2018 පෙබරවාරි 03 වන සෙනසුරාදා

මචං මොන පත්තරේද ගියේ?

 2018 පෙබරවාරි 03 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 97

ඊයෙ පෙරේදා රංගන ක්ෂේත්‍රයට ගොඩවුණු ශිල්පියෙක්, දැන් පොරක් යැයි හිතාගෙන ඉන්න නළුවෙක් කියලයි ක්ෂේත්‍රයේ අය කියන්නෙ.
ඔන්න මෙයා ගැන පත්තරේක පොඩි හාස්‍යජනක සිද්ධියක් පළවුණාලු.

එදාම ඒ පත්තරේ වැඩ කරන යාළුවෙකුට කතා කරලා ලොකු බරබරයක් දැම්මලු.

අපි හිතාගෙන හිටියෙ ඕගොල්ලො අපිට ආදරේ කියලයි, ඒත් බලාගෙන යනකොට ඕගොල්ලො අපට පත්තරෙන් අපහාස කරනවනෙ.
පත්තරේ අතේ තියාගෙනම මාධ්‍ය මිත්‍රයා ඔහුගෙන් ඇහුවලු මොනවද එයාට ඒකෙන් කරලා තියෙන අපහාසෙ කියලා.

මේකෙ තියෙන්නෙ හාස්‍යජනක සිද්ධියක්නෙ. කොහෙද අපහාසයක්? ඕගොල්ලො රෑ දවල් හාස්‍යජනක නිර්මාණවල වැඩ කළාට හාස්‍යජනක රසය අඳුරන්නෙ නැහැනෙ, මාධ්‍ය මිතුරා කියලා.
ඔහොම කතා කර කර ඉන්න ගමන් අර නළුවා අහනවලු, මචං මොන පත්තරේද ඒක ගිහින් තියෙන්නෙ, කියලා.

ඒ කියන්නෙ පත්තරේවත් බලන්නෙ නැතුව කවුරුහරි කියපු දෙයක් අල්ලගෙන කතා කරලා තියෙන්නෙ.

 

එඩ්වඩ්ගේ උතුම් ආදර්ශය

අද බොහෝ අයට අවශ්‍යවෙලා තියෙන්නෙ හැමදේම ක්ෂණිකව ලබාගන්න. ජයග්‍රහණය, සාර්ථකත්වය, ජනප්‍රියත්වය, මේ හැමදේම අද පරපුර හොයන්නෙ කැපකිරීමකින්, මහන්සිවීමකින් තොරව.

පහුගිය දවසක කොළඹ නෙළුම් පොකුණ රඟහලේ පවත්වපු මාරම්බරී 100 වැනි ප්‍රසංගය නරඹන්නට එකතු වූ දහස් ගණනක් වූ ගීතලෝලීන්ට විශාරද එඩ්වඩ් ජයකොඩි ප්‍රවීණ කලා ශිල්පියාගේ සාර්ථකත්වයට පසුබිම් වූ අඩිතාලම මනාව පැහැදිලි වුණා.
සංගීතය ඉගෙනගෙන, වසර ගණනාවක් ගුවන්විදුලියෙන් විවිධ වැඩසටහන්වලට සහභාගි වී, ඉන් අනතුරුව ප්‍රවීණ ගායක ගායිකාවන්ගේ ප්‍රසංගවල අත්වැල් ගායනයෙන් වසර 4 ක් පමණ තම දායකත්වය ලබාදෙන්නට එඩ්වඩ් ජයකොඩි කලාකරුවා ඉවසිලිවන්ත වුණා.

අවුරුදු ගණනාවක් අත්වැල් ගායනයෙන් හා හා... හෝ හෝ කියමින් ගායන ලොවේ රැඳීසිටිමින්, තම ස්ථාවරත්වය ගොඩනගාගත් එඩ්වඩ් නව පරපුරේ කලා ශිල්පීන් ශිල්පිනියන්ට කදිම ආදර්ශයක්. අද ජනප්‍රියත්වයේ හිණිපෙත්තේ රැඳීසිටියත් එඩ්වඩ් වගේම ඔහුගේ ප්‍රිය බිරිය විශාරද චරිතා ප්‍රියදර්ශනී ද නිහතමානී බවෙහි සංකේතයන් බවට පිළිගැනෙන චරිත දෙකක්.

කාට හෝ දුකක් කරදරයක් සිදු වූ අවස්ථාවක, එඩ්වඩ් - චරිතා යුවළ එතැනයි.
අද පරපුරේ ඇතැම් ශිල්පීන් ළමා නිවාසයක තෑගි බෙදාදීමේ උත්සවයකට සහභාගි වෙන්නත් මුදල් බලාපොරොත්තු වන කාලවකවානුවක එඩ්වඩ් - චරිතාගේ මනුස්සකම ඉහළින්ම කැපීපේනවා.

 

දුරකතනය  හංගන නළුවා

සමහර අය අලුතින්ම වෙළෙඳපොළට එන නවීනතම ජංගම දුරකතන මාස තුන හතරකට වරක් මාරුකරනවා. ඒත් තවත් සමහරු ඉන්නවා ජංගම දුරකතන වෙළෙඳපොළේ මොන තරම් අලුත් මාදිලි ආවත් ඔවුන්ගේ පරණ දුරකතනයම පාවිච්චි කරනවා. ඒගොල්ලන්ට දුරකතනයේ ප්‍රමාණය වැදගත් වෙන්නෙ නැහැ.

