2018 ජනවාරි 27 වන සෙනසුරාදා

දැහැන

 2018 ජනවාරි 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 141

හිරුණි.... ඇයට යන්න සිදු වුණා. මරණය ළඟට. ඇයව මරණය ළඟට එක්ක ගියේ ඇගේ පෙම්වතායැයි කී නරුමයා සහ ඔහුගේ මිත්‍රයන්යැයි කී පාපතරයන්. ආදරය අයිතියක්.. හිරුණි ඒ අයිතියට වග වෙන්න ඇති. ඒත් ආදරය අයිතියක් නිසා ඒ අයිතිය භුක්ති විඳීමේ පරමාර්ථයෙන්ම ආදරය කරන්න මනුස්සයෙක් තෝරා ගන්න ඉස්සර එක පාරට දහපාරක් හිතන්න. මොකද ආදරය කියන්නේ අතිශය බහුතරයක් පිරිමින්ට ගැහැනියක් හා එකඟතාවයක් ඇති කර ගැනීම උදෙසා පාවිච්චි කරන එක වචනයක් විතරයි. ඒ හුඟක් පිරිමි ආදරය කියන වචනයේ තේරුමවත් දන්නේ නැති මම උඹට ආදරෙයි බං කියන ගමන් ගෑනු ශරීරය හරහා රාගයේ චාරිකාවක් යන්න මාන බලන තවත් සත්ත්ව විශේෂයක් විතරයි. ඔයා හිතනවානම් ගෑනු උන්ගේ දෙපයට පෑගෙන දුහුවිල්ලක් ගාණට දාලා කතා කරපු බ්‍රාහ්මණ ආකල්පය වෙනස් වෙලා 21 වැනි සියවසේ පිරිමි හරි නිදහස් හරි රොමැන්ටික් උන් ළඟ ඒකාධිපති කමක් නෑ උන් ළඟ ආදරය සහ මනුෂ්‍යත්වය තියෙනවා කියලා නෑ ඒ හැම නිර්ණායකයක්ම දාහට එකක් පිරිමින්ටවත් වලංගු නෑ....

මේ කතා කරන්නේ ලෝකයේ පිරිමි ගැන නෙවෙයි. ලංකාවේ පිරිමි ගැන. ශ්‍රී ලාංකික පිරිමි ගැනත් නෙවෙයි රටේ මහ ජාතියට අයත් පිරිමින් බහුතරයක් ගැන. තාත්තලා, බාප්පලා, සීයලා, අයියලා අතින් දුවලා මිනිබිරීලා නංගිලා දූෂණය වෙන සමාජයක අවසානයේදී ඒ බහුතරය... නෑ අතිශයම බහුතරය රටේ මහා ජාතියට අයත් පිරිමින් අතින් වෙන කෙලෙසීම් දූෂණ.... තමන්ගේ ලේ සුවඳ භක්ත්‍යාදරයෙන් පිළිගන්න බැරි පිරිමින් ඉන්න මහ ජාතියක් ගැන මීට වඩා සාධාරණව කතා කරන්න විදිහක් නෑ....
ඕනෑම යුවතියක් ආදරය කරන්න කෙනෙක් තෝරා ගන්නේ ඒ බැඳීම ඔස්සේ සුබ අනාගතයකට පාරක් හොයාගෙන. ඒ බැඳීම ඔස්සේ තමන්ගේ ජීවිතයේ සියලු සන්තකයන්ට සුරක්ෂිත බවක් ඉල්ලගෙන. එහෙම නැතුව තමන් ආදරය කරන මනුස්සයා ඉස්සරහම ඒ මිනිහා වියරැවෙන් ඉද්දී උගේ යාළුවෝ අතින් දූෂණය වෙන්න බලාගෙන නෙවෙයි. තමන්ගේ සිරුරේ හැම අස්සක් මුල්ලක්ම ගෑනියක් විවෘත කරන්න කැමති එක පිරිමියෙක් ඉස්සරහ විතරයි. කාෙයි විදිහකින් හරි ගණිකාවන් නොවන හැම ගැහැනියක්ම එහෙමයි. හිරුණිට සිද්ධ වුණේ තමන්ගේ පෙම්වතා අතින් වගේම ඒ නරුමයාගේ යාළුවෝ අතිනුත් දූෂණය වෙන්න.

අදටත් පිරිමි සාධාරණීකරණය කරන්න හදන වැඩවසම්වාදී පුරුෂෝත්තම සංකල්ප මුල් බැස ගත්ත සමාජයක අවසානයේ සියදිවි නසාගන්න තැත් කර පසුව මියගිය හිරුණිම වැරදිකාරිය වෙන්නත් පුළුවන්. දේශපාලන හයි හත්තියට ධනයට බලයට නැවෙන නීතිය සීයට සීයක් විශවාස කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නය සමාජයේ සංසිද්ධීන් විසින්ම මතු කරදෙන ප්‍රශ්නයක්...

මේ සියල්ල වෙනුවෙන් අරගල කිරීම මිස පරාජය බාර ගැනීම හෝ ජීවිතය හැරයාම කිසිම ගැහැනියකගේ යුතුකම නෙවෙයි. ගැහැනිය කියන්නේ පිරිමියාට වඩා ඉවසිලිවන්තයෙක්. ශක්තිවන්තයෙක්. මහ කළු ගලක් වුණත් දියකර හරින්න තරම් ශක්තියක් ඈ සතුයි. දෙවියන් වහන්සේ කීව දිව්‍යමය ආදරය මේ ඇත්ත ලෝකෙදී අපිට හමුවෙන්නේ බොහෝම කලාතුරකින්. ආදරය ළඟ බැඳීම් ළඟ තමන්ගේ ශක්තිය දියකර හරින්න එපා. ආදරණීය සාධාරණ අරගලයක් වෙනුවෙන් හැම ශක්ති අංශුමාත්‍රයක්ම කැපකරන්න.

I Saara