2018 ජනවාරි 13 වන සෙනසුරාදා

දැහැන

 2018 ජනවාරි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 88

ඇයට අවුරුදු 19ක්. ඒත් ඇය ගැහැනියක්. දරුවෙක් වැදූ නිසා මවක්. දරුවෙක් වැදුවට ඇය වැදූ දරුවව ආදරෙන් ළය මඬලට තුරුල් කරගත්තේ නෑ. කිරි පෙව්වේ නෑ. කිරි සුවඳ වින්දෙ නෑ. ඇගේ හිතේ දරුවා වෙනුවෙන් ආදරයක් ඉපදුණේ නෑ. ඇය ඒ දරුවාව විසි කළේ කැලේකට. රෝස කැලේකට නෙවෙයි නිකම්ම නිකම් මහ කැලේකට. දරුවෝ එපානම් විසි කරන්න රෝස කැලෑ මෙහෙ නෑ. තියෙන්නේ කුණු කාණු. මහ කැලෑ. අපිරිසිදු වීදි. හැමදේම කර්මයට බාර දෙන්න එපා. හැමදේම ඉරණම කියලා ඉවසන්නත් එපා. සියල්ල දෙවියන්ගේ කැමැත්ත කියලා බාරගන්නත් එපා. ඇයි මෙහෙම වුණේ කියන හේතුවත් එක්ක අරගලය පටන් ගන්න. මොකද මට හිතෙන්නේ සාධාරණය යුක්තිය අපට අහිමි කරන්නේ අපෙන් උදුරා ගන්නේ කර්මය ඉරණම සහ දෙවියන්ගේ කැමැත්ත. මම විශ්වාස කරනවා දෙවියන්ගේ කැමැත්ත කර්මය සහ ඉරණම කියන සාධක තුනටම වැඩිය මිනිසුන්හේ හිතේ ශක්තිය බලවත් කියලා. හිත මහා සාගරයක් කරගන්න. එතකොට පුළුවන් කාටවත් නොපෙනෙන්න නොදැනෙන්න ඕනෑම දෙයක් මහා ගැඹුරක සඟවාන ලස්සනට බලාපොරොත්තු කියන රැලි උපද්දවන්න. කිසිවක්ම නොඉල්ලා බොහෝ දේ ප්‍රදානය කරන්න. අනුන්ගේ දුක් තමන්ගේ කරගෙන ඕන තරම් හිත් අනන්ත වාරයක් සනසන්න.

වදපු දරුවෙක්ව කැලේට විසි කළාම මුළු ලෝකයේම තීරණය එකක්. ඔව් හුඟක් වෙලාවට ඒක එහෙමයි. අවලං බැල්ලි.. පට්ට... (අර අකුරු දෙකේ වචනේ.) මුන් අම්මලාද මුන්ට හෙණම ගහන්න ඕන... ඊට වඩා දෙයක්... ඊට වඩා අර්ථකථනයක් ඇහුනොත් ඒ හුඟක් කලාතුරකින්. වැදුව අම්මට හෙණ ගහපන් කියන සමාජය ජාතක කරපු තාත්තටත් හෙණ ගහපන්... ඌ මොන අවලං බල්ලෙක්ද කියලා ඇයි අහන්නේ නැත්තේ? අම්මා කෙනෙකුට දරුවෙක්ව වදලා විසි කරලා දාන්න පුළුවන්ද? නැත්නම් බෙල්ල මිරිකලා මරලා දාන්න පුළුවන්ද? නැත්නම් ජීවිතය ඉල්ලා ඉල්ලා හැංඟෙද්දී අඬු කූරුවලින් ඇදලා මරලා දාන්න පුළුවන්ද? ඒ විදිහට එක පෙළට පෙළ ගැහිලා අහන සංස්කෘතික සදාචාර ආගමික ලෝගුවෙන් හෘද සාක්ෂිය වහ ගත්ත මිනිස්සුන්ගෙන් මට අහන්න එක ප්‍රශ්නයක් තියෙනවා. ජාතක වෙන හැම කළලයකටම ජීවිතය සහ ආදරය දෙන්න ගැහැනියකට පුළුවන්ද? මගේ උත්තරය බැහැ...

ප්‍රේමය... ප්‍රේමයේ ළතෙත් බවින් තෙත් වෙච්ච රාගය, සංසර්ගය ජනිත කරන බිළිඳු  කළලයකට දක්වන අනන්ත ආදරය... මගේම හැඟීම ගැහැනියකට අතවරයකට දූෂණයකට ලක්වීමෙන් හටගන්න බලහත්කාර කළලයක් කෙරේ ඇතිවෙනවද? පිට එවුන් අතින් විතරක් නෙවෙයි තමන්ගේ සීයා, තාත්තා, සහෝදරයා, මාමා, බාප්පා අතින් දූෂණයට ලක්වෙන ගැබ්ගන්න යුවතියන් ඉන්නවා. තමන්ගේ ලෙයටම තමන් වෛර කරන මානසික පරිසරයක් එවන් අවස්ථාවක ඇතිවෙන්න පුළුවන්. තමන්ට තමන් මරා ගන්න හිතෙන මානසික වේදනාවක් කලකිරීමක් ඒ වගේ මොහොතක ඇති වෙන්න පුළුවන්. එහෙව් බිළිඳු කළලයක් ආදරෙන් දරාගෙන ජීවිතයක් සහ ආදරයක් දෙන්න පුළුවන්ද? ඒ වගේම තමන් කුස දරාගෙන ඉන්නේ අංග විකල හෝ රෝගී දරුවෙක්නම් එවැනි දරුවෙක් සමාජයට දීලා දරුවෙක් විදිහට ඒ දරුවා විඳින වේදනාවන් වගේම අම්මා කෙනෙක් විදිහට තමන්ට විඳින්න වෙන මානසික සහ ප්‍රායෝගික අසහන දරාගන්න මව්පියන්ට පුළුවන්ද? ඉපදුණාට පස්සේ විසි කරන්න මරන්න නෙවෙයි එවන් අතිශය සියුම් සහ මානුෂීය පසුබිම්වලදී දරුවෙක් ඉපදෙන්න පෙර ගබ්සාවට ලංකාවේ නීතිමය සංශෝධන අවශ්‍යයි කියලා ඇයි අපිට සාධාරණ මානසිකත්වයෙන් හිතන්න බැරි.

සංස්කෘතික නිර්ණායක සදාචාර සීමාවන් ආගමික විශ්වාස සහ ඇදහිලි සහ නොපෙනෙන දෙවියන්ට වඩා සාධාරණ මනුෂ්‍යත්වය ලෝකයට අත්‍යවශ්‍යයි මම හිතනවා... ආදරය බැඳීම සහ මගේම හැඟීම උපද්දවන්න බෑ.. ඉපදෙන්න ඕනෑ.. ගැහැනිය කියන්නෙත් බොහෝ වෙලාවට මහා සාගරයක්... එහි ගැඹුර.. එහි සංවේදනාවන්... එහි ශක්තිය තේරුම් ගන්න පිරිමින් මේ ලෝකයේ හුඟක් අඩුයි... ඒත් එහෙව් පිරිමින්ට සමාව දෙන ගෑනු හුඟක් වැඩියි... පිරිමි මූලධර්මවලින් ලෝකය අස්වද්දන්න හදන අන්තවාදී පිරිමි සංහතිය ගල් යුගයේ ගෝත්‍රික යුගයේ සිට විසි එකේ සියවස දක්වාත් තේරුම් නොගත් ඇත්තත් ඒකයි.

I Saara