2018 මාර්තු 03 වන සෙනසුරාදා

පෙට්ටිය වහද්දී ගී ගැයූ සන්ෆලවර් ගායකයා

 2018 මාර්තු 03 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 161

නෙල්සන් වාස්... ඔබේ ආදරණීය මෑණියන් පසුගියදා ජීවිතෙන් සමුගත්තා...?
ඔව්... මගේ ආදරණීය අම්මගේ නම මේරි මාග්‍රට් වාස්. මගේ අම්මා නැතිවෙද්දී අම්මට වයස අවුරුදු අසූ නවයක් වුණා. ඊට කලින් අම්මට කිසිම ලෙඩක් තිබුණේ නෑ. හැබැයි මෑතදී අම්මා ගේ ඇතුළෙදී වැටිලා ඉළඇටයක් කැඩිලා. ඒකට ප්ලේට් එකක් දැම්මා. ඒ වැටීමෙන් අම්මට ඇවිදින්න අමාරු වුණා. ශරීරය දුර්වල වෙලා අම්මගේ පොඩි පොඩි වෙනස්කම් ශාරීරිකව සිදුවුණා. කොහොම හරි එහෙම වැටිලා එකතැන්වෙලා මාස දෙකක් හෝ තුනක් ගෙවෙද්දී අම්මා අපිව දාලා යන්න ගියා.

ආදරණීය මවගේ අවසන් හුස්ම යද්දී නෙල්සන් ළඟ හිටියද...?
නෑ... මට ඉන්න ලැබුණේ නෑ. ඊට ටිකකට කලින් මම අයියලාගේ ගෙදර ගිහින් අම්මව බලලා ආවා. අම්මා හිටියේ මගේ අයියලාගේ ගෙදර. මගේ පවුලේ අයියලා දෙන්නයි නංගිලා දෙන්නයි විතරයි ඉන්නේ. ඉතින්... මම ගිය දවස් දෙකකට කලින් අම්මට කතා කරන්න හඳුනගන්න බැරිකමක් තිබුණා. ඒ නිසා අපි අපේ ආගමේ හැටියට යාඥා කළා. ඉතින් ඒ දවසෙත් මම අම්මගේ ඇඳ ළඟ වාඩිවෙලා යාඥා කළා. ඒ වෙලාවේ දී මම අම්මගේ අත අල්ලගෙන තමයි යාඥා කළේ. කොහොමහරි ටික වෙලාවකින් අම්මා අපි දිහා බලද්දී මම, අම්මා මම නෙල්සන් කියලා කිව්වාම අම්මා මගේ පුතා කියලා කිව්වා. දවසකට විතර පස්සෙත් අම්මා කිව්වා මුල්ම වචනය වගේම අන්තිම වචනය වුණෙත් ඒකම තමයි. ඊටපස්සෙ අම්මා කතා කරලා තිබුණේ නෑ. ඉතින් ඇත්තටම මම හිතුවේම නෑ, අම්මා නැතිවේවි කියලා. ඉතින් මම අම්මට යාඥා කරලා ගෙදර ආවා.

ඒ වෙනකොට නෙල්සන්ගේ සහෝදර සහෝදරියන් හැමෝම ලංකාවේ හිටියද...?
නෑ... ඒ වෙනකොට මගේ එක නංගි කෙනෙක් හිටියේ කැනඩාවේ. ඉතින් අම්මා දුර්වල වෙද්දී මම නංගිට කෝල් කරලා නංගිවත් ගෙන්වාගත්තා. කොහොමහරි අම්මා නැතිවෙද්දී අපි පස්දෙනාම සැරෙන් සැරේට ළඟ හිටියා. ඉතින් මම ගෙදර ඇවිත් ටිකක් හාන්සි වුණා. ටික වෙලාවකින් මට නංගි කෝල් කරලා හොඳටම ඇඬුවා. ඒ අඬද්දිම මට තේරුණා.

නෙල්සන් අම්මා වෙනුවෙන් ගීතයක් අම්මගේ දේහය නිවසින් රැගෙන යද්දී කිව්වනෙ. ඒ ගීතය අලුත් එකක්ද...?
අම්මගේ වියෝව කොච්චර ඉවසන් හිටියත් අම්මගේ පෙට්ටිය වහද්දී මට ඉවසන් ඉන්න බැරිවුණා. ඔය සින්දුව මම ලිව්වේ ගොඩක් කාලයකට ඉස්සර. හැබැයි මොකක්දෝ හේතුවකට ඔය ගීතය පටිගත කළේ නැහැ. අම්මගේ පෙට්ටිය වහද්දී මට දරාගන්න බැරිවුණා. ඒ නිසාම මට ඔය ගීත කොටස ඒ මොහොතේ ගායනා කළා.

නෙල්සන් කුඩා කාලයේ දී අම්මා බලාපොරොත්තු වුණේ කලාකරුවෙක් වෙනවා දකින්නද..?
නෑ. මගේ අම්මා ගොඩක් ආගමට ළැදි කෙනෙක්. මගේ අම්මගේ අතේ හැමවෙලේම කොන්තයක් තියෙනවා. අම්මා නිතරම පල්ලියට ගියා. නිතරම යාඥා කළා. ඉතින් අම්මට පුතාලම තුන්දෙනෙක් නිසා මාව පූජකවරයෙක් කරන්න ලොකු ආසාවක් තිබුණා. මම පූජකවරයෙක් වෙන්න ඉගෙන ගත්තා. මගේ අම්මගේ තාත්තගේ අක්කගේ පුතා තමයි නීල් වර්ණකුලසූරිය කියන්නෙ. නීල් අයියයි මායි පුංචි කාලේ ඉඳන් හරි යාළුයි. නීල් අයියා මට වඩා අවුරුදු දෙකක් වැඩිමල්. ඉතින් නීල් අයියා ගමේ මුල්ම සංගීත කණ්ඩායම පටන් ගනිද්දී මටත් හරි ආස හිතුණා. ඉතින් නීල් අයියා මාව බලන්න ආව ගමන් මම අහන්නෙම බෑන්ඩ් එක ගැනයි. ඉතින් උසස් පෙළ කරලා ආයෙත් පල්ලියට එන්නම් කියලා පල්ලියට කියලා ගෙදර ආපු මම ඊටපස්සෙ ආයෙ පල්ලියට ගියේ නෑ.

පහුකාලයේ දී අම්මා කැමති වුණාද නෙල්සන් කලාකරුවෙක් වීම ගැන...?
නෑ... එහෙම සතුටු වුණේ නෑ. හැබැයි අම්මා දුක් වෙන්නෙත් නැතිව ඇති. හැබැයි අම්මා මා ගැන එහෙම ලොකු සතුටක් පෙන්නුවේ නෑ. මගේ අම්මා කවදාවත් මම ගායනා කරන ෂෝ බලන්න ආවේ නෑ. ගමේම තිබුණ ෂෝ එකේදිත් අම්මා නැඟිටලා ගියා. හැබැයි ටී.වී එකේ යද්දී මගේ නංගිලාගේ දුවලා මෙන්න සුදු මාමි ඉන්නවා කියලා අඬගහලා පෙන්නුවා මිසක් අම්මා ඒ ගැන ලොකුවට සතුටු වුණේ නෑ. එයා ගොඩක් අහිංසක චරිතයක්.

 

► Text – Dishani /   Pic – Internet