ඉරාජ් වීරරත්න මේ නත්තලට ඔයා නත්තල් සීයා කෙනෙක් වුණා කියලයි ආරංචි...?
ඔව්... ඒක ඇත්ත... හැබැයි ගොඩාක් දෙනෙක් ඉතින් හිතන්නේ මම මේ දේවල් කරන්නේ ඔය ප්‍රසිද්ධිය බලාගෙන කියලනේ... අනේ... එහෙම ප්‍රසිද්ධියක් බලාගෙන කරපු දෙයක්වත් කරලා ඉවරවෙලා “ඔන්න මම මෙහෙම කළා. කියලා කට්ටියට කියන්නවත් කරපු දෙයක් නෙමේ.
එහෙමනම් ඇයි ඉරාජ් මෙහෙම දෙයක් කළේ...?
මේක කාගෙවත් අයිඩියා එකක් නෙමේ. ඒක මටම හිතිලා කරපු දෙයක්. නත්තල් කියන දේ ලංකාවේ මිනිස්සු සමරන විදිහ වැරදියි කියලා මට හැඟුණා. නත්තල් දවසේ උදේ ඉඳන් අැතැම් නළු නිළියෝ, කලාකාරියෝ, කලාකරුවෝ බීලා පිස්සු නටනවා මම දැක්කා. ඉතින් මට හිතුණා නත්තල කියන්නේ මේක නෙමෙයි කියලා.
එකපාරටම මේ අදහස ආවේ නත්තල් දවසේමද...?
නෑ... මම විසි හතරවැනිදා උදේ හිතුණා මෙහෙම දෙයක් කළොත් හොඳයි කියලා. ඊට පස්සේ මායි තව යාළුවෝ කීපදෙනෙකුයි 24 වැනිදා හවස හතරහමාරේ ඉඳන් විසිපස් වැනිදා පාන්දර එක වෙනකන් කොළඹ වටේ රවුම් ගැහුවා. අපි ඒ ගමන පොඩි කැමරාවකුයි, ෆෝන් එකෙනුයි ෂූට් කළා. ගෝල්ෆේස්, කොළඹ අවට, නුගේගොඩ හැම තැනම අපි ගියා. ගෝල්ෆේස් එකේ ඉඳන් හැම ෆයිස්ටාර් හොටෙල් එකක්ම නත්තලට සරසලා තිබුණ හැටි පාරවල් ලස්සනට සරසලා තිබුණු හැටි මම ෂූට් කළා. ඒ අතරේ සමහර මිනිස්සු නත්තල් මහ ඉහළින් ෆයිස්ටාර් හෝටල්වලට ගිහින් සමරද්දී තවත් මිනිස්සු කොට්ඨාසයක් ඉන්න හිටින්න තැනක් නැතිව මහ පාරවල්වල පුංචි දරුවෝ තුරුලු කරගෙන නිදාගෙන ඉන්නවා අපි දැක්කා. ඒ මිනිස්සු එක බත්පත හතර පස්දෙනා වටවෙලා පාරේ අයිනේ බිම තියාගෙන කන හැටි පවා අපි දැක්කා.
ඊට පස්සේ ද හිතුණේ මේ වගේ දෙයක් කරන්න ඕනේ කියලා...?
ඔව්... ඊට පස්සේ නත්තල් දවසේ උදේ අපේ රටේ සමහර කලාකරුවන්, කලාකාරියන් බීලා කාලා නටනවා මම දැක්කා. රටේ දන්න කියන පුද්ගලයෝ එහෙම කරද්දී නත්තල කියන්නේ ඒක නෙමෙයි කියලා මට හිතුණා. මම කතෝලික කෙනෙක් නෙමේ. මම බෞද්ධ කෙනෙක්. ඒත්... කතෝලික ආගමේ පණිවිඩය වෙන්නේ අනිකාට ප්‍රේම කිරීම සහ උදව් කිරීමයි. ඉතින් ඒ පණිවිඩය නිසාම මට ඕන වුණා මේ රටේ නත්තල් සමරන්නේ නැති අයට යමක් කරන්න. එච්චරයි මම කළේ.
නත්තල් දවසේ උදේ නත්තල් සීයාව නගරයේදී දකිද්දී ලැබුණු ප්‍රතිචාර කොහොමද...?
අපි නත්තල් දවසේ උදේ කොළඹ, නුගේගොඩ වගේ අවට තමයි ගියේ. හැබැයි කවුරුවත්ම දැනගෙන හිටියේ නෑ මම නත්තල් සීයා කියලා. මටත් ඒක කාටවත් කියන්න ඕන වුණේ නෑ. කිසිම කෙනෙක් දන්නේ නෑ. හැබැයි ගොඩාක් දෙනෙක් නත්තල් සීයා එක්ක ෆොටෝ ගත්තා. පොලිස් නිලධාරී මහත්තයෙකුත් නත්තල් සීයා එක්ක ෆොටෝ ගත්තා. හැබැයි එතුමාවත් මාව හඳුනාගත්තේ නෑ. එයාලා ෆොටෝ ගන්නේ නගරයට ආපු නත්තල් සීයා එක්ක විතරයි.
මොනවාද ඉරාජ් ඔයා නත්තල් සීයා විදිහට බෙදුවේ...?
මම දරුවන්ට පොත්පත්, සපත්තු, සෙල්ලම් බඩු බෙදුවා. ඇත්තටම අසරණ වුණු, වයසක අම්මලා තාත්තලා අතට සල්ලි දුන්නම මගේ අත තදින්ම අල්ලගෙන හිටියා. පොඩි දරුවන්ට සපත්තු අරගෙන දුන්නගමන් සපත්තු පෙට්ටිය තුරුලුකරගෙනම හිටියා. ඇත්තටම ඒ දරුවන්ට ඒ අම්මලා තාත්තලාට තෑගි බෙදලා මම ගොඩාක් සතුටු වුණා. මම හිතන්නේ නත්තල වෙනුවෙන් මම දෙයක් කළා. මම ඒ දේ කළේ ඒ ගැන එහෙම කතා කරන්නවත් නෙමේ. සැබෑ තන්තල කියන දේ මම මේ නත්තලේදී වින්දා. මට ඒ හොඳටම ඇති.
► Text -Dishani