2018 ජනවාරි 06 වන සෙනසුරාදා

හිත්රිදීම් - අතපසුවීම් - වැරදීම් මට අඩුවක් නෑ

 2018 ජනවාරි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 228

නුවන්... මුලින්ම කියමුකො.. 2018 වසරේ මොනවද තියෙන අලුත් බලාපොරොත්තු?
මගේ පොඩි ව්‍යාපාර කටයුත්තක් මම කරගෙන යනවා. ඒක ක්‍රීඩා භාණ්ඩ සම්බන්ධ ව්‍යාපාර කටයුත්තක්. ඒ අලෙවිසල තියෙන්නෙ නුවර. ඉතින් ඒ ව්‍යාපාරය වැඩිදියුණු කරගන්න හිතාගෙන ඉන්නවා. ඊට අමතරව මේ අවුරුද්දේ සිනමාවට සම්බන්ධ වෙන්න ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. ඒ වෙනුවෙන් අවස්ථාවක් ලැබෙමින් පවතිනවා. මම හිතන්නෙ ඒක මට ලැබෙයි කියලා. ඒ ගැන ලොකු බලාපොරොත්තුවකින් තමයි මේ අවුරුද්ද මම පටන්ගන්නෙ.

ඒ වගේම නුවන් කියන්නෙ නර්තන ගුරුවරයෙක්..?
ඔව්.. මම නුවර නර්තන පන්තියක් පටන් අරගෙනයි තිබුණේ. ඒක ගිය අවුරුද්දෙත් සාර්ථකව කරගෙන ගියා. මේ අවුරුද්දෙ ඒ දේවල් වැඩිදියුණු කරගන්න හිතාගෙන ඉන්නවා. අලුත් නර්තන වැඩසටහන්වලට ආරාධනා ලැබිලා තියෙනවා. ඒ නිසා ඒ දේවල් සාර්ථකව කරගන්න බලාපොරොත්තු වෙනවා.

ඔය 2018 බලාපොරොත්තු අතරේ තනිකඩ ජීවිතෙන් මිදෙන්න එහෙම බලාපොරොත්තුවක් නැද්ද..?
ම්.. නෑ... එහෙම ලොකු බලාපොරොත්තුවක් නෑ. හැබැයි එහෙම නැතුවමත් නෙමේ. බලමු නේද.. ඒක අපි 2018 අවුරුද්දට හෝ ඊටපස්සෙ අවුරුද්දකට බාරකරමු.

ප්‍රේමයක් තිබුණා... ඒත් දැන් මම තනිකඩයෙක්

ඒ කියන්නෙ මේ වෙනකොට නුවන් ආදරේ කරනවා. ඒ කියන්නෙ පෙම්වතෙක්ද..?
නෑ.. නෑ.. තාම පෙම්වතෙක් නෙමේ. කාලයක් මාත් පෙම්වතෙක් වෙලා හිටියා. ඒක නැවතුණා. දැන් පෙම්වතෙක් නෙමේ. දැන් තනිකඩ ජීවිතයක් ගත කරනවා. 

නුවන්.. නළුවෙක් වගේම නර්තන ශිල්පියෙක්. කොහොමද ඒ නර්තන ශිල්පියාගේ ආරම්භය..?
මම ඉගෙනගත්තෙ මහනුවර කිංස්වුඩ් විද්‍යාලයේ. පාසලේ දී මම විෂයක් විදිහට නර්තනය හැදෑරුවේ නෑ. පුංචි කාලේ ඉඳන් මම මාෂල් ආට් පැත්තට ගොඩාක් බර කෙනෙක්. කරාටේ සහ කික්බොක්සින් මම හැදෑරැවා. ඒක තමයි මගේ නර්තනය පැත්තට ගොඩක් පිටුවහලක් වුණේ. නර්තනය මට ආරම්භ කරන්න ලැබුණේ 2008 වසරේ දී මාධ්‍ය ආයතනයක වැඩසටහනකින්. නර්තනයට අවශ්‍ය හැඩතල මම ඒ වෙනකොට මාෂල් ආට් කලාවෙන් ඉගෙනගෙන තිබුණේ. ඒ නිසා නර්තනය හදාරන්න මට ගොඩාක් ලේසි වුණා. එහෙම නැතිව ප්‍රවීණ නර්තන ගුරුවරයෙක්ගෙන් මම කවදාවත් නර්තනය ඉගෙනගෙන තිබුණේ නෑ.

විත්‍රපටයක රඟපාන්න හුඟාක් ආසාවෙන් බලාගෙන ඉන්නවා

දැන් නුවන් වැඩියෙන්ම කැමති නර්තන ශිල්පියාටද... රංගන ශිල්පියාටද..?
ඇත්තටම මම ඔය දෙකටම ගොඩාක් ආදරෙයි. මගේ ජීවිතේ දැන් ඔය දෙක තමයි. හැබැයි කලා ක්ෂේත්‍රයට එන්න මට ලොකු ආසාවක් තිබුණෙනම් රංගන ශිල්පියෙක් විදිහටයි. මට පුංචි කාලේ ඉඳන් ඇක්ෂන් ඇක්ටර් කෙනෙක් වෙන්න ලොකු ආසාවක් තිබුණා. ඒ ආසාව තමයි මට කලාවට එන්න ලොකු පිටුවහලක් වුණේ. ඊටපස්සෙ මා තුළ සැඟවිලා තිබුණු නර්තන ශිල්පියාත් මම හඳුනාගත්තා. අද වෙනකොට මම රංගන ශිල්පියා නර්තන ශිල්පියා යන දෙන්නටම කැමතියි.

නුවන් සින්දුත් ගායනා කරනවා කියලයි ආරංචි..?
ඔව්. ගායනයටත් පොඩි දක්ෂතාවයක් තියෙනවා. ඉඳහිට මම සින්දුවක් එහෙම කියනවා. හැබැයි ප්‍රවීණ ගායකයින් වගේනම් බෑ. හැබැයි අහගෙන ඉන්න පුළුවන් විදිහට ගායනා කරන්න පුළුවන්.

ගෙවුණු 2017 වසර ගැන මොකද හිතන්නෙ..?
2017 අවුරුද්දෙ විතරක් නෙමේ... ගෙවුණ හැම අවුරුද්දකම හිත්රිදීම්, අතපසුවීම් සහ වැරදීම් වෙච්ච තැන් තිබුණා. ඒ හැමදෙයක් වගේම සතුටු වුණ තැනුත් තිබුණා. ඉතින් 2017 අවුරුද්දත් එහෙමයි. කලාව පැත්තෙන් මට නර්තනය ඔස්සේ යම්කිසි දෙයක් කරන්න ලැබුණා. හැබැයි රංගනය පැත්තෙන් මම බලාපොරොත්තු වුණ තැනට යන්න මට ඇත්තටම බැරිවුණා. සිනමාවට සම්බන්ධ වෙන්න මට ලොකු ආසාවක්, බලාපොරොත්තුවක් තිබුණා. ඒක 2017 දී මගෙන් මඟහැරුණා. නමුත් තිබුණ වැරදි, අඩුපාඩු තැන් හදාගෙන 2018 වසර ගත කරන්න බලාපොරොත්තු වෙනවා. ලොකුම බලාපොරොත්තුව තමයි සිනමාවට සම්බන්ධ වීම. බලමු නේද..?

► Text -Dishani / Pic- Internet

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00