2018 ජනවාරි 06 වන සෙනසුරාදා

ඩිල්ෂාන් ගෙදර ඉන්න දවසට ගේ දෙකක් කරනවා

 2018 ජනවාරි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 424

මංජුලා.... ගෙවුණ 2017 වසර කොහොමද? මංජුලාටයි.... ඩිල්ෂාන්ටයි ගෙවුණ අවුරුද්ද අමතක නොවුණ අවුරුද්දක් නේද...?
ඔව්... ඒක ඇත්ත. 2017 අවුරුද්ද අපිට සුවිශේෂී අවුරුද්දක් වුණා. අත්දැකීම් රාශියක් ඒ අවුරුද්දෙදි අපේ ජීවිතේට එකතුවුණා. ඩිල්ෂාන් අලුතින් තේ නිෂ්පාදනයක් පටන් ගත්තා. අපෙ පවුලට තවත් පුංචි අමුත්තෙක් එකතුවුණා. ඒ දේවලුත් එක්ක ඒ අවුරුද්ද අපිට සුවිශේෂී වුණා.

මංජුලා... කියමුකෝ බලන්න Deavon Tea එක ගැනත් එහෙමනම්...?
ක්‍රිකට් ලෝකයට ගියා වගේම ලංකාවේ තේ ලෝකය පුරා ප්‍රසිද්ධයි. ලංකාව තේවලට හරි ප්‍රසිද්ධයිනේ. ඉතින් ඩිල්ෂාන්ට ක්‍රිකට් වගේම ක්‍රිකට්වලට සම්බන්ධ තේ එකක් හදන්න ඕන වුණා. ඉතින් ඩිල්ෂාන්ගේ ඒ හීනය ගිය අවුරුද්දේ හැබෑ වුණා. ඒ අදහස ඩිල්ෂාන්ගේ. අපි දෙන්නම තේ බොන්න හරි කැමතියි. ප්ලේන් ටී කියන දේ අපි දෙන්නගේ ජාතික පානය වගෙයි. ඉතින් ගිය අවුරුද්දේ අපි Deavon Tea නමින් ඒ අපේ ව්‍යාපාරය පටන් ගත්තා.

දැන් කියමුකෝ පවුලට එකතුවුණ පුංචි පුතා ගැනත්...?
2017 ඉපදුණු අපේ පුංචි පුතාට අපි ඩිශාල් ඩිවෝන් කියන නම තිබ්බා. එයාට තිබ්බේත් අපේ තේ එකේ නමයි. ඒක තමයි තවත් විශේෂ කාරණාව වුණේ. පවුලට එකතුවුණ දෙකටම අපි එකම නම තිබ්බා.

කොහොමද අක්කලා දෙන්නයි, අයියගෙනුයි චූටි මල්ලි බලාගන්න තියෙන උනන්දුව?
ඒක කියලා නිම කරන්න බෑ. මගේ ලොකු දුවගේ නම ලිමන්සා. පොඩි දුවගේ නම ලිසන්දි. ලොකු පුතාගේ නම දිහේල. ඉතින් අපේ ලොකු දුව තමයි පුංචි පුතාගේ අයිතිකාරිය වෙන්නේ. එයා වෙන කාටවත් අල්ලන්න දෙන්නේ නෑ. අපි කොහේ හරි ගියත් කවුරු හරි ඇවිත් චූටි පුතාව අල්ලද්දිත් එයා කැමති නෑ. එතකොට මට කරදර කරනවා. අනේ මල්ලිව ගන්නකෝ... ගන්නකෝ... කියලා. එයා පොඩි පුතාට හරි ආදරෙයි. සමහරු කියනවා චූටි පුතා ලොකු දුව වගේ කියලා. ඒ නිසා එයා හරි ආදරෙයි. ඉතින් දැන් එයා චූටි පුතාගේ අයිතිකාරිය වගෙයි.

සින්දූර් කියන්නේ මටත් ඩිල්ෂාන්ටත් අපේ ජීවිතයට අමතක නොවන දෙයක් 

පුංචි පැටව් හතර දෙනෙක් ඉන්න ගෙයක්...? ඒ ගේ ඇතුළ හරි සුන්දරයි නේද..?
ඒ ගේ ඇතුළ හරිම සුන්දරයි.... ඒක වෙනම ලෝකයක්. පුංචි පුතාට අනිත් තුන්දෙනාට එක්කෙනාගෙන් එක්කෙනාට වෙනම හුරතල් කරන්න දෙන්න වෙලා... ඉස්කෝලේ යන්නේ වෙනම උද්යෝගයකින්... ඉස්කෝලේ ඇරිලා එන්නේ වෙනම ලෝකයකින්. තුන්දෙනාම ඉස්කෝලේ ඇරිලා එන්නේ චූටි පුතාව බලාගෙනයි. දවසක් මට ලොකු දුව කියනවා අම්මී අපෙ ජීවිත වෙනස් වෙලා නේද... කියලා. ඒ තරමටම ඒ අය දැන් චූටි පුතාට හුරුවෙලා.

