2018 පෙබරවාරි 10 වන සෙනසුරාදා

මාළු මාළු මාළු...

 2018 පෙබරවාරි 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 92

ඔන්න එකමත් එක චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් ළමා නිර්මාණයක් කරන්න හිතාගෙන එයාගෙ තිරපිටපත අරගෙන නිෂ්පාදකවරු හොයාගෙන කීප පොළකට ගියාලු. ඒත් කවුරුත් වැඩේට හොඳ ප්‍රතිචාරයක් දක්වලා නැහැ.
චිත්‍රපටයෙ රඟපාන්න ළමා ශිල්පීන් තෝරාගෙන තිබුණෙත් සම්මුඛ පරීක්ෂණ තියලා. ප්‍රවීණ රංගන ශිල්පීන් කීපදෙනෙකුත් වැඩේ ඉන්නවලු.

ඔහොම කාලයක් ගියාම මෙයාට මීගමු පැත්තෙ නිෂ්පාදකවරයෙක් මුණගැහිලා. එයා ප්‍රසිද්ධ මාළු මුදලාලි කෙනෙක්ලු.
ඔන්න දැන් ෂූටිං පටන් ගත්තා කියමුකො. ළමයි සහ චිත්‍රපට කණ්ඩායම නැවතිලා හිටිය හෝටලේ ඉඳලා දර්ශන තලයට කිලෝමීටර් 40ක විතර දුරක් තියෙනවලු.
පළවෙනි දවස් දෙක තුනේම හොඳ AC කරපු වෑන් දුන්නලු දර්ශන තලයට යන්න එන්න.

ඒත් පස්සෙ වෑන් නැහැයි කියලා මාළු අදින බට්ටො ලොරි එවනවලු පුටු කීපයකුයි පැදුරු ටිකකුයි දාලා. ළමයි ටිකයි, ඒගොල්ලන්ගෙ මවුපියො වගේම, කණ්ඩායමේ සෙසු අයත් ඒ වැඩේට විරුද්ධ වුණු නිසා ෂූටිං වැඩෙත් එතනින්ම නතරවෙලා තියෙනවා.

 

විලි ලජ්ජාවෙ බැහැ

අපේ සිනමාවෙ 71 වැනි සංවත්සරය සමරන්න ජාතික චිත්‍රපට සංස්ථාවෙ සිනමා ශාලාවේ උත්සවයක් පැවැත්වුවා. ආරාධිතයන් අතර ප්‍රභූ පිරිසකුත් ඇවිත් හිටියා. ඒත් සිනමා ශාලාවෙ ප්‍රක්ෂේපණ යන්ත්‍රයේ දෝෂයක් නිසා හැමෝගෙම වටිනා කාලය නාස්ති වුණා. ඊටත් වඩා ගොඩක් අයට තිබුණෙ ලජ්ජාවක්. මේ වගේ වැඩකදිවත් කාර්මික පැත්ත ගැන හොයලා බලන්න කෙනෙක් නැද්ද?

ඔය වැඩේ අහම්බයක් නෙවෙයි. මේ ශාලාවෙ පවත්වපු ජාත්‍යන්තර සිනමා උළෙලක් අතරතුරත් මේ වගේම සිද්ධියක් වුණා. ඒත් මේවා හැදෙන පාටක් නම් නැහැ වගේ.

ඊයෙ පෙරේදා දවසක බෙනට් රත්නායක සිනමාවේදියාගේ නෙලා චිත්‍රපටයේ මාධ්‍ය දර්ශනයක් මෙම සිනමා ශාලාවේ පැවැත්වුණා.

මහත් බලාපොරොත්තු ඇතුව එදා එතැනට ආපු මාධ්‍යවේදීන්ටත් පැයකට වැඩි කාලයක් නාස්ති කරන්න සිද්ධවුණා ප්‍රක්ෂේපණ යන්ත්‍ර දෝෂයක් නිසා. අන්තිමේදී නෙලා බලන්න ලැබුණෙ DVD යන්ත්‍රයක් මාර්ගයෙන්.
නෙලා බලපු හැමෝම කිව්වෙ චිත්‍රපට සංස්ථාවෙ මේ වගේ වැඩ හෙලාදැකිය යුතුයි කියලා.

 

ගමන දිගයි ආයුෂ කෙටියි

මේ දවස්වල පුංචි තිරයේ දිගහැරෙන සමහර නාට්‍ය දිහා බැලුවාම ඇතිවෙන්නෙ පුදුමාකාර දුකක්. කොටස් සීයකින් ඉවරවෙයි කියලා හිතෙන සමහර ටෙලිනාට්‍ය, ඒවායේ ඇතැම් චරිත ජනප්‍රිය වුණු ගමන් ඒ නාට්‍ය බඩවැල් වගේ තව තවත් අදිනවා. 200, 250 වගේම 300 ත් පනිනවා. සමහරු ඒවායේ දෙවෙනි කොටසත් ගේනවා.

