2017 දෙසැම්බර් 30 වන සෙනසුරාදා

දැහැන

 2017 දෙසැම්බර් 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 67

තෑග්ගක් හම්බෙද්දී හිතට දැනෙන්නේ කොයි වගේ සතුටක්ද? තෑග්ගට මිලක් තිබුණට ඒ සතුටට මිලක් නෑ. හැම තෑග්ගක්ම ආදරයේ සහෝදරත්වයේ ළ‍ෙන්ගතුකමේ සහ මිත්‍රත්වයේ සංකේතයක් කියලයි මට හිතෙන්නේ. නත්තලත් එක්ක අලුත් අවුරුද්දත් එක්ක තෑගිත් මතක් වෙනවා.

ඒත් පොහොසතුන්ගෙන් වගේම දුප්පතුන්ගෙනුත් අඩුවක් නැති ලෝකයේ හැමෝටම තෑගි ලැබෙන්නෙත් නෑ. හැමෝටම සතුට ආදරය ලැබෙන්නෙත් නෑ. කන බොන විනෝද වෙන හිනාවෙන මිනිස්සු අතරේ බඩගින්නේ අසතුටින් අඬන විඳවන මිනිස්සුත් ඕන තරම් මේ ලෝකයේ ඉන්නවා. ඉඳලත් තියෙනවා. අදටත් ඉන්නවා. හෙටත් ඉඳියි. පොහොසත්කම හැමෝගෙම බලාපොරොත්තුවක් වුණත් දුප්පත්කම හැමදාමත් මේ ලෝකයේ තියෙයි. වෙනස හැමදාමත් ඔබට නොවෙනස් අත්දැකීමක් වෙයි. දුප්පතුන් පොහොසත්කමට ආදරේ කරද්දී පොහොසතුන් දුප්පත්කමට වෛර කරනවා. ඒත් පොහොසතුන් කවදාවත් දුප්පත්කම ලෝකයෙන් තුරන් කරන්න කල්පනා කළෙත් නෑ. කල්පනා කරන එකකුත් නෑ. ඒ දුප්පත්කම නැති වුණදාට පොහොසත්කම කියලා දෙයක් ඉතුරු නොවෙන නිසා.

ජේසුස් වහන්සේ හැමදාමත් කතාකළේ බෙදාහදා ගැනීම සහ පරිත්‍යාගය ගැන. ප්‍රේමය සහ සාමය ගැන. ප්‍රේමය සහ පරිත්‍යාගය කියන්නේ ලෝකය වගේම මනුෂ්‍යත්වයත් ඉහළින්ම ඔසවා තියන හැඟීම් දෙකක්. ඒත් ලෝකයෙන් අතුරුදන් වේගෙන යන මනුෂ්‍ය හැඟීම් අතර ප්‍රේමය හා පරිත්‍යාගයත් ඉදිරියෙන්ම තියන හැඟීම් දෙකක්. මොහොතකින් මේ දැන් මේ ලෝකෙට ආවා වගේ ජීවත් වෙන්න හුඟක් මිනිස්සුන්ට පුළුවන්. හෙට දවස හැරෙන්න අන් සියල්ල මොහොතකින් අමතක කරන්න හුඟක් අයට පුළුවන්. අපි ජීවිතය හා ආදරය හොයන්නේ එහෙව් ලෝකයක. එහෙම පරම්පරාවක් එක්ක.

ආදරය සහෝදරත්වය සහ ළෙන්ගතුකම මහා වටිනාකමක් විදිහට දැනෙන්නේ අපි ජීවත්වෙන ප්‍රායෝගික ලෝකය මොනතරම් නම් කටුකද කියන එක හැඟෙද්දී. දැන් සුබපැතුම් පත් ලැබෙන්නේ හුඟක් අඩුවෙන්. Viber, Fb, Skype වගේ තාක්ෂණ මාධ්‍ය ඒ තැන අත්පත් කරගෙන. හමුවීම්වලට වඩා හැඟීම් ගනුදෙනුවලට වඩා තාක්ෂණය සන්නිවේදන මාධ්‍යක් විදිහට භාවිත කිරීම හුඟක් පහසුයි කාලය ඉතිරියක් කියන එක අද සමාජ චින්තනයක්. මිනිස්සු ආදරය කරන්නෙත් ජීවිතය බෙදා ගන්නෙත් sex කියන දේ විඳින්නෙත් අද හුඟක් දුරට ඒ මාධ්‍ය ඔස්සේ. මිනිස්සු එච්චර කෘත්‍රිම වුණේ කොහොමද කියලා හිතද්දී එක්තරා දුකක් වගේම මොකක්දෝ කලකිරීමකුත් හිතට වද දෙනවා. ලෝකය ඉස්සරහට යන්න ඕන මනුෂත්වයේ සුන්දරත්වය නොමරමින් කියලා මට හිතෙනවා.

ඔයා නොහිතන සතුටක් සුබපැතුම් පතකින් පුංචි තෑග්ගකින් කෙනෙකුට දෙන්න පුළුවන් කියලා මට හිතෙනවා. ඒ සතුට කෙනෙකුට දෙන්න අමාරු නෑ. හුඟක් අය තුළ නැත්තේ ඒ සිතුවිල්ල. ඒ හැමදේම පැත්තකින් තියන්න. කෙනෙකුගේ ජීවිතයේ එයාට වැදගත් එයා ආදරයෙන් සමරන දවසක් වෙනුවෙන් ඔයාට පුළුවන්නම් එක මොහොතක් කතා කරලා හදවතින්ම සුබ පතන්න, ඒක කෙනෙකුට කොච්චර සතුටක් වෙන්න පුළුවන්ද? අාදරණීයන්  ව‍ෙනුව‍ෙන් තප්පරයක්  ව‍ෙන්කරන්න අමතක කරන්න එපා. ඔයාෙග්  මාෙහා‍ෙතක අමතක වීම එයාට මුළු දවසකම දුකක් හිත් රිදවීමක් ෙවන්න පුළුවන්.
මෘදු සුමුදු ළ‍ෙන්ගතු  වචන සහ සිනහවක් වෙනුවෙන් සල්ලි වැය වෙන්නේ නෑ.... අලුත් අවුරුද්ද වෙනුවෙන් ඔයා පුළුවන් නම් ඒ හිතුවිල්ලට අත්තටු දෙන්න. ෙම් අවුරුද්ද මඟහැරුණා‍ෙත් ඊළඟ අවුරුද්දේදීවත්! 

I Saara