මංජුලා... ඔයාගෙයි ඩිල්ෂාන්ගෙයි ජීවිත කාලෙන් කාලයට අලුත් බලාපොරොත්තු එකතු වුණා... එහෙම නේද?
මෙහෙමයි... අපි එහෙම අපේ ජීවිතවලට අලුත් බලාපොරොත්තු ඇති කරගන්නවට වඩා අපේ ජීවිතවල අහඹු විදිහට, අහම්බෙන් ජීවිතවලට වෙච්චි දේවල් වැඩියි. ඒ අහම්බෙන් වුණ දේවල් තමයි අපේ ජීවිත ලස්සන කළේ. අපි ප්ලෑන් කරලා කරපු දේවල්වලට වඩා අහඹු දේවල් අපේ ජීවිතවල වැඩියි.

මංජුලා... තාමත් සින්දූර් නළලේ තියෙනවා... ඇයි ඒ?
ඔව්... ඒක ඇත්ත... විශේෂ අවස්ථාවලදී සින්දූර් නළලේ තියෙනවා වැඩියි. සින්දූර් කියන්නේ මටත් ඩිල්ෂාන්ටත් අපේ ජීවිතයට අමතක නොවන දෙයක්. අපේ විවාහය සිදුකළේ ඉන්දියාවේ. ඒ වෙද්දි ඩිල්ෂාන් දිල්ලියේ ක්‍රිකට් කණ්ඩායමකට සෙල්ලම් කරනවා. ලංකාවේ විවාහ උත්සවයක් ගන්න බැරිවුණ අපිට ඉන්දියාවේ උත්කර්ෂවත් විදිහට විවාහ උත්සවයක් ගන්න පුළුවන් වුණා. ඒ උත්සවය ලෑස්ති කළේ ඒ කණ්ඩායමේ අයයි. ඒ වෙද්දි මායි ඩිල්ෂානුයි විවාහවෙලා හිටියට ඒ කණ්ඩායමේ අය කිව්වා නෑ මේක විවාහයක් විදිහටම වෙන්න ඕනේ කියලා. ඒ තරගාවලියෙදි ඩිල්ෂාන් හොඳට සෙල්ලම් කළා. ඒකට තිළිණයක් විදිහට ඒ කණ්ඩායම ඉන්දියාවේදී මහ ඉහළින් අපේ විවාහ උත්සාවය ගත්තා. අපිට ඇඳුම් පැළඳුම් හැම දෙයක් පවා ලෑස්ති කළේ එයාලයි. ඉතින් ඒ මතකයත් එක්ක තාමත් මම සින්දූර් නළලේ තියනවා. ඒ උත්සවය සජීවීව ලෝකය පුරාම පෙන්නුවා.

ඩිල්ෂානුයි, මංජුලයි සින්දුවක් කළා නේද?
ඔව්.. ඩිල්ෂාන් කියන්නේ සංගීතයට හරි කැමති කෙනෙක්. එයා කලාවට ආදරෙයි. ඉතින් කාලෙන් කාලෙට අපිට ඕන වුණා අලුත් දෙයක් කරන්න. සින්දුවත් ඒ වගේම කාලෙන් කාලයට ආපු දෙයක් තමයි.

ඔහොම කිව්වට බොහෝ දෙනාට නැත්තෙත් කාලයනේ.. මේ හැම වැඩකටයුතුත් එක්ක ඔයාටත්, ඩිල්ෂාන්ටත් මේ දේවල් කරන්න කාලය තියෙනවා නේද?
මම හිතන්නේ අපි දෙන්නා හැමවෙලේම අපි දෙන්නට වැඩ බෙදා ගන්නවා. දරුවන්ගේ වැඩ වුණත්, ගෙදර වැඩ වුණත්, හොටෙල් එකේ වැඩ වුණත් අපි දෙන්නා එකතුවෙලා කතා නොකරපු දෙයක් නෑ. අපි දෙන්නා හැම දෙයක් ගැනම කතා කරනවා. කාලය නැහැ කියන දේ පෞද්ගලික ජීවිතයට සම්බන්ධ කරගන්න එක එච්චර හොඳ දෙයක් නෙමේ. මගේ ජීවිතේ අංක එක මගේ පවුල. ඉතින් පවුල් ජීවිතයට කාලය නැත්නම් අපි වෙන මොනවාද කාලය දෙන්න ඕනේ. 

දැන් දරුපැටවු හතරදෙනෙක්. කොහොමද දරුවන්ගේ වැඩ කටයුතුවලට ඩිල්ෂාන්ගෙන් ලැබෙන සහයෝගය..?
අම්මෝ... ඒ ගැන නම් කියන්න වචන නෑ. පුදුම සපෝට් එකක් මට එයාගෙන් ලැබෙන්නෙ. චූටි පුතාව ගොඩක් වෙලාවට නිදිකරවන්නෙත් ඩිල්ෂාන්මයි. එයා අඬද්දි ඩිල්ෂාන්ට හරි ඉක්මණට නලවගන්න පුළුවන්. තාත්තාට චූටි මල්ලිව නලවගන්න අනිත් තුන්දෙනාගෙනුත් ලොකු සපෝට් එකක් ලැබෙනවා. දැන් අපිට පුතාලා දෙන්නයි.. දුවලා දෙන්නයි.. ඒ අයගෙන් ගේ පිරිලා.