ඒ වගේ සමහර නාට්‍ය නිසා අපේ ප්‍රවීණ මෙන්ම දක්ෂ තරුණ නළු නිළියන්ටත් වෙන්නෙ නරකක් මිස හොඳක් නෙවෙයි.
නාට්‍යයක් මිනිස්සුන්ට එපාවෙන තරමට ඇදෙනකොට ඒ නාට්‍යයේ ඉන්න නළු නිළියන්වත් මිනිස්සුන්ට එපාවෙන කාලයක් එනවා.

මෑතකදී ඉතාම ජනප්‍රිය වූ ටෙලිනාට්‍යයක රඟපාපු අතිදක්ෂ රංගන ශිල්පියෙක් මේ හේතුව නිසාම ඒ නාට්‍යයෙන් අයින් වෙලාලු. 

කොටස් 100, දැන් 200 කරලා ඊටපස්සෙ 500 කරා යන්න හදනකොට සිදුවෙන නිර්මාණ හානිය ගැන ඔහු නිෂ්පාදකවරුන්ට තේරුම් කරලා දුන්නලු. හෙට අනිද්දම බලාගෙන ඉන්නකො, ඔහුව කතාවෙ රට යවන හැටි.

 

ගජයයි - හෙණයයි                                                

ලෝකෙ කිසිම දෙයක් සදහටම, එකම විදිහට පවතින්නෙ නැහැනෙ. ඇතිවෙනවා, නැතිවෙනවා. හැදෙනවා, කැඩෙනවා. ඔය ප්‍රේම සම්බන්ධකම් කියන ඒවත් ඔහොම තමයි. සමහර විවාහත් ඔහොම වෙනවලු.

මේ කියන්න යන්නෙත් මොකක් හෝ හේතුවකට තමාගේ විවාහ ජීවිතය අසාර්ථක වූ නිළියක් ගැන කතාවක්. ඒත් එයාගෙ විවාහ ජීවිතය දෙදරා යන්න හේතුව තවත් නිළියක් කියලයි එයා තැන්තැන්වලට ගිහින් කියලා තියෙන්නෙ.
දැන් අර චෝදනාව එල්ලවුණු නිළියට මේක ආරංචි නොවී තියෙන්නෙ නැහැනෙ. ඒක ආරංචි වුණ ගමන් එයා අර නිළියට බැණලා එස්.එම්.එස් එකක් යවලා.

අන්තිමේදී ඒකෙ එයා කියලා තියෙනවා අපරාදෙ මම ඔයාගෙ ගෙවල් ළඟ ගෙයක් ගත්තෙ කියලා. බැලින්නම් ඉස්සර දෙන්නම ගජ යාළුවො. ගෙවල් දෙකක් අරන් තියෙන්නෙත් එක ළඟ. ඒ තරම් ෆිට් එක ඒ කාලෙ.

 

මාර ප්‍රයෝග

ඔන්න කවුරුත් දන්න කියන තරුණ කලා ශිල්පිනියක් ඉන්නවා. ඇයට ඉන්නවා පාට්නර් කෙනෙක්. ඇය යන එන බොහෝ තැන්වලට ඔහුත් යනවා. ඔහු හොඳ, කඩවසම්, ධනවත් ව්‍යාපාරිකයෙක්. ඉන්නෙ හංවැල්ල පැත්තෙයි කියමුකො.

දැන් කොහේ හරි තැනක ක්ෂේත්‍රයේ හිතවතුන් හමුවුණාම ඇයත් ඇගේ සහකරුවා ළඟම අයට හඳුන්වලා දෙනවා. ළඟදී දවසක මේ ව්‍යාපාරිකයා මේ රංගන ශිල්පිනියට කෝල් එකක් දීලා ඇහුවා, දැන් කොහෙද ඉන්නෙ කියලා.

මම ගෙදර. ඇයි ඒ? එහෙනම් අර අහවල් නිළිය මාව හම්බවෙන්න අපේ ගෙදරට එනවා කිව්වෙ ඔයා එක්ක නෙවෙයිද?

මේ රංගන ශිල්පිනිය වහාම කැබ් එකක් අරගෙන ඔහුගේ නිවෙසට ගිහින්, විනාඩි 15 ක් ගියේ නැහැල්ලු, අර අහවල් නිළිය එහෙට ආවලු. හා ජෝඩුවම ඉන්නවා කියලා දැනගෙන තමයි මාත් ආවෙ, කියලා එයා කිව්වලු.

 

► Text - Mithra

 

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00