අලුත් අවුරුද්ද කියන්නේ අපේ බලාපොරොත්තු අලුත් කරවන මොහොතක්. ඇතැම් ජන කොටස් ජනවාරි පළමුවැනිදා හැරුණුවිට වෙනත් දින අලුත් අවුරුදු උදාව ලෙස සැලකුවත් පොදුවේ ජනවාරි පළවෙනිදා මුළු ලෝකයටම අලුත් අවුරුද්දක් උදාවන දිනය ලෙස හැඳින්වෙනවා. උත්තරාර්ධ ගෝලයේ සිට දක්ෂිණාර්ධ ගෝලයටත් අපරදිග සිට පෙරදිගටත් මුළුමහත් ලෝකවාසී ජනතාවම ජනවාරි පළමුවැනිදා නව වසරක සුබඋදාව ලෙස සලකනවා.
කෙසේ නමුත් ලෝකයේ විවිධ පැතිවල අලුත් අවුරුද්ද සමරන ආකාරය එකිනෙකට වෙනස්. මේ සොයාබැලීම ඒ විවිධත්වය ගැනයි.
පෙරදිග රටක් වුණත් ජපානය බටහිර රටවල් ආරට යමින් ජනවාරි පළමුවැනිදා නව වසරේ උදාව මහත් උත්සවශ්‍රීයෙන් සමරනවා. අලුත් අවුරුද්ද උදාවන සැන්දෑවේ ඒ කියන්නේ දෙසැම්බර් 31 වැනිදා සන්ධ්‍යාවේදී ඔවුන් ටොෂිකොෂි සෝබා නම් විශේෂ නූඩ්ල්ස් වර්ගයක අනුභව කරනවා. දිගැති මේ නූඩ්ල්ස් ආහාරයට ගනිමින් තමන්ගේ ජීවිත කාලයද ඒ තරම් දිගුවේවා යැයි ජපන් ජනතාව පතන බවත් සඳහන්. අලුත් අවුරුදුදාත් ජපන් රටේ ආහාරවලට ලොකු තැනක් හිමිවෙනවා. එහිදී ඔවුන් ඔසොවුනි නම් සුප් වර්ගයක් පානය කරනවා. එය සහලින් තැනූ කේක් යොදා කළ සුප් එකක්.
ජපන් සමාජය එකිනෙකාට තෑගි පිරිනැමීමටත් අලුත් අවුරුද්ද අවස්ථාවක් කරගන්නවා. අවුරුදු 22ට අඩු පිරිස් ළමුන් ලෙස සැලකෙන නිසා ඔවුන්ට ලියුම් කවරයක් තුළ බහාලූ මුදල් පිරිනැමීම බහුලව දකින්න පුළුවන්. ඒ වගේම වැඩිහිටියන්ටත් ලොතරැයි දිනුම් අංක ලියූ අලුත් අවුරුදු සුබපැතුම්පත් ලබාදීම සිදුකෙරෙනවා.
අලුත් අවුරුද්ද උදාවන මොහොතේදී ඒ කියන්නේ මධ්‍යම රාත්‍රී 12ට ජපානයේ බෞද්ධ පන්සල්වල ඝණ්ඨා වාදනයත් අහන්න ලැබෙනවා. හරියටම කිව්වොත් ඝණ්ඨාව 108 වාරයක් වාදනය කෙරෙනවා. ඒ වගේම නව වසරේ හිරු උදාවෙන මොහොතේදී කඳු මුදුන්වලත් මුහුදු වෙරළේත් හිඳිමින් සූර්යා දෙස බලමින් නීරෝගීමත් වසරක් ප්‍රාර්ථනා කරන ආකාරයත් දකින්න පුළුවන්.
මෙක්සිකෝවේ ජනතාව අලුත් අවුරුද්ද පිළිගන්නේ එකට හිඳ ආහාර ගනිමිනුයි. ඒ ආහාර වේලේ විශේෂත්වය තමයි විවිධ කෑම වර්ග ගන්න අතරේ අනිවාර්යෙන්ම මිදි ගෙඩි 12ක් අනුභව කිරීම. ඒ විදිහට මිදි ආහාරයට ගැනීමෙන් නව වසරේදී වාසනාව උදාවන බව ඔවුන්ගේ පිළිගැනීමයි.
කොහොම නමුත් ඔක්කොටම වඩා තමන් අඳින යට ඇඳුමත් එක්ක බද්ධ වෙච්ච අමුතු තාලේ විශ්වාසයක් මෙක්සිකානු ජාතිකයන් අතර තියෙනවා. ඒ තමයි තමන්ගේ යට ඇඳුමේ වර්ණයත් එක්ක තමන්ට වාසනාව උදාවෙනවා කියන ඇදහීම. උදාහරණ විදිහට ගත්තොත් රතු පැහැති යට ඇඳුමක් ඇන්දොත් ආදරය සම්බන්ධ බලාපොරොත්තු ඉදිරි වසරේ ඉටුවෙන බවත්, කහ පැහැති යට ඇඳුමක් ඇන්දොත් සෞභාග්‍යය උදාවෙන බවටත් ඔවුන්ගේ විශ්වාසයයි. ඒ වගේම අලුත් අවුරුද්දේ පානය කරන ෂැම්පේන් වීදුරුවට රන් මුද්දක් දැමීමෙනුත් සෞභාග්‍යය උදාවන බවත් සමහර මෙක්සිකානුවෝ කල්පනා කරනවා.
