2018 මාර්තු 10 වන සෙනසුරාදා

තමන්ව දැනෙන මිනිස්සුන්ට බොරු කියන්න එපා අමර්

 2018 මාර්තු 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 84

කර්ම භූමි Novel

අමර්කාන්ත්...... ඒ මම. නෑ... ඒ උඹ නෙවෙයි. උඹ විතරද මේ ලෝකෙට ඉන්න එකම අමර්කාන්ත්... ඒත් මේ ඉස්කෝලේ මේ පන්තියේ තව අමර්කාන්ත්ලා නෑනේ... වෙනදට මම අමර් මේ දවසට විතරක් අමර්කාන්ත්. සල්ලි තිබුණනම් මම දුප්පත් හිඟන කොල්ලෙක් නොවුණානම් මටත් වැලමිට කෙලින් තියාගෙන අත උස්සලා ඔව් මම අමරකාන්ත් ඉන්නවා කියලා කියන්න තිබුණා..... ඒත් ජීවිතේ හුඟක් තැන්වලදී මගේ කොඳුනාරටිය එහෙම පිටින්ම කඩලා දාන්නේ ඒ දුප්පත්කම... ඒ දුප්පත්කම පාගාගෙන පොළොවේ හිට ගන්න තරම් මම තාම පොඩි වැඩිද මන්දා........

මේ මොන විකාරයක්ද? තාම ගුරුතුමා අමර්කාන්ත් කියලා යටිගිරියෙන් කෑ ගැහුවෙත් නෑ...
ඒත් මට ඇහුණනේ එහෙම කෑ ගහනවා...
බය... බය... බය... මොන විකාරයක්ද මේ. බය මාව පිස්සු වට්ටනවා.
අමර්කාන්ත්...

පලයන් එළියට.... යටි හිත හරි චණ්ඩියා... මම කීකරු හොර පූසෙක් වගේ පන්ති කාමරයෙන් එළියට ආවා. බඩ හිස්. බඩගින්න කියන ගින්දරෙන් බඩ පිච්චෙනවා. අල පරිප්පුත් එක්ක චපාති රොටියක් කන්න තිබුණානම්. අඩුම තරමේ කිරි වීදුරුවක් වඩේ එකක් තරම් දෙයක්වත් තිබුණානම්.. ෂික් අද වගේ කාලකන්නි දවසක්.. එහෙම අනිවාර්යයෙන් කාලකන්නි එක දවසක් අපේ ඉස්කෝලවලට මාස කිහිපයකට වරක් වගේම මාසෙකට වරක් තියෙනවා. ඒ තමා ශිෂ්‍ය ගාස්තු අය කරන දවස. එදාට අපි ඉස්කෝලේ යන්නේ වධකයා ළඟට මරන්න එක්ක යද්දී හිතට ඇතිවෙන බය වගේ බයකින්. කරගන්න කිසිදෙයක් නැති අසරණකමින්. ඒ දවසේ හැම උදේකම මම දෙවියන්ට කියන්නේ අනේ දෙවියනේ පොහොසතුන්ට දුප්පතුන්ගේ දුක තේරෙන දවසක් ලෝකෙට දෙන්න කියලා. අපි වගේ උන්ට දත්වලින් තොල්වලින් නෙවෙයි හදවතින් හිනාවෙන්න පුළුවන් එහෙම දවසකදී විතරයි.

අපේ පාසල්වල මුදල් අය කරන්නේ කඩපොළේ බදු අය කරනවාටත් වඩා නරක විදිහට. එදාට මැරෙන්න පණ ඇද ඇද හිටියත් සල්ලි ගෙවන්න ඕන. සල්ලි නොගෙව්වොත් ඉස්කෝලේ ජීවිතේට ආයුබෝවන් කියන්න ඕන. හැබැයි මේ නීතිය කොන්දේසි සහිතයි. සල්ලි ගෙවන්න ප්‍රමාද වෙනවනම් දවස ගාණෙ සන්තෝසමක් දීලා දින කිහිපයක් කල් ගන්න පුළුවන්. සමහර ඉස්කෝලවල දඬුවම ගාස්තුව දෙගුණයකින් ඉහළ දැමීම. හැබැයි කල්දෙන දවසේ සල්ලි නොගෙව්වොත් ආයෙත් කිසි සමාවක් නෑ. පාසල තහනම්. හේතුව දුප්පත්කම. තමිල්නාඩුවේ කාසි නගරයේ මම ඉගෙනගත්ත ක්වීන්ස් කොලේජ් එකෙත් ඒ නීතිය තදින්ම තිබුණා. මාස කිහිපයකට වරක් දාහත්වැනිදාට මුදල් නොගෙව්වොත් 21 වැනිදාට දෙගුණයක් මුදල් ගෙවන්න ඕන. කැමති නම් මාසෙන් මාසෙට නැත්නම් මාස කිහිපයකට වරක් එකවර මාස ගණනකට මුදල් ගෙවන්න පුළුවන්. එහෙම නැත්නම් පාසල් නාම ලේඛනයට නම වලංගු නැති වෙනවා. නීතිය හිට්ලර් තරම් දරුණු වුණේ ඒකාධිපති වුණේ ඉස්කෝලේ පොහොසත් ළමයින්ට විතරක් අයිති තැනක් කරන්නවත්ද කියලත් මට වෙලාවකට හිතුණා. මිනිස්සුන්ගේ ඇස් අස්සේ කළු ඉංගිරියාවට සල්ලිවල පාට වැටුණාම ආදරේ පාට මනුස්සකමේ පාට පේන්නැතුව යනවා. මට විතරද අප්පා මෙහෙම හිතෙන්නේ... ඇයි හිතෙනවනම් කවුරුත් මොකුත් කියන්නේ නැත්තේ.

