2017 ජනවාරි 14 වන සෙනසුරාදා

රට වටේ වැඩ ගොඩක

 2017 ජනවාරි 14 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 148

ප්‍රදීප් බෝගහවත්ත වෘත්තියෙන් සංගීත ශිල්පියෙකි. ගායනය වාදනය මෙන්ම කටහඬ පුහුණු කිරීම් සිදුකරන සංගීත ගුරුවරයෙක්.

කොහොමද සංගීත ක්ෂේත්‍රයට පිවිසුණේ? 
මගේ පාසල කොළඹ ඉසිපතන විද්‍යාලය. ඉස්කෝල කාලේ ඉඳලම මගෙ ඇඟේ සංගීතය තිබුණා. මගේ සංගීත ගුරැවරැන් දෙන්නා වුණේ ලක්ෂ්මන් විජේසේකරයි, ආනන්ද වීරසිරියි. සාමාන්‍ය පෙළ කරන කාලෙදී තමා මම රෝහණ වීරසිංහගෙ පන්තියට ගියේ. ඒ ක්ලාස් එකේ ඉගෙන ගනිද්දිම මටත් උගන්නන්න අවස්ථාව ලැබුණා. ඊට පස්සෙ දීපිකා ප්‍රියදර්ශනීගෙ ක්ලාස්වලත් කීර්ති පැස්කුවල්ගෙ ක්ලාස්වලත් මම ඉගැන්නුවා. 

මොනවාද වාදනය කරපු සංගීත භාණ්ඩ?
මුලින්ම බටනලාව. ඊට පස්සෙ කීබෝඩ්, ගිටාර්. දැනටත් මම කීබෝඩ්, ගිටාර් වාදනය කරනවා. වොයිස් ට්‍රේනින් කරනවා. ගෘප් ගොඩක මම වැඩ කළා. රෑපවාහිනී ලයිව් ප්‍රෝග්‍රෑම් ගනණාවක මම සංගීත වැඩසටහන් අධ්‍යක්ෂණය කළා.

ඔබ කරපු ගීත ගැන කිව්වොත්?
මිල්ටන් මල්ලවආරච්චි, රනිල් මල්ලවආරච්චි එක්ක කරපු එකම සින්දුව මේ ලොව ගැඹුරුයි ගීතයෙ මියුසික් කළේ මම. ග්‍රැන්විල් රුද්‍රිගුගෙ සීඩී එකේ ගීත මම කළේ. මාස්ටර් සරත් දසනායක, වික්ටර් රත්නායක, සුනිල් එදිරිසිංහ වගේ ප්‍රවීණ ගායකයෝ හැමකෙනෙක් එක්කම වගේ මම වැඩ කළා. දැන් මම මේ ෆීල්ඩ් එකට ඇවිත් අවුරුදු 25ක් විතර වෙනවා. සෙනිත් කියන ගෘප් එක හැදුවෙත් මම. මම වැඩිපුරම තැන දෙන්නෙ ඉගැන්වීම් කටයුත්තට. මම ක්ලාස් එකක් කරනවා. ගායනය වාදනය වොයිස් ට්‍රේනින් ඔක්කොම උගන්නවා. ක්ලාස් එකේ නම ප්‍රෙෂණ් ඩෝ. මට ඕනි මම දන්න දේ හරියට දරුවන්ට උගන්නන්න.

ඉගැන්වීමට අමතරව ඔබ මොනවද කරන්නෙ?
මම මියුසික් තෙරපි කියලා ප්‍රෝග්‍රෑම් එකක් පටන් ගත්තා. ඩොක්ටර්ස්ලා, ලෝයර්ස්ලා වගේ ඉහළ පංතිවල අයත් ඒකට සහභාගි වෙනවා. සංගීතය කියලා කියන්නෙ මනස රිලැක්ස් කරන දෙයක්නෙ. ඉතින් මම ඒ දේ කරනවා.

ඉස්සරහට මොනවද කරන්න බලාපොරොත්තු වෙන්නෙ?
මගේ ක්ලාස් එකේ ළමයින්ගෙ කොන්සට් එක කරන්න ලෑස්ති වෙනවා මේ දවස්වල. මම හැම අවුරුද්දකම ප්‍රෙෂණ්ඩෝ නයිට් කියලා කොන්සට් එකක් කරනවා. ඒ අවුරුද්දෙ ඉගෙනගත්ත ළමයින්ව පෆෝම් කරන එක තමා ඒකෙ අරමුණ. සමාජයට යහපත් දෙයක් ඉදිරිපත් කරන්නෙක් බිහිකරන එක තමා අයිඩියා එක. මම සංගීතයට හරිම ආදරෙයි. දැන් ඉන්න පරම්පරාවට යහපත් දෙයක් දෙන එක තමා මගෙ තීම් එක.

Text- Thanu