අමිල.. පහුගිය නත්තල දවස්වල අපේ කලාකරුවන්, කලාකාරිනින් බොහෝ පිරිසක් විවිධ මාධ්‍ය වැඩසටහන්වලට සහභාගී වුණා. හැබැයි අමිලව පේන්න ලැබුණේ නෑ. කොහේද ගියේ?
මේ නත්තලට මම ලංකාවේ හිටියේ නෑ.. මම තේජාත් එක්ක නත්තල සැමරුවේ ඩුබායිවල. තේජා වැඩ කරන්නේ ඩුබායි ගුවන් සමාගමක. ඉතින්... ලංකාවේ නත්තල් උත්සවවලට සහභාගී වෙන්න අවස්ථාව ලැබුණේ නෑ. කොහොමත් පහුගිය අවුරුදු කීපයක්ම මට නත්තලට ලංකාවේ ඉන්න ලැබුණේ නෑ. ඒ හැම අවුරුද්දෙම හිටියේ තේජාත් එක්ක ඩුබායිවල.
කොහොමද ඩුබායි රටේ සමරපු නත්තල්?
කොහොමත් මායි තේජායි දෙසැම්බර් 17 වැනිදා ඉඳන් ඩුබායිවල තමයි හිටියේ. මම ලංකාවට ආවේ දෙසැම්බර් 30 වැනිදා. ඒක මුස්ලිම් රටක් නිසා නත්තල ලොකුවට සමරන්නේ නෑ. නමුත් මගේ හොඳම යාළුවෙක් ඩුබායි ඉන්නවා. එයා කතෝලික. ඉතින්... මායි, තේජායි නත්තල් දවසේ ඒ යාළුවාගේ ගෙදර ගියා. අපි නත්තල් දවස ගත කළේ ඒ යාළුවාගේ ගෙදර. මායි, තේජායි දෙන්නම බුද්ධාගමේ නිසා ඒක අපිට ලොකුවට දැනුණේ නෑ. ඒ රටේ කතෝලික, ඉන්දියන් ජනතාව වෙසෙන එපාට්මන්ට්වල ඒ අය ලයිට් දාලා සරසලා තිබුණා.
දැන් අමිල හැමවෙලේම ඩුබායි යනවා නේද?
ඔව්... දැන් ඒක අපි දෙන්නටම සාමාන්‍ය දෙයක්. මේ පාරත් අපි දෙන්නා ඩුබායි ගිහින් බොහෝම සතුටින් හිටියා. ඒ දවස් ටිකේම තේජාට නිවාඩුයි. තේජා දෙසැම්බර් 8 වැනිදා ලංකාවට ආවා. ඊට පස්සේ දෙසැම්බර් 14 වැනිදා තේජාගේ තාත්තාගේ දානේ දුන්නා. ඊට පස්සේ මගේ ලොකු මල්ලිගේ වෙඩින් එක දෙසැම්බර් 15 වැනිදා තිබුණා.. ඉතින්... ඒ හැම දේටම අපි දෙන්නාත් මහන්සි වුණා. ඊට පස්සේ දෙසැම්බර් 17 වැනිදා අපි දෙන්නම ඩුබායි ආවා. ඩුබායිවල අපි බොහෝම හොඳට නිවාඩුව ගත කළා. ආස කරන දෙයක් හදාගෙන කෑවා. ඩුබායිවල ඇවිද්දා. ඩුබායිවල ඉන්න අපේ යාළුවන්ගේ ගෙවල්වල ගියා. එහෙම ගිහින් පොඩ්ඩක් රවුමක් දාලා ආවා.
ඒ කියන්නේ දැන් අමිලට ඩුබායි රට හොඳට හුරු පුරුදුයි වගේ නේද?
ඔව් ඒක ඇත්ත. තේජා ලංකාවේ නෑ කියලා ඒක අපි දෙන්නටම ප්‍රශ්නයක් නෙවේ. අපි දෙන්නා රටවල් දෙකක හිටියට ලංකාවේ ජීවත්වෙන දෙන්නෙක්ට වඩා අපි දෙන්නා මුණගැහෙනවා. සතියක් දෙකක් අපි එක දිගට හම්බුණේ නැති වුණත් ඊට පස්සේ මම හරි එයා හරි නිවාඩු දාලා දවස් පහළොවක් විතර එක දිගට මෙහේ හරි එහේ හරි යනවා. ඒක නිසා අපි දෙන්නට ඒක කිසිසේත්ම ගාණක් නෑ. ගෙදරක ඉන්නවට වඩා අපි මුණගැහෙනවා. ඩුබායිවලට පැය තුනහමාරක් හතරක් වෙද්දී යන්න පුළුවන්. ඉතින්... ඒ නිසා අපිට ඒක ගාණක් නෑ. අවංකවම කියනවනම් මාසයකට හතර පාරක්වත් අපි මුණගැහෙනවා.
මොනවද අමිල මේ අලුත් අවුරුද්දේ කරන වැඩකටයුතු එහෙම?
2017 අපි ඉබ්බාගමුව පැත්තේ අලුත් ටෙලි නාට්‍යයක් දෙසැම්බර් ෂූට් කර කර හිටියා. ඉතින් එකේ ඉතුරු ෂූටිං ටික දැන් මේ දවස්වල කරනවා. ඊට පස්සේ නිල්වලා ආයතනයේත් මැයි මාසේ තව අලුත් ටෙලි නාට්‍යයක් පටන් ගන්නවා. ඊට අමතරව ආදර අසපුව නාට්‍යයේ ෂූටිං පටන් ගන්නවා. තව නිර්මාණ කීපයකටම කතා කරලා තියෙන්නේ... බලමු ඉතින් නේද...
මොනවද අමිල 2018 තියෙන බලාපොරොත්තු?
ම්... තාම 2018 ලැබුවා විතරයි. ඉතින්.. තාම එහෙම ලොකුවට වැඩ ප්ලෑන් කරගෙන නෑ. බාරගත්ත වැඩ ටික කරගෙන හොඳ කලා කටයුතුවලට දායක වෙන්න ආසයි. කොහොමටත් දැන් මම හැම නිර්මාණයක්ම බාර ගන්නේ නෑ. ඉතින් තේජා එක්ක මේ ගෙවන ජීවිතේ හරි සරලයි. හැබැයි ඒ සරල ජීවිතේ ඇතුළේ සතුට තියෙනවා. ඉතින්... 2018 වසර මගේ ආදරණීය රසික රසිකාවියන්ට සුන්දර වසරක් වේවායි මායි, තේජායි ප්‍රාර්ථනා කරනවා.
► Text – Jayamali