2018 ජනවාරි 20 වන සෙනසුරාදා

සිංහල සිනමාවට 71යි

 2018 ජනවාරි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 224

1947 ජනවාරි මස 21 වෙනිදායින් ඇරඹි සිංහල කතානාද සිනමාවේ 71 වැනි සංවත්සරය අදට යෙදී තිබේ. රුක්මණී දේවී, බී.ඒ.ඩබ්. ජයමාන්න, එඩී ජයමාන්න, පේමිණි කාන්තා ඇතුළු රංගන ශිල්පීන් ශිල්පිනියන් ප්‍රධාන චරිත රඟපෑ කඩවුණු පොරොන්දුව මුල්ම කතානාද චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ ජේ. සිංහ, නිෂ්පාදනය කළේ එස්.එම්. නායගම්ය. ඒත් කතානාද සිනමා යුගයට දශක කීපයකට පෙර සිංහල චිත්‍රපට නිෂ්පාදනය කිරීම සඳහා යම් යම් උත්සාහයක් තිබිණි.

1925 දී ටී.ඒ.ජී. නූර්බාසි නැමැති ව්‍යාපාරිකයා “රාජකීය වික්‍රමය නමින් චිත්‍රපටයක් නිෂ්පාදනය කළ අතර එහි ප්‍රධාන නළුවා ලෙස රඟපෑවේ පසුකලෙක ප්‍රකට දේශපාලන චරිතයක් වූ ආචාර්ය එන්.එම්. පෙරේරාය. නූර්බාසි දැඩි සිනමා රසිකයෙකු විය. 1920 දී ඔහු වැල්ලවත්තේ ප්ලාසා සිනමාහල ඉදි කළේය.

කෙසේ වෙතත් ඉන්දියාවේ හා සිංගප්පූරුවේදී තිරගත කළ රාජකීය වික්‍රමය චිත්‍රපටය ශ්‍රී ලංකාවට රැගෙන ඒමට පෙර අබිරහස් ලෙස ගින්නකට ලක්වී විනාශ විය. 1936 වසරේදී සංගීතවේදී ඩබ්. දොන් එඩ්වර්ඩ් නිෂ්පාදනය කරමින් අධ්‍යක්ෂණය කළ පළිගැනීම එම වර්ෂයේ මැයි මාසයේදී මෙරට තිරගත කෙරිණ.

හතළිහ දශකයේ මුල් භාගය තුළත් එම්.එස්.එම්. සැකී සහ එම්. තුරෙයිරාජසිංහම් සිංහල චිත්‍රපට දෙකක් නිර්මාණය කිරීමට ගත් උත්සාහයන්ද අසාර්ථක වුවද එම දශකයේම මුල්ම කතානාද සිංහල චිත්‍රපටය බිහිවිය.
මුල් යුගයේ ඉන්දියානු දමිළ ආභාෂය අපේ චිත්‍රපටවල බහුලව දැක ගත හැකි වුවද එම රාමුවෙන් මිදී අපේම චිත්‍රපට සංස්කෘතියක් බිහිකිරීමට ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ට හැකිවිය. 1956 දී ප්‍රදර්ශනය වූ රේඛාව සිංහල චිත්‍රපට කර්මාන්තයට නැවුම් බලාපොරොත්තු රැසක් එකතු කළේය.

සිංහල සිනමාවේ ස්වර්ණමය යුගය ලෙස සැලකෙන 70 වැනි දශකය පසු කරනවාත් සමඟම 1983 දී සිදුවූ ඛේදනීය සිදුවීම්වල ප්‍රතිඵලයක් ලෙස අපේ සිනමාවට මරු පහරක් එල්ල වූයේ අපේ සිනමාශාලා විශාල සංඛ්‍යාවක් ද විනාශයට පත් කරමින්ය.
එම අවසනාවන්ත ඉරණමට ලක්වූ අපේ සිනමාව තවමත් හිස ඔසවන්නට නොහැකිවී තිබෙන බව පෙනේ.
සිංහල සිනමාවේ අර්බුද අවබෝධ කරගෙන ඒවාට විසඳුම් ලබාදීමට නොයෙක් රජයන්, නොයෙක් පාර්ශවයන් උත්සහ ගත්තද එම සිහිනය සැබෑවන දවස කවදා කෙසේ සිදුවේදැයි අපි සැවොම බලා සිටිමු.

► Text — Ramesh Uvais 

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00