සිහශක්ති සංගීත කණ්ඩායම මුලින්ම පටන් ගත්තෙ ශක්ති සංගීත කණ්ඩායම නමින්. කියමුකො ඒ ආරම්භය...?
ඔව්... ශක්ති සංගීත කණ්ඩායම පටන් ගත්තෙ 1988 වර්ෂයේදීයි. මුලින්ම ශක්ති සංගීත කණ්ඩායමෙන් වාද්‍ය භාණ්ඩවලින් සංගීතය සැපයීම විතරයි කළේ. ගායනය කළේ නෑ. 1990 – 1991 වසර වෙද්දී අපි ගායනයටත් සම්බන්ධ වුණා. අපි ගීත කිහිපයක් පටිගත කළා. ඔය කාලේදී ශක්ති සංගීත කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් ඇතිවුණා. එවකට ශක්ති සංගීත කණ්ඩායමේ නායකත්වය දැරුවේ ඇන්තනී සුරේන්ද්‍ර. ඊටපස්සෙ 1994 වසරේ දී ශක්ති කණ්ඩායමෙන් අයින්වෙලා සිහශක්ති කියලා සංගීත කණ්ඩායමක් පිහිටුවාගත්තා. ඒකෙ නායකයා වුණේ මමයි.
ඉතා කෙටි කලකින් සිහශක්ති ඉතා ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වුණා. කොහොමද ඒ කාලෙ ලැබුණු ප්‍රතිචාර...?
ඉතා හොඳ ප්‍රතිචාර ලැබුණා. අපේ රටේ ප්‍රසංග වගේම පිටරට ප්‍රසංගවලටත් අපිට ආරාධනා ලැබුණා. ඒ කාලේ සිහශක්ති සංගීත කණ්ඩායම මැදපෙරදිග රටවල්වලින් නොගිය රටක් නැති තරම්. හැම මැදපෙරදිග රටකටම අපි ගිහින් ප්‍රසංග පැවැත්වුවා. අපි කරපු කැසට්පටවලට හොඳ ඉල්ලුමක් තිබුණා. කොහොමහරි 1994 ඉඳන් 2003 වසර දක්වා සිහශක්ති ඉතා ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වුණා.
එහෙම ජනප්‍රිය සංගීත කණ්ඩායමක් 2004 වසරේ දී නවතා දමනවා. ඒකට හේතුව වුණේ ඔබේ පුංචි පුතා. එහෙම නේද...?
ඔව්... 1997 වසරේ දී මගේ බාල පුතා ඉපදුණා. 1998 දී එයාට පිළිකාවක් තියෙනවා කියලා වෛද්‍යවරු හොයාගත්තා. ඊටපස්සේ මගේ ජීවිතේම කඩා වැටුණා. මුළු කාලයම දරුවා වෙනුවෙන් යොදවනවා මිසක් සංගීත කණ්ඩායමට හිත යොමුකරන්න, පුරුදු පුහුණු වෙන්න, විදෙස් සංචාරවලට සහභාගි වෙන්න මගේ හිත ඉඩ දුන්නේ නෑ. ඒ නිසා සංගීත කණ්ඩායම නවතා දැම්මා. කාලයත් එක්ක මගේ පුතා මට නැතිවුණා.
සිහ ශක්ති සංගීත කණ්ඩායම එදා නතර කරන කාලේදී කණ්ඩායමේ හිටිය සාමාජිකයෝ ගැන සඳහන් කළොත්...?