සල්ලි නැත්නම් කොහෙන් හරි හොරාගෙන වර. ණය වෙයන්. ඇයි උඹලගේ ගෙවල්වල රත්තරන් බඩු නැත්ද? ඒවා උගස් තියපියව් හැලි වළන් හරි විකුණපන්. කොහොමහරි දිනේට ගාස්තු ගෙවපන්. නැත්නම් නම අයින් කරනවා... මේ කන්දොස්කිරියාවෙන් කොහොමත් ගැලවිල්ලක් නෑ. කළුකඩකාරයෝ, හමුදාවට යන්න ඕන එවුන් ඉස්කෝල ඇතුළට රිංගලා... මම වේදනාව ඉවසගන්නම බැරි තැන කියන වාක්‍ය තමයි ඒ. ඒ ගාස්තු ගෙවිල්ලට අමතරව. ඉස්කෝලෙට ප්‍රමාද වී ආවොත්, ඉස්කෝලෙට දිනක් නෑවිත් හිටියොත්, පාඩමක් අමතක වුණොත් පොත් මිලදී ගන්න බැරිවුණොත් මොනවා හරි වැරැද්දක් වුණොත් ඒ හැමදේටමත් දඬුවම මුදලක් ගෙවන්නට සිදුවීම. අනිත් ඔක්කොම හේතු පැත්තක තියන්නකෝ. ඒත් පොත් මිලට නොගන්නේ සල්ලි නැතිකමටනේ. ඒකට දඬුවමත් දඩ ගහන එක. එහෙමත් බූරු දඬුවමක්.
අද සල්ලි එකතු කරන දවස හින්දා ගුරුවරුන්ගේ මේස උඩ සල්ලි කඳු ගොඩගැහිලා. ඒ අස්සේ ළමයින්ගේ කණු කුණු හඬ. නම අඬගහද්දී ගුරුවරයා ළඟට ගිහින් සල්ලි ගෙවලා ආයෙත් ඇවිත් ඉඳගන්න ඕන. දෙවියනේ එකවර ගෙවනවනම් රුපියල් හතළිහක්.

විසිවැනියට නම කතා කළේ අමර්කාන්ත්ගේ.
අද අමර්කාන්ත් ඇවිත් නැද්ද?
ඇවිල්ල නම් හිටියා. සමහරවිට එළියට ගියාද දන්නේ නෑ.
එයා සල්ලි ගෙනාවේ නැද්ද?
කාගෙන්වත් කිසි උත්තරයක් නෑ.

සමහරවිට සල්ලි ගේන්න යන්න ඇති. වෙලාවට නොගෙව්වොත් දෙගුණයක් ගෙවන්න වේවි. මට මොකෝ. කෝ ඊළඟ කෙනා ගෝවර්ද් දාස්.
සර් අවසර දෙනවනම් මම අමර් කොහෙද කියලා බලලා එන්නද?
යනවා හැබැයි විනාඩි දහයෙන් එන්න ඕන... එක එකාට කතා කර කර සල්ලි ගන්න එක මගේ රස්සාව නෙවෙයි... ගෙවන්න සල්ලි නැත්නම් ගෙවල්වල නැවතිලා කුලී වැඩට යන්න ඕන... ගුරුවරයාගේ ගෝරනාඩුව අහගෙනම මොහොමඩ් සලීම් පන්තියෙන් එළියට ආවා. සලීම්ට තිබුණෙත් එසේ මෙසේ දාංගලයක් නෙවෙයි. ඒ වගේම ඔහු හොඳ ක්‍රීඩකයෙක්. පැහැපත් කඩවසම් තරුණයෙක්. සමහර දවසට සල්ලි එකතු කරද්දී සලීම් අතුරුදන් වුණත් හවසට දඩෙත් එක්කම ගාණ ගෙවනවා.
සලීම් සහ අමර් හිටියේ එක ළඟ පුටු දෙකේ. සලීම්ගේ ඔළුවට එච්චර නාල්ලන පාඩම් සලීම්ට තේරෙන විදිහට කියලා දුන්නේ අමර්. මේ හින්දම හුඟක් වෙලාවට දෙන්නට දෙන්නා දුක සැප බෙදාගත්තා. සලීම් හොඳ කවිකාරයා. සලීම් ලියන කවි අමර්ට ඇහෙන්න කියවද්දී අමර් එයාගේ කතා කරන ලොකු දුඹුරු පාට ඇස් ඈත අහසේ කොතනක හරි හිත ගිය තැනක රඳවාගෙන අහගෙන හිටියා. අමර් හුඟක් කැමති වුණේ රතුපාට බටහිර අහස දිහා බලාගෙන සලීම් කියන කවි අහන්න. අන්තිමේදී රතුපාට කළු පාටකට හැරිලා සිතුවමේ අවසානය සලකුණු කරන බටහිර අහසත් අමර්ට කවියක් වගේ දැනෙන්න ගන්නවා.

සලීම් එළියට ඇවිත් වටපිට බැලුවා. ඈත සියඹලා ගහ යට අමර් බිම ඉඳගෙන ඉන්නවා.
අමර් අන්න සල්ලි ගෙවන්න ඔයාගේ නම කතා කළා. යමු පන්තියට.
අමර් මොකුත