2017 ජනවාරි 14 වන සෙනසුරාදා

තඩි ගලක් උඩ පොඩි ගලක්

 2017 ජනවාරි 14 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 256

බාප්පගේ දුවට කටුගේ පෙන්නන්න ගිහිල්ලා තව ඩිංගිත්තෙන් මගේ කටු පොඩි වෙනවා. ඒ තරමට මේකි ප‍්‍රශ්න අහනවා. අයියේ අරක මොකද්ද මේක මොකද්ද. මේකෙන් මොකද්ද කරන්නේ අරකෙන් මොකද්ද කරන්නෙ. අරකෙන් කරන දේ මේකෙන් කරන්න බැරිද වගේ දහසකුත් ප‍්‍රශ්න ඒකි ඇහුවා. කොහොම වුණත් අපි ඉතිරි භාණ්ඩ ටිකත් බලාගෙන බලාගෙන ගියා. මෙන්න බොලේ කැත්ත. අවුරුදු විසිපන්දහසක් පැරැණි කැත්තකි.

ඒක දැකපු ගමන් නංගිගේ ඇස්දෙක ටොම්බ සයිස් වුණා. 
- අයියේ අවුරැදු විසිපන්දාහක් පරණ කැත්තක්. හරි පුදුමයිනේ

- ඔව්
- ඒ වුණාට අලුත් වගේනේ බලන්නකෝ
මේකනේ බං.  ඕකේ කාලේ ගෙවෙනකොට තලයක් අලුතින් දානවා. මිට ගෙවෙනකොට මිටක් අලුතින් දානවා. ඔය දෙකම එක පාර අලුත් කරලා නෑ අවුරැදු විසිපන්දාහකින්. දැන් පණ්ඩිත කතා කියවන්නෙ නැතුව ඕක කියවා ගනින්.

කැත්ත -  
කැත්ත වනාහී මිට දිග පිහියකි. මන්නා පිහියටම දිග සයිස් එකේ මිටක් හයිකර ගැනීමෙන් කැත්තක් සාදා ගත හැකිය. මෙම කැත්ත අවුරැදු විසිපන්දාහක් පරණ එකක් බව සිහිතබා ගන්න. කැත්ත යොදාගන්නේ කැති ගාන්නටය. කැති ගානවා කියන්නෙ මොකද්දැයි කියාදීම විෂය නිර්දේශයට අදාළ නැති බැවින් ඒ ගැන විස්තර නොකියවෙයි. එහෙත් කැති ගෑම ආතල්ම ක‍්‍රීඩාවකි. ගෑනු ළමයි කවදා හරි කසාද බැඳලා තමුන්ගේ මිනිහත් එක්කලා කැත්තට පොල්ල වාගේ ඉන්න ඕන යැයි ආච්චි අම්මලා නිතර කියයි. 

මිරිස්ගල -  
මිරිස් ගලට ඒ නම ලැබී ඇත්තේ ඇයි දැයි කවුරැත් දන්නේ නැත. තඩි ගලක් උඩ පොඩි ගලක් තැබීමෙන් මිරිස්ගලක් නිපදවා ගත හැකිය. තඩිගලට මව් ගල කියා කියන අතර පොඩි ගලට දරැගල යැයි කියති. තඩි ගලට මව් ගල කියන්නේ ඒක ලොකු නිසාය. පොඩි ගලට දරුගල කියන්නේ ඒක පොඩි නිසාය. ඒ වුණාට දැන් නම් අම්මලාටත් වඩා ලොකු දරැවන් ඉන්නා බැව් ඇත්තකි. මිරිස් ගලේ විවිධ දේ අැඹරැවත් කවුරැත් කතාකරන්නේ මිරිස් ගල කියලාය. මිරිස් ගල යනු කුස්සියේ උපකරණයක් ලෙස සිතුවාට සමහර දේවාලවලද මිරිස්ගල් ඇත. ඔය එක එක ඇමැතිවරැ තම තමන්ගේ විවිධ සැලසුම් වතුරේ ගිය පසු වතුරේ බෝට්ටුවක නැගගොස් දේවාලයේ පොල් ගසා මිරිස් අඹරා එයි. එසේගොස් මිරිස් අැඹරන්නේ තමාගේ ප‍්‍රතිවාදියා මේ මිරිස් ඇඹරෙනවා වාගේ ඇඹරිලා පලයන් යන සුපහන් සිතින් යුතුවය. එහෙත් මේ දක්වා ඇඹරී ඇත්තේ එසේ ඇඹරූ අයමය. 

