබ ඉන්දියාවේ ප්‍රවීණතම සංගීතවේදී ටී.එම්. සෞන්දර්රාජන් සමඟ යුග ගීතයක් ගැයුවා නේද? අපි එය යූ ටියුබ් හරහා නරඹා තිබෙනවා.

මගේ ජීවිතේ එක්තරා කඩඉමක් තමයි ඒ ගීතය. ඒක ඔහු ගායනා කළේ මගේ තනුවකට අනුවයි. මා ගැන උපහාර ගීතයක් තමයි ඒ. ඉන්දියාවෙ ප්‍රවීණ ගායකයෝ පවා ටී.එම්. සෞන්දර්රාජන් ඉදිරියේ බයේ වෙව්ලනවා. ඒත් ඔහු මගේ තනුව ගැන පැහැදිලා මා සමඟ ඉතාම සුහදව මේ ගීය ගායනා කළා. එස්.පී. බාලසුබ්‍රනියම් හා සයිලජාන් මට ගීත දෙකක් නිර්මාණය කළා.

ශ්‍රී ලාංකික සංගීතයට ඔබේ දායකත්වය කෙබඳුද?
පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව ශූරීන් වගේම සංගීත් නිපුන් සනත් නන්දසිරිත් මට ගී තනු නිර්මාණය කරල තියෙනවා. ඔවුන් මගේ ගුරුවරුද වෙනවා. ඒත් මගේ මුල්ම ගුරුවරයා වුණේ ටී.එම්. සෞන්දර්රාජන්. සංගීතය තුළින් මා මගේ ජීවිතයට උකහාගත් ප්‍රධානම දේ තමයි සරලත්වය හා නිහතමානි බව. සංගීතයට හා කලාවට ජාති, ආගම්, භාෂා භේද නැතුවා සේම අපිත් ජීවත් වෙන්න ඕනේ එහෙමයි. මමත් මේ කිසිම භේදයක් සලකන කෙනෙක් නෙවෙයි. මම මුල් තැන දෙන්නෙ උතුම් මනුෂ්‍යත්වයට. මගේ නමින් සුභ සාධක පදනමක් තියෙනවා. ඒ හරහා මේ සමාජයේ අසරණ හැම කෙනෙකුටම උදව් කරනවා. මගේ පියාත් ඒ වගේ තමයි ජීවත් වුණේ.

ඔබේ අනෙකුත් කලා කටයුතු ගැන මතක් කළොත්?
 රාෆි ගී දහස ප්‍රසංගයට අමතරව මම ලංකාවේ ගසල් සංගීත ප්‍රසංග මාලාවක් කරන්න සැලසුම් කරගෙන යනවා විශාරද මනෝජ් පීරිස් සමඟ. ඉන්දියාවේ චිත්‍රපට දෙකක පසුබිම් ගායනයට ඇරයුම් ලැබී තිබෙනවා. රංගනයෙන් දායකවෙන්නත් අවස්ථාවක් ලැබේවි. මගේ පියා තමයි ලංකාවෙ ෆාහිර් ෆිල්ම්ස් සමාගම ආරම්භ කළේ. සිංගප්පූර් චාලි ඇතුළු චිත්‍රපට කීපයක් ඔහු නිෂ්පාදනය කළා.

ෆාහිර් ෆිල්ම්ස් සමාගමට නව ජීවයක් දෙමින් චිත්‍රපට නිෂ්පාදනයට පිවිසෙන්නත් මම බලාපොරොත්තු වෙනවා. ඉන්දියානු සමාගමක් සමඟ ඒ සඳහා දැනටමත් කතාබහක් සිදුකරමින් යනවා. ඒ වගේම චාන්දනී හෙට්ටිආරච්චි ප්‍රවීණ ගායන ශිල්පිනියගේ CANDC සංගීත කණ්ඩායමට මම එකතු වුණා. ඔවුන් හා කොරීන් සමඟ අපූරු සංගීත ප්‍රසංග මාලාවත් පවත්වන්නට සැලසුම් කරගෙන යනවා. 

► Text – Ramesh Uvais /  Pic – Internet

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00