ජනුක.. අපි මේ කතාබහ ඔයාගේ ගමෙන්ම පටන් ගත්තොත්...
මගේ ගම ගලේවෙල... ඉස්කෝලේ ගියේ කුරුණෑගල මලියදේව පිරිමි විදුහලට. මගේ පවුලේ ඉන්නේ මගේ අම්මයි, අප්පච්චියි, මගේ අයියලා දෙන්නයි, මල්ලියි විතරයි. පවුලේ ඔක්කොම කොල්ලෝ හතරදෙනයි.
පුංචි කාලේ ආසාවෙන් හිටියේ කවුරු වෙන්නද...?
පුංචි කාලේ ඉඳලා ආසාවෙන් හිටියේ පයිලට් කෙනෙක් වෙන්නයි. මම ඒලෙවල්වලටත් විෂයන් තෝරගත්තේ ඒ විදිහටයි. මම A/Lවලට කළේ ප්‍රංශ භාෂාව, භූගෝල විද්‍යාව සහ සිංහලයි. කොහොමහරි එහෙම ඉඳිද්දී මම 2012 අවුරුද්දේ රූපවාහිනි නාලිකාවක අවුරුදු කුමාරයා තරගයට සහභාගී වුණා. ඒකෙන් මම හතරවැනියා වුණා. එතනින් මට බොහෝ දෙනාව හඳුනගන්න අවස්ථාව ලැබුණා. මගේ උස 6’ 4’’ යි. දැනට ලංකාවේ නිරෑපණ ක්ෂේත්‍රයේ ඉන්න උසම කෙනා මමයි. 2014 අවුරුද්දේ Best model of Sri Lanka තරගයෙන් මම දෙවැනියා වුණා. එතනින් පස්සේ මට බොහෝ යාළුවෝ හඳුනගන්න අවස්ථාව ලැබුණා.
මේ දේවල්වලට ගෙදරින් කැමති වුණාද...?
එහෙම ලොකු අකමැත්තක් තිබුණේ නෑ. අපේ අප්පච්චි ව්‍යාපාරිකයෙක්. ඉතින් අප්පච්චිනම් හැම වෙලේම කිව්වේ ඔය දේවල් නවත්තලා අප්පච්චිගේ ව්‍යාපාරවලට එකතු වෙන්න කියලා. කොහොමහරි ටික කාලයක් එහෙම ගියාට පස්සේ මම වැඩිපුර අධ්‍යාපනයටත් එක්ක ඕස්ට්‍රේලියාවටයි, කැනඩාවටයි ගියා. එහේ ගියාට පස්සෙත් මගේ හිත තිබුණෙම ලංකාවේ. එහේ තිබුණ කාර්යබහුල ජීවිතයට මම අකමැති වුණා. කලාවට මම හරි ආසයි. මට ඕන වුණේ කලාව පැත්තට යොමුවෙන්නයි. ලංකාවේදී කට්ටිය මාව ටිකක්හරි අඳුරගෙන හිටියට ඒ රටවල්වල මාව එහෙම කවුරුත් දන්නේ නැති නිසා මට ඇත්තටම ඒ රටවල ඉන්න බැරි වුණා. ඒ නිසා මම ආයෙමත් ලංකාවට ආවා.
ඊට පස්සෙද Best model of Sri Lanka තරගයට ආයෙමත් මේ අවුරුද්දේ සහභාගී වුණේ....?
ඔව්... මේ අන්තිම තරගය කියලා හිතලා හොඳටම ඇඟත් හදාගෙන මම ආයෙත් තරගයට ඉදිරිපත් වුණා. තරගයට එද්දී ගෙදරින් මුලින් අකමැති වුණා. අප්පච්චිනම් හැමවෙලේම කිව්වේ ඔය දේවල් නවත්තලා ව්‍යාපාර බලාගෙන ඉන්න^ කියලා. ඒත්... මගේ ආසාව තිබුණේ මේ පැත්තටයි. ඉතින් fb එකේදී මම දැක්කා 2017 මේ තරගය ආයෙමත් තියෙනවා කියලා. ඒකෙන් මම Best model of Sri Lanka වුණා.
ඊට පස්සේ ජනුක පැරීසිය Best model of the world තරගයට ඉදිරිපත් වුණා...?
