2018 පෙබරවාරි 24 වන සෙනසුරාදා

දැහැන

 2018 පෙබරවාරි 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 144

අහස දම් පාට හැන්දෑවක්. ඒ දම්පැහැ අහසේ අතරින් පතර අළු පැහැ වලාකුළු. ඒත් ඒ අහස ආදරණීය අහසක්. හැන්දෑව හුඟක් හැඟීම්බර කළේ ඒ අහස. එහෙම අහසක් යට ගෙවපු හැන්දෑවන් ඔයාගේ ජීවිතෙත් ඇති. ඒ හැන්දෑවන් ඔයාට දැනුණේ කොහොමද කියන්න දන්නෙත් ඔයාම විතරයි. ඒ ඔයයි මායි දෙන්නෙක් හින්දා. අපි කාටවත් කවුරුත් වෙන්න බෑ. ඒකට තමා වෙනස කියන්නේ.

ඒත් ඒ වෙනස කොයි විදිහේ වෙනසක් වුණත්  ඒ වෙනස ළඟ එකම එක සමානාත්මතාවයක් තිබුණා. කොයි විදිහකින් හරි අපි දෙන්නම ඒ අහසට ආදරය කරන්න ඇති. විදිහ වෙනස් වුණාම මොකද හැඟීම එකනම්.. මේ ලෝකය විවිධත්වයකින් අපූර්වත්වයකට පත් කළේ වෙනස. වෙනසක් නැති තැන විවිධත්වයක් නෑ. විවිධත්වයක් නැති තැන වින්දනයක් නෑ. ඒත් මිනිස්සු සදාචාරය, සංස්කෘතිය කියන ගෝනිබිල්ලට මාරාන්තික බයයි. ඒ හින්දා අපි වෙනස, විවිධත්වය හදවතින් ඉල්ලමින් ඒ මත්තේ විඳවමින් සංස්කෘතික ප්‍රමිතිය ඇතුළේ වලංගු ලේබල් මත පමණක් වින්දනයේ සීමාවන් පනවා ගන්නවා. ඇයි අපි ඒ තරම් බය.. ඇයි අපිට අපේ ජීවිත අයිතිය හා වින්දනයේ අයිතිය ඊට වඩා ස්වාධීන නිදහස් රැඩිකල් ඉසව්වකට රුගෙන යන්න බැරි.. ඇයි තමන්ට තමන් වෙන්න බැරි.. අපි වටා ඇති බැඳීම් ආදරණීය ලෙස සිත් නොරිදවා ලිහාගන්න බැරි... ඇයි අපි අනුන්ගේ හිරගෙවල්වල හිරකාරයන් වෙන්නේ. ඇයි මට මම වෙන්න බැරි? ඔයාට ඒ ප්‍රශ්නෙට පැහැදිලි උත්තරයක් නැත්නම් ඒ උත්තරේ ඔයාට ඔයා මඟහැරෙන්න පෙර හොයාගන්න.

අදටත් කසාදෙදි කුලය, ජාතිය, ආගම, වයස හොයන සමාජයක මම මම වෙන්නනම් ලිහා  ගත යුතු බැමි වගේම පෙරළා දැමිය යුතු අතේරුම් සහිත සංස්කෘතික බලකණුත් අප්‍රමාණයි. මොකද වැඩවසම්වාදී රදළ හා සමාජ ආකල්ප අදටත් මිනිස් සිරසින් බැහැරට ගිහින් නෑ. ලෝකය තාක්ෂණය අතින් ඉදිරියට යන වේගයට සාපේක්ෂව මිනිසුන් තුළ සිතුවිලි පුනරුදයක් ඇති වෙන්නේ නෑ. විශේෂයෙන් ලංකාව ඉන්දියාව වගේ ගෝත්‍රික ආකල්ප අදටත් නමස්කාර පූර්වකව පිළිගන්න මිනිස්සු අතිශය බහුතරයක් එක්ක අපිට මම මම වීමේ අරගලය දියත් කළත් ප්‍රතිඵල ලබාගැනීම ඒ තරම් පහසු නෑ. ඒ අපිට දෙබෑ කර නවමු උල්පත් පෑදිය යුතුව තියෙන්නේ මහ කළු ගල් නිසා.

තමන්ගේ ජාතියෙන්, ආගමෙන්, සංස්කෘතියෙන්, කුලයෙන් පිට කසාදයක් මාරාන්තික වරදක් විදිහට සලකන මිනිස්සුත් එක්ක ආදරය හා විවාහය කියන කාරණයේදී මේ වගේ රටවල දරුවන්ට තමන්ගේ මව්පියන් හා ඥාති සමුහයා ඉදිරියේ ලොකු අසරණවීමකට මුහුණ දෙන්න වෙනවා. කුලය කියන සමාජ නිර්ණායකය අධ්‍යාත්මික කාරණාවලදී බෙදා වෙන් කිරීමේ මුගුරක් ලෙස භාවිත කරන සමාජය එක්ක මම හදවතින්ම විරුද්ධයි. විවාහයකදී පුද්ගලයෙක්ගේ අධ්‍යාපන මට්ටම, ආර්ථිකය සහ ජීවිතය පිළබඳ ඔහු දක්වන ආකල්පය සහ සෞඛ්‍ය තත්ත්වය වගේ කාරණා ගැන මිසක් අපි ජාති, ආගම්, කුල, වයස වගේ නිර්ණායක ගැන අවධානය යොමු කිරීම ප්‍රායෝගික නෑ. එකම ආගමේ එකම ජාතියේ කෙනෙක් එක්ක ඇතිවෙන බැඳීමට වඩා ජාතින් දෙකක, ආගම් දෙකක දෙන්නෙක් අතරේ ඇතිවෙන බැඳීම හරිම සුන්දරයි. එතන විඳින්න පුළුවන් හරි අපූර්ව චමත්කාරයක් තියෙනවා.

මිනිස්සුන්ට කෙනෙක් සමලිංගිකද? විරුද්ධ ලිංගිකද කියන දේ පිළබඳවත් තියෙන්නේ එහෙව් ආකල්පයක්. සමලිංගිකවීම ඇතැම් සමාජ අනුව මාරාන්තික වරදක්. සංක්‍රාන්තික ලිංගිකයන් කෙරේ දක්වන ආකල්පයත් එහෙමයි. ඒත් ඒ සියල්ල මම දකින්නේ හුදු මානුෂීය අයිතීන් ලෙසම පමණයි. ඒ නිදහස ඒ අයිතිය ඇයි සමාජයට මානුෂික මුහුණුවරකින් පිළිගන්න බැරි. පුද්ගලයන් විවිධ ලේබල් මත වර්ග කරන සමාජයක් වෙනුවට ඇයි මිනිස් අයිතියට නිදහසට හා වෙනසට ගරු කරන සමාජයකට දොරගුළු අරින්න බැරි.

ඒ ද්වාරය චමත්කාරයේ යතුරකින් අරින්නට අපි වෙර දරමු ! 

I Saara

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00