ඩිල්ෂාන් ගෙදර ඉන්න වෙලාවට වැඩිපුරම මොනවද කරන්නේ..?
ඒ වගේ වෙලාවට එයා වැඩිපුරම කරන්නෙ දරුවන් එක්ක උඩටවෙලා ඉන්න එක තමයි. ඒ වෙලාවට ඉතින් කට්ටියම ගේ දෙකවෙන්න කෑගහනවා. සින්දු කියනවා. චූටි පුතා ඇඳේ ඉඳිද්දි කට්ටියම ඇඳට වෙලා වටකරගෙන එයාත් එක්ක කතා කරනවා. එයාව හිනාගස්සවනවා. ඒ වෙලාවට ඒක වෙනමම ලෝකයක්. කට්ටියම ඉඳිද්දි මුළු ගේම පිරිලා.

ඩිල්ෂාන් වැඩියෙන්ම කන්න ආස මොනවද..?
කොහොමටත් ඩිල්ෂාන් වැඩිපුරම ආස ගමේ කෑම කන්න තමයි. එයා පොළොස් එහෙම කන්න හරි ආසයි. ගෙදර ඉන්න දවස්වලට අපි වැඩිපුරම හදන්නෙ ඒ කෑමයි. හැබැයි ඉතින් පුංචි අයනම් ඉතින් වැඩිපුරම ආස ෆයිඩ් රයිස් වගේ කෑම කන්න තමයි. ඉතින් එයාලා ආස විදිහට අපි කෑම හදලා දෙනවා.

නිවාඩු පාඩුවේ ඉන්න වෙලාවට ඔයාලා මොකද කරන්නෙ..?
වැඩනම් ඕනතරම්. හැබැයි අපි හැම වැඩක්ම කරන්නෙ සතුටින්. අනේ මහ වදයක්..., එපාවෙනවා.. කියලා අපි කිසිදවසක කිසිම වැඩක් කරන්නෙ නෑ. අනික අපි වැඩ බෙදාගෙන නෑ. මේවා ඩිල්ෂාන්ගේ වැඩ, මේවා මගේ වැඩ කියලා බෙදාගෙන නෑ. හැම වැඩක්ම අපි දෙන්නා බෙදාහදාගෙන කරනවා. ඒ නිසා අපිට ඒවා කරදරයක් නෙමේ. අපි ඇවිදින්න හරි ආසයි. නිවාඩුවක් ලැබුණාම අපි පිටරටකට යනවා. එහෙම නැත්නම් ලංකාවේ කොහේහරි ගිහින් ඉන්නවා. ඒ හැමතැනකම ගොඩක් වෙලාවට යන්නේ අපි කට්ටිය එකටමයි.

2018 මොනවද තියෙන බලාපොරොත්තු?
ඒකටත් අපි ලොකුවට තවම බලාපොරොත්තු තියාගෙන නෑ. දැනට තියෙන ලොකුම බලාපොරොත්තුව තමයි අපේ Deavon තේ එක. ජීවිතයට ටාගට් එකක් නැතිව නෙමේ. නමුත් ජීවිතයට අහඹු සිදුවීම් වැඩි නිසා ඒ ජීවිතේ ගලාගෙන යන්න දෙන එක ඊට වඩා සුන්දරයි.

ඔය දෙන්නට ආදරය කරන අයට සුභ පතන්න කියලා අපි කිව්වොත්...
ඩිල්ෂාන් ක්‍රිකට්වලින් අයින් වෙච්චි වෙලාවේ ඩිල්ෂාන්ට ලැබුණු ප්‍රේක්ෂක ප්‍රතිචාර එක්ක තමයි අපි දැනගත්තේ ඩිල්ෂාන්ට මෙච්චර පිරිසක් ආදරේ කරනවා නේද කියලා. බොහෝ අය අපෙන් ඇහුවා දැන් ඩිල්ෂාන්ට ලංකාව අමතක වෙයිද කියලා. ඉතින් ඒ ලැබුණු ආදරයත් එක්ක ඩිල්ෂානුයි මමයි සින්දුවක් කළා. ඉතින් එදා ඉඳන් අද දක්වාම ඩිල්ෂාන්ටත් මගේ කලා කටයුතුත් එක්ක මට ආදරය කරන මගේ ආදරණීය රසික රසිකාවියන්ටත් මේ 2018 වසර සිතුම් පැතුම් සපිරෙන බලාපොරොත්තු ඉෂ්ඨවෙන හිත සාමකාමී සොඳුරු වසරක් වේවා කියලා මමයි ඩිල්ෂානුයි ප්‍රාර්ථනා කරනවා.

► Text - Dishani  /   Pic- Sumudu