ඔව්... ඇත්තමයි. ඒ ෂෝ එක තිබ්බේ දෙසැම්බර් 11 වැනිදා. මම ලංකාවෙන් ගියේ දෙසැම්බර් 04 වැනිදා. ලංකාවෙන් මමයි තව ගර්ල් කෙනෙක්වයි යන්න තේරුණා. ඒත් බොහෝ තැන්වල සිදුවන දේ වගේම ඒ ගැහැනු ළමයට යන්න අවස්ථාව ලැබුණේ නෑ. ජාත්‍යන්තර තරගයකට මම ඔය මුලින්ම මුහුණ දුන්නමයි. රටවල් හතළිස් පහක් විතර හිටියා. ඉස්කෝලේ යන කාලේදී ප්‍රංශ භාෂාව ඉගෙනගත්තු නිසා මට ඒ රටේදී කතාබහ කරන එක ටිකක් ලේසි වුණා. එහෙදි බොහෝ දෙනා කතා කළේ ඒ භාෂාවයි. අනිත් රටවල්වල හිටපු තරගකරුවන් හරිම හොඳයි. අදටත් මට ඒ අය කතා කරනවා. එහේ රටවල්වලට එන්න කියනවා.
තරගයේදි ඔයාගේ නම කියද්දී මොකද හිතුණේ...?
අම්මෝ.... ගොඩක් සතුටු හිතුණා. මුලින් අප්පච්චි අකමැති වුණාට, පස්සේ අප්පච්චි මම ගැන ගොඩක් සතුටු වුණා. මම වෙනුවෙන් බාර වුණා. එදා Best model of Sri Lanka කියද්දී මට හිතාගන්න බැරි වුණා. මට අදහාගන්න බැරිව වටපිට බැලුවා. එතකොට නිවේදකයා හිනාවෙලා yes, you කියලා මට කිව්වා. එදා මාව පිළිගන්න මගේ අම්මයි, අප්පච්චිචයි එයාර්පෝට් එකට ඇවිත් හිටියා. මගේ අයියලයි ගමේ යාළුවොයි මාව පිළිගන්න ගමේ උත්සවයක් සංවිධානය කරලා තිබුණා. එදා ගමේ මිනිස්සු ගොඩක් ඇවිත් මට සුභ පැතුවා. ඇත්තටම ගොඩක් දුෂ්කරතා විඳලා මම ගත්තු මේ ජයග්‍රහණය ගැන ඇත්තටම එදා ගමට ගිය දවසේ මට ලොකු සතුටක් දැනුණා.
මේ වෙනකොට ජනුකට රංගනයටත් ආරාධනා ලැබිලා... එහෙම නේද....?
ඔව්... දැනටමත් මට එහෙම ආරාධනා කීපයක්ම ලැබිලා තියෙනවා. ඒ අතරින් හොඳ නිර්මාණවලට මම දායක වේවි. ආරාධනා ලැබෙන හැම දෙයක්ම මම බාරගන්නේ නෑ. හොඳ මියුසික් වීඩියෝවල විතරයි මම රඟපාන්නේ. දැනට මගේ අප්පච්චිගේ ව්‍යාපාරවලට සම්බන්ධවෙලා වැඩ කරගෙන යනවා.
ජනුක අද මේ තැනට ආවේ බොහෝ දුෂ්කරතා විඳලා... එහෙම නේද?
ඔව්.... ඇත්තටම. ඒ ගැන කියන්නත් හරි දුකයි. ඒක පුදුම දුකක්. මේ වෙනුවෙන් හැම වියදමක්ම මට තමයි දරන්න සිද්ධ වුණේ. මම තමයි මේ වෙනුවෙන් වෙනම අනුග්‍රාහකයෙක් පවා හොයාගත්තේ. මේ වෙනුවෙන් තරගය සංවිධානය කරපු අය කිසි දෙයක් කළේ නෑ. මගේ පාස්පෝට් එක පවා ඒ අය ළඟ තියාගෙන මගෙන් සල්ලි ඉල්ලුවා. Best model of Sri Lanka තරගයෙන් මට කිසිම ත්‍යාගයක් ලැබුණේ නෑ. හොඳ වෙලාවට මට වෙන අනුග්‍රාහකයෙක් අප්පච්චි හොයලා දුන්නු නිසා මට මේ තරගයට යන්න පුළුවන් වුණේ. ඇත්තටම මේ සංවිධායකවරු කරන්නේ බිස්නස් එකක්. මේ වෙනුවෙන් රට නියෝජනය කරපු මට ඒ සංවිධායකවරු කිසිම දෙයක් කළේ නෑ. ඇත්තටම මේ වගේ දේවල් කරන්න එපා. ඒක ඉදිරියේදී මේ වගේ තරගවලට සහභාගී වෙන්න ඉන්න අයට ලොකු අසාධාරණයක්. ඇත්තටම මේ ගැන තියෙන්නේ ලොකු කලකිරීමක් එක්ක ලොකු දුකක්. ඒත්... අවසානයේදී ඒ කලකිරීමත් එක්ක දුක් විඳලා මට පැරිසියේදී Best model of the world කිරුළ ලංකාවට ගෙන එන්න අවස්ථාව ලැබුණා.
► Text -Dishani / Pic- Sumudu