ඔව්... එදා සිහශක්ති සංගීත කණ්ඩායමේ සාමාජිකයෝ අටදෙනෙක් හිටියා. කණ්ඩායම නතරවුණාට ඒ සංගීත කණ්ඩායමේ කවුරුවත් වෙනත් සංගීත කණ්ඩායම්වල ස්ථිරවම සාමාජිකත්වය දැරුවේ නෑ. ඒ අය සංගීත කණ්ඩායමෙන් කලාවෙන් ඈත්වෙලයි හිටියේ. විවිධ සංගීත වැඩසටහන්වලට සහභාගි වුණත් සංගීත කණ්ඩායමක සාමාජිකයකු ලෙසින් කවුරුවත් ඊටපස්සෙ කටයුතු කළේ නෑ. සිහශක්ති නතර කරද්දී නායකයා ලෙසින් ආනන්ද පෙරේරා වුණ මමත්, හේමපාල ගාල්ලගේ, අශෝක පෙරේරා, ජයන්ත රත්නායක, සංගීත් වික්‍රමසිංහ, ධනංජය සෝමසිරි, මහේන්ද්‍ර පැස්කුවල්, ලෙලුම් රත්නායක ආදී අය මේකෙ හිටියා. එහෙම නවත්වපු සංගීත කණ්ඩායම ආයෙත් මේ විදිහට පටන් ගත්තා. ඔය අතර කාලේ දී අපිට බොහෝ දෙනෙක්ගෙන් ඉල්ලීම් තිබුණා. අපේ හිඩැස පුරවන්න ඒ වෙද්දිත් සංගීත කණ්ඩායමක් තිබුණේ නෑ. ඔය අතරේ අපිටත් ආයෙම බෑන්ඩ් එකක් විදිහට ඉදිරිපත් වෙන්න ඕනකමක් උනන්දුවක් තිබුණට අපිට ඒ සඳහා අනුග්‍රහකයෙක් අවශ්‍ය වුණා. කොහොමෙන් කොහොමහරි අපිට අනුග්‍රහකත්වයක් ද ලැබුණා. ඒ නිසා සිහශක්ති ආයෙමත් එකතුවෙලා පටන් ගත්තා.
මේ දිනවල සිහශක්ති පුහුණුවීම් කටයුතු කරනවනෙ... කවදා විතර සිහශක්තියේ ආයෙමත් වැඩ බලන්න පුළුවන් වෙයිද...?
ඔව්.. මේ දවස්වල සිහශක්ති පුහුණුවීම් කරනවා. ඒ සිහශක්ති සංගීත කණ්ඩායම නමින්මයි. හේමපාල ගාල්ලගේ අපි අතරින් සදහටම සමුගත්තනෙ. ඔහු නැතත් ඒ මතකය තාමත් අපිට තිබෙනවා. ඊට අමතරව එදා සිහශක්ති නතර කරද්දී හිටපු කණ්ඩායමම සිහශක්ති වර්තමාන සංගීත කණ්ඩායමෙත් ඉන්නවා. ඊට අමතරව තව ශිල්පීන් දෙදෙනෙක් අපි කණ්ඩායමට එකතු කරගත්තා.
සිහශක්ති සංගීත කණ්ඩායමේ පළමු ප්‍රසංග කිහිපය පවත්වන්නටත් මේ දිනවල සූදානම් වෙනවා නේද..?
ඔව්... අපි ප්‍රසංග පහක් පවත්වන්න මේ දිනවල සූදානම් වෙනවා. මුල්ම ප්‍රසංගය පවත්වන්නෙ ජූනි මාසයේ තිස්වැනිදා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලවේදීයි. දෙවැනි ප්‍රසංගය නුවර. තුන්වැනි ප්‍රසංගය ගම්පහත්, හතර පොළොන්නරුවෙත්, පස්වැනි ප්‍රසංගය රත්මලානෙත් පවත්වන්න කටයුතු සූදානම් කරමින් පවතිනවා. එදා වගේම අලුත්, වෙනස් විදිහේ සංගීත රසවින්දනයක් ලබාදීමට සිහශක්ති සංගීත කණ්ඩායම සූදානම් වෙනවා. මේ වනවිට විදෙස් ප්‍රසංග කිහිපයකටත් ආරාධනා ලැබී තියෙනවා. තාම අපි ඒවාට සහභාගි වුණේ නෑ. මුලින්ම ලංකාවේ ප්‍රසංග කිහිපයක් කරලා සිහශක්ති ඉදිරියේ දී රටවල්වලත් ප්‍රසංග පවත්වන්න සූදානම් වෙනවා.
► Text – Dishani Pic – Internet