2018 පෙබරවාරි 10 වන සෙනසුරාදා

දැහැන

 2018 පෙබරවාරි 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 104

අපි නිදහස්... එහෙව් බලහත්කාර සිතුවිල්ලක් හිතට ඔබ්බවන්න යත්න දරන්න හැත්තෑ වැනි නිදහසේදීත් වගකිවයුත්තෝ මාර ගේමක් දුන්නා... කොහොමද අපි ජීවිතයෙන් නිදහස්. මනසින් අපි වහල්ලු.... ජීවිතයෙන් අපි හිරකාරයෝ....... කොහොමද අපි නිදහස්............... අදටත් අපි මනසින් සහ ජීවිතයෙන් ජීවත් වෙන්නේ හිරගෙවල්වල.......... එහෙව් අපි නිදහස්ලු...... නෑ අපි නිදහස් නෑ. ඒ තමා ඇත්ත........

අවුරුද්දකට වතාවක් අපි අපේම හිත් රවට්ටගෙන නිදහස සමරනවා. පැය කිහිපයක් වෙනුවෙන් කන්ට අදින්ට ඉන්න තැනක් නැති දුප්පතුන් ඉන්න රටේ ලක්ෂ ගණනක සල්ලි කන්දරාවක් නාස්ති කරගෙන අපි නිදහස සමරනවා.... ආ උඹලා නිදහස සමරපල්ලා කියලා සුද්දෝ දෙන සල්ලි නෙවෙයි ඒ. හිඟා නොකා හිඟා කන තරමේ දුප්පතුන් ඉන්න සුද්දාගෙන් නිදහස ලබාගත්ත දවසේ ඉඳන් සංවර්ධනය වෙමින් පවතින රටේ සල්ලිවලින්... ඇත්තටම අපට සමරන්න තරම් නිදහසක් අද වෙනකම් ලැබිලා තියෙනවද? අදටත් අපි වැඩිදෙනා අධිරාජ්‍යවාදීන්ගේ මනදොළ එදා වගේම සපුරන ගැත්තෝ.... ඒ ගැතිකමින් පරම්පරා ගණනක් ගිහිල්ලත් මිදෙන්න අපිට බැරිවුණා..... කයින් ලංකාවේ පොළොවේ බාගෙට අඩිය තියලා ඉන්න ගමන් අපේ රටේ ගොඩක් එවුන් හිතින් සුද්දන්ගේ රටක ජීවත් වෙන්නේ ඒකයි.... සුද්දෝ කන හැටියට කන්න බොන්න අඳින්න හදන්නේ ඒකයි... හමේ පිළිකා ඇතිවුණත් කමක් නෑ කියලා හිතලා සුද්දන්ගේ වගේ හම සුදුවෙනවා නම් ඕන මලජරාවක් මූණේ අතුල්ලා ගන්නේ ඒකයි...... හම සුදු කරගැනීම උන්මාදයක් වෙන තරමට අපි අදටත් ජීවත් වෙන්නේ හදවතින් කොලනි මානසිකත්වයේ.

අදටත් අපිට සුද්දෙක් නැතුව නිදහස් උත්සවය සමරන්න බෑ. එහෙම නැතුව නිදහස සමරන්න අපේ පරගැති පාලකයන්ට හිත් දෙන්නේ නෑ. ඒ නිදහස සමරන සුද්දන්ගේ අත්තලා මුත්තලා තමයි යුග යුග ගණනක් මුළුල්ලේ මේ මහපොළොවේ සාරය උරාගෙන බීවේ.... මේ මහපොළොව වඳ වෙනකම් උන්ට රිසි රිසි ලෙස අස්වනු නෙලා ගත්තේ. ජාතිය ගැන කැක්කුමෙන් කතා කරපු සිංහලයන්ට උන්ගේ බයිනෙත්තු වලින් වෙඩි තියලා මරා දැම්මේ... එහෙව් සුද්දොත් එක්ක සමරන නිදහසේ අර්ථය මොකක්ද කියලා ඔයා ඔයාගෙම හෘද සාක්ෂියට තට්ටු කරලා අහන්න. කට ඇරගෙන ටීවී එකේ නිදහස් උත්සවය බලලා ආතල් ගන්න එවුන්... පේමන්ට් ගානේ මාර්කට් වෙච්ච නිදහසේ වෙළඳ අරමුණුවලට නොදැනීම විකිණෙමින් ගෙදර, වාහනයේ සිංහ කොඩි ගහගෙන අපිත් නිදහසේ හවුල්කාරයෝ කියලා කියන්න හදන ගොන් ආතල් පරපුරෙත් ඇස් ඇරෙනකම් සුද්දෝ එයි ලංකාවේ නිදහස සමරන්න... නිදහසට සතියක් දෙකක් තියෙද්දී උදේට පාරවල් වහලා රස්සාවලට එන ඉස්කෝලේ යන මිනිස්සු බඩ කට පුරා කන චාටර් නිදහසේ අතුරු තිළිණ ලෙස ඔබට භුක්ති විඳින්න ලැබෙයි.

මෙදා සැරේ නිදහසේ කල එළි බහින්න හැදුව ලැප්ටොප් නැටුම වගේ මළ විකාර ඊළඟ අවුරුද්දටත් කල එළි බහින්න හදයි. කොළඹ ඉස්කෝල කිහිපයකට ටැබ් හම්බුණාට ටැබ් එකක් තියා ටැප් එකක්වත් නැති ඉස්කෝල ලංකාවේ ඕන තරම් තියෙනවා කියන එක අඟහරු ලෝකේ ජීවත්වෙන බහුතරයක් දේශපාලනඥයන් දන්නේ නෑ... වැසිකිළියක් නැති වැස්සට නොතෙමෙන වහළක් නැති ලැප්ටොප් තියා ඩෙස්ක්ටොප් එකක්වත් දැකලා නැති ඉස්කෝලේ දාන්න සපත්තු මේස් නැති දරුවෝ අනන්තවත් ඇති රටේ ලක්ෂ ගණන් සල්ලි කන්දරාවක් පැයට දෙකට පුච්චලා දාලා අපේ මහපොළොවේ මුතු මැණික් සාරය අයිතිය උරා බීපු සුද්දොත් එක්ක අපේ පාලකයෝ අදටත් වහල් ගැති එහෙයි න්‍යායෙන් නිදහස සමරනවා.

ඉංග්‍රීසිය අපිට ඕනෑ... ඒ ජාත්‍යන්තරය දිනන්න අතට ගන්න ඕන එක් ප්‍රබලතම ආයුධයක් වෙන්නේ ඉංග්‍රීසිය නිසා. සුද්දන්ගේ වෙලාවට වැඩ කිරීමේ පුරුද්ද අපි ඉගෙන ගන්න ඕන. ඒත් අපි ඒ හොඳ දේ අහක දාලා බදා වැළඳගෙන ඉන්නේ පරගැති බව විතරයි. එහෙයි බව විතරයි.

අපි ලබපු නිදහසක්වත් සමරපු නිදහසක්වත් නෑ...... අපි තාම හෙළුවෙන්.

I Saara