2018 ජනවාරි 13 වන සෙනසුරාදා

කෙල්ලගෙ කොණ්ඩෙට මාර ඉල්ලුමක්

 2018 ජනවාරි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 290

කොණ්ඩය කියන්නේ කාන්තාවකගේ රූපයට ආභරණයක්. පංච කල්‍යාණයටත් කේෂ කල්‍යාණය අයිති වන්නේ ඒ නිසායි. දිගු වරලස කාන්තාවන්ගේ සුන්දරත්වය තව තවත් ඔප් නංවන බව සාහිත්‍යයේ පවා සඳහන් කරුණක්. නමුත් මේ වෙද්දි ගොඩක් කාන්තාවන් කොණ්ඩය කෙටි කරන්න, වැවීම නවත්වන්න ගොඩක් උත්සාහ කරනවා. 

හැබැයි ආජන්ටිනාවේ කොර්ඩෝබාවල පදිංචි ඇබ්‍රිල් ලොරෙන්සාටි නම් ළපටි තරුණියක් පසුගියදා ගිනස් ලෝක වාර්තාවකට හිමිකම් කිව්වා. ඒ දැනට ලෝකයේ දිගම වරලස හිමි නව යොවුන් තරුණිය යන වාර්තාවයි. 
තවමත් දා හත් හැවිරිදි වියේ ඉන්න ඇබ්‍රිල්ගේ කොණ්ඩයේ දිග මීටර 1.52ක්. අඩිවලින් ගත්තොත් අඩි පහකට ආසන්නයි. ඒ කියන්නේ කකුලේ වළලුකර දක්වාම කොණ්ඩය දිගුයි. ඇය වයස අවුරුදු හතේ ඉඳන් මේ වනතුරු කොණ්ඩය පොඩ්ඩක්වත් කොට කරලා නැහැ. 

ඇබ්‍රිල්ට මේ විදිහට කොණ්ඩය වවන්න අදහසක් ඇතිවෙලා තියෙන්නේ මැටිල්ඩා කියන චිත්‍රපටය බැලුවාට පස්සෙයි. ඒ චිත්‍රපටයේ කතානායිකාවටත් කොණ්ඩය ටිකක් කොටයි. ඉතින් ඇබ්‍රිල් පොඩි කාලයේ ඒ විදිහට කොණ්ඩය ටිකක් කොටට කපලා. නමුත් ඉතා ඉක්මනින් ඈට ඒ කොණ්ඩා විලාසිතාව එපා වෙලා. ඊට පස්සෙ තමා දිගටම කොණ්ඩෙ වවන්න තීරණය කරලා තියෙන්නෙ. ඇබ්‍රිල්ගේ අම්මා කියන විදිහට පහුගිය අවුරුදු දහය පුරාවටම තමන්ගේ කොණ්ඩෙ ගාවට කතුරක් ළං කරනවාටවත් ඇබ්‍රිල් කැමතිවෙලා නැහැ.  

බොහොම මහන්සියෙන් කැපවීමෙන් වවාගත් කොණ්ඩය හොඳින් ආරක්ෂා කරගන්නත් ඇබ්‍රිල් ගොඩක් උත්සාහ ගන්නවා. “මම හැමදාම කොණ්ඩය හෝදනවා. ෂැම්පු වගේම කන්ඩිෂනර් යොදනවා. ඉන්පස්සේ ගොඩක් වෙලාවට අම්මා තමයි කොණ්ඩය පිහදාලා දෙන්නෙ” ඈ කියන්නීය. 

කොහොම නමුත් දිගු කොණ්ඩය නිසා ලැබෙන ප්‍රසිද්ධිය අතරේම ඇයට ඇතැම් අවස්ථාවලදී දිගු කොණ්ඩය වදයක් වන බවත් ඇය පවසනවා. විශේෂයෙන්ම සුළං අධික දවස්වලදී ඈට කොණ්ඩය පාලනය කරගැනීම ඉතාම අසීරු කාර්යයක්. ඒ වගේම පඩි නගින අවස්ථාවල අනෙක් අය කොණ්ඩය පෑගීමෙන් වළක්වාගන්නත් ඈට සිදුවෙනවා. 

“සෑහෙන කාලෙක ඉඳන් මගේ යාළුවෝ මට කතාකරන්නේ රපුන්සල් කියලයි. හැබැයි කොණ්ඩෙට මේ වගේ ප්‍රසිද්ධියක් ලැබේවි කියලා මම නිකමටවත් හිතුවෙ නෑ. මට ඇත්තටම ගොඩක් සතුටුයි”. 
කොහොම නමුත් ලොව දිගම කොණ්ඩයට හිමිකම් කියන කාන්තාව නම් වාර්තාවෙන්නේ චීනයෙන්. ෂී චියුපින් නම් ඇගේ කොණ්ඩයේ දිග මීටර 5.6ක්. ඒ කියන්නේ අඩි 18.5ක්. 

► Text — Rajitha