මෙක්සිකෝවේ තවත් චාරිත්‍රයක් තමයි ජලය පිරුණු වීදුරුවක් අරන් ඒකෙ තියෙන වතුර බිඳුව බිඳුව ජනේලයෙන් එළියට විසිකරන එක. අලුත් අවුරුද්දේ කඳුළු සලන්න සිදුනොවේවා යන්න එයින් අදහස් කෙරෙනවා. ඒ වගේ තවත් අපූරු චාරිත්‍රයක් තමයි හිස් සූට්කේස් එකක් අරගෙන අහල පහල ඇවිදින්න යන එක. එහෙම කළාම අලුත් අවුරුද්දේදී ගොඩක් තැන්වල සංචාරය කරන්න අවස්ථාව ලැබෙයි කියලා ඔවුන් අතර පිළිගැනීමක් තියෙනවා.
අලුත් අවුරුද්ද උදාවෙන්න පෙර දිනයේ සවස ඉතාලි ජාතිකයන් මුල් තැන දෙන්නේ හොඳ ආහාර වේලක් ලබාගන්නයි. විශේෂයෙන්ම ඌරුමස් මේ ආහාර වේලේදී වරදින්නෙ නැහැ. ඒ ආහාර වේලෙන් පස්සෙ මිදි සහ වියළි පළතුරු කෑමට ගැනීමටත් ඔවුන් හුරුව සිටිනවා. ඉතාලිය කියන්නේත් වයින් වලට ගොඩක් ප්‍රසිද්ධ රටක් නිසා මේ ආහාර වේලෙදි විශේෂයෙන්ම ස්පාක්ලින් වයින් වර්ග වරදින්නේ නැහැ.
මේ ආහාර වේල ලබාගැනීමෙන් පසු බොහෝ ඉතාලි ජාතිකයන් තමන්ගෙ වත්තේ ගිනිමැලයක් පත්තු කරන්නත් පවුලේ හැමෝම සමඟ එක්වී මල් වෙඩි පත්තු කිරීමටත් උනන්දු වෙනවා. ඒකෙන් ඔවුන් අපේක්ෂා කරන්නේ නපුරු ආත්ම නව වසරේදී පලවා හැරීමයි. ඒ වගේම ඉතාලියේ සමහර පළාත්වල මිනිස්සු අලුත් අවුරුද්ද උදාවෙන වෙලාවෙදි ගෙදර තියෙන අනවශ්‍ය පරණ බඩු ජනේලයෙන් එළියට විසි කරනවා. පරණ අනවශ්‍ය පුරුදු අලුත් අවුරුද්දේ අත්හරිනවා කියන එකයි ඒකෙ තේරුම.
පේරු ජනතාව අලුත් අවුරුදු කෑම මේසයට චිකන් සහ ටර්කි මස් අනිවාර්යෙන් එකතු කරගන්නවා. හැබැයි ඔවුන් ඒවා පිළියෙල කරගන්නේ pisco sour කියන පේරු රටටම ආවේණික වුණු කොක්ටේල් වර්ගයෙන් සෝදා ගනිමින්. පේරු වැසියන් කියන්නේ තරමක් සම්ප්‍රදාය එක්ක තදින් බැඳුණු ජාතියක්. ඒ නිසාම ඔවුන්ටම ආවේණික වුණු අවුරුදු චාරිත්‍ර රාශියක් පවතිනවා.
ඒ අතරින් විශේෂ චාරිත්‍රයක් තමයි අලුත් අවුරුදුදා සපත්තුවට කාසියක් දමාගෙන ඇවිදීම. එතකොට අලුත් අවුරුද්දේ ධන ලාභ වැඩිවන බව ඔවුන් හිතනවා. ඒ වගේම ඔවුන් තමන්ගේ සෝෆා කුෂන්වල අර්තාපල් හංගන්නේත් අලුත් අවුරුද්දේදී ආර්ථික දියුණුව පතමින්.
අලුත් අවුරුද්ද ලබන මොහොතේදී මේසයක් යටට වී හිඳිමින් කොළ පැහැ මිදි ගෙඩි හයකුත් දම් පැහැ මිදි ගෙඩි හයකුත් බැගින් මිදි දොළහක් අනුභව කිරීමත් ඔවුන්ගේ විශේෂ චාරිත්‍රයක්. එසේ මිදි ගෙඩි කන අතරතුර සෑම මිදිගෙඩියක් කෑමෙන් පසුවම එක් ප්‍රාර්ථනාවක් ඔවුන් සිදුකරනවා.
අලුත් අවුරුදු සමරුවේදී මාළු, පාත්ත මස්, සහ ඌරුමස් ජර්මානුවන්ගේ ප්‍රියතම ආහාරයි. ඒ සමඟම වයින් සහ බීර පානයත් ජනප්‍රියයි. මේ ආහාරවේලට ඔවුන් එක් කරගන්න ප්‍රධානම අතුරුපස තමයි ජෙලි ඩෝනට්.
අලුත් අවුරුද්ද උදාවන මොහොතේදී උදාවන වසර ගැන සාස්තර බලන්නත් ජර්මානුවන් හුරුවී සිටිනවා. ඒ මෙහෙමයි. ඊයම් කැබැල්ලක් දියවන තුරු රත් කරමින් අනතුරුව එය සීතල වතුර භාජනයකට වැටෙන්න සලස්වනවා. දියවී වැටෙන ඊයම් ගල්වී සැදෙන රූපය අනුව අදාළ පුද්ගලයාගේ අනාගත අවුරුද්ද කොයි වගේ වෙයිද කියන එක ගැන ඔවුන් අනාවැකි කියනවා.
► Text — Rajitha