ඔන්න ජනප්‍රිය කලා ශිල්පියෙක් ඉන්නවා, ඔහුත් පාවිච්චි කරන්නෙ පරණ පොඩි ෆෝන් එකක්.
උත්සවවලට, විශේෂයෙන් වෙඩින්වලට එහෙම ගියාම මෙයා කරන්නෙ ෆෝන් එක ඕෆ් කරලා සාක්කුවෙ දාගන්නවා. මොකද දැන් හැමෝම පුරැදුවෙලා තියෙන්නෙ උත්සවවලදී තමතමන්ගෙ නවීනතම ෆෝන් එළියට අරගෙන සෙල්ෆි ගන්න එකයි, ෆොටෝ ගන්න එකයි වීඩියෝ කරන එකයිනෙ.

කිසිම හදිස්සියකට මම නම් මගේ ෆෝන් එක එළියට ගන්නෙ නෑ උත්සවවලට ගියාම, ඔහු යාළුවන්ට නිතරම කියනවා. 

 

අයාලේ යන බැලේ

ලංකාව කියන්නෙ මුද්‍රා නාට්‍ය කලාව පිළිබඳ පෞඪ ඉතිහාසයක් තියෙන රටක්. ඒත් වර්තමානයේ නම් මේ කලාව ගැනවත්, ඉතිහාසය ගැනවත්, ශිල්පය ගැනවත් නිවැරදි අවබෝධයක් නැති අය මේ ක්ෂේත්‍රය තුළ වැජඹෙන හැටි දැක්කම ඇතිවෙන්නෙ පුදුමාකාර දුකක්.

වසරක් පාසා දීපව්‍යාප්තව පවත්වන මුද්‍රා නාට්‍ය තරගාවලියෙන් මුල්තැන ලබාගන්න කණ්ඩායමට ඊළඟ වසරේ මුද්‍රා නාට්‍ය දිනය සැමරෙන අවස්ථාවේ තම ප්‍රතිභාවන් පෙන්වන්නට අවස්ථාව ලබාදෙන බවට අදාළ බලධාරීන් පොරොන්දු වුවද, මුද්‍රා නාට්‍ය දිනය එළඹෙන විට එහි හරඹ දක්වන්නට ආරාධනා ලැබෙන්නේ එක්කො උඩරට නැටුම් හෝ පහතරට නැටුම් ප්‍රගුණ කළ අයෙක්ට. 

2003 වසරේ සිට වැඩිම වාර ගණනාවක් ජාතික මුද්‍රා නාට්‍ය උළෙලේ මුල්තැන දිනාගත් කණ්ඩායමක් මෙසේ විසිවෙන්නෙ ඔවුන්ට දේශපාලන බලපුළුවන්කාරකම් නැති නිසාදැයි, නර්තන ක්ෂේත්‍රයේ අය ප්‍රශ්න කරනවා.

 

තොල පැලුණත් වැඩේ ගොඩ

ප්‍රකට රංගන ශිල්පිනී සෝනියා දිසා මේ දිනවල මාධ්‍යවල කතාබහට ලක්වෙන චරිතයක්.
චිත්‍රපට 150ක පමණ රංගනයෙන් දායකවෙමින් ආදායම් වාර්තා තැබූ චිත්‍රපට 10කට වැඩි සංඛ්‍යාවක් නිෂ්පාදනය කළ සෝනියා ජීවිතයේ බොහෝ දුක් කම්කටොලුවලට මුහුණදුන් චරිතයක්. ඒ සැබෑ ජීවිතේදී.
සිනමා ජීවිතයේ සෝනියා දැඩි කැපවීමෙන් වැඩ කළ රංගන ශිල්පිනියක්.

එදත් සූරයා අදත් සූරයා චිත්‍රපටය කරන කාලෙ සෝනියාට දවසක් අධ්‍යක්ෂ ලෙනින් මොරායස් කිව්වලු, පහුවදා මෝටර් බයිසිකලයක් පදින සීන් එකක් එයාට තියෙනවා කියලා. මෝටර් සයිකල් පැදලම නැති සෝනියා දවසකින් පදින්න ඉගෙන ගෙන ඊළඟ දවසෙ ෂූට් එකට ලෑස්තිවෙලා. කාර් දෙකක් මැද්දෙන් සෝනියාට තිබුණෙ වේගයෙන් මෝටර් සයිකලය ධාවනය කරගෙන යන්න. එක කාර් එකකින් බෑගයක් අරගෙන පලායන්නයි ඇයට තිබුණෙ. පළවෙනි ටේක් එකේදී බෑගය හුළඟෙ ගිහින් වැඩේ අවුල් වුණා. ඊළඟ ටේක් එකේදී ලෙනින් බෑග් එකට ගලක් දාලා, සෝනියා දන්නෙත් නැහැ. කාර් එකෙන් වීසිකරපු බෑග් එක වැදුණේ සෝනියාගෙ කටේ. ඒත් ඇය සීන් එක සාර්ථකව කරලා.


ඊටපස්සෙ තමයි ඉස්පිරිතාලෙ ගිහින් මැහුම් දාගෙන තියෙන්නෙ. අද පරපුරේ මෙවැනි කැපකිරීම් සිදුවෙනවා නම්, අපේ කලා ක්ෂේත්‍රය මොන තරම් ඉහළ තලයක පවතීවිද?

 

► Text - Mithra