වංගෙඩිය සහ මෝල් ගහ -  
වංගෙඩියයි මෝල් ගහයි කියන්නෙ නිවුන් සහෝදරයින්ය. ඉපදුනේ එකටමය. හැබැයි පට්ට වෙනස්ය. වංගෙඩිය ලොකුය මහතය. හැබැයි මිටිය. මෝල් ගහ ඇවිල්ලා කෙට්ටු හීන්දෑරිය හැබැයි රිටක් වගේ උසය. වංගෙඩියයි මෝල් ගහයි ඇත්තේ කොටන්නටය. අවුරැද්දට කැවුම්, කොකිස්, මුං, අලුවා හදන්නට අවශ්‍ය පිටි කොටා ගන්නේද කැඳක් එහෙම හදාගන්නට ඕනෑ විට ඒ කොල කොටාගන්නේද වංගෙඩියෙනි. ඊට අමතරව දරුවන් කෙටීමටද වංගෙඩිය සහ මෝල් ගහ යොදාගත් අවස්ථාවක් ලෙස ඇහැලේපොල කතාව පෙන්වාදිය හැකිය. වංගෙඩි සමහර කාලයට මෝල් වෙයි. ඒ කියන්නේ පිස්සු හැදෙයි. එහෙම කාලයට වංගෙඩි ගෙවල් වලින් දොට්ට බැස පාජාවේ යයි. එසේ යද්දි කුඹුරු හරහා යන නිසා කුඹුරැවල අලි සයිස් එකේ අඩි සලකුණු වදියි. මේ දෙස බලාසිටි පැරුණි මිනිහෙක් ප‍්‍රස්ථාව පිරැලක් හැදුවේය. එනම් ගහෙන් වැටුණ මිනිහට මෝල් ගහෙන් ගැහුවා වාගේ කියලාය. මේ දෙක අතර සම්බන්ධයක් ඇත. බුද්ධිමතුන්ට පමණක් තේරෙයි. 

දිනසීයේ කැලැණ්ඩරේ -  
දිනසීයේ කැලැණ්ඩරය අපේ රටේම නිර්මාණයකි. ලෝකයේ සෑම රටකම කැලැණ්ඩරයකටම දින 364 ඇති නමුත් අපේ රටේ දිනසීයේ කැලැණ්ඩරද ඇත. ඒවා අලුත් ආණ්ඩු එන්නට පෙර, ආවම කරන වැඩ ඇතුළුකර දින වකවානු දමා සැලසුම් කර සාදයි. එහෙත් බලයට ආපසු කැලැණ්ඩර් කානුවට විසිකරයි. ඉතින් මේ දිනසීයට අහුවුණ බොහෝ ජනී ජනයා ඕකුන්ට නම් හෙණ ගහපන් යැයි කියා කියති. ඒ වුණාට උන් ආයෙමත් ඒ වගේම මෙව්වා එකකට අහුවෙති. උන්ගේ රස්සාව ඇවිල්ලා අහුවෙන එකය. දැන් නම් දිනසීයක් ගැන කිසි කතාවක් නැත. දිනසීය වෙනුවට දැන් සතිසීයත් පහු කරලාය. ඒ නිසා දිනසීය අපි කටුගෙට ගෙනැල්ලා මහජන පෙදර්සනේට තැබ්බෙමු.

- නංගි ඇද්ද නංගි දැන්
- අනේ අයියා මට යන්න ඕන අපේ රටේ අන්තිම රජ්ජුරුවන්ගේ කඩුව බලන්න
- මොකක් බලන්න
- අන්තිම රජ්ජුරුවන්ගේ කඩුව බලන්න.
- පිස්සු කතා කියන්න එපා නංගි
- ඇයි බලන්න බැරිද?
- පුළුවන්... ඒක හෙණ බොරුවක්.
- ඇයි?
- අන්තිම රජ්ජුරුවන්ගේ කඩුව කවුරු හරි පොරක් හොරකම් කරන් ගියා. 
- ඉතින්...
- පස්සෙ ඒකට වෙච්ච දෙයක් නෑ. අනික අන්තිම රජා කියලා කෙනෙක් නෑ බං
- ඇයි? 
- ඇයි කියන්නේ දැනටත් රජවරු ඉන්නවා. ඉතින් කොහොද අන්තිම එකෙක්.
- එහෙනම් එයලාගෙ කඩුවක් හරි පෙන්නන්න. 
- අයියෝ දැන් ඉන්න රජාලට කඩු නෑ නංගි. උන්ට තියේනනෙ ටුවක්කු. 

මම
හොස්ස ළඟින් ගිය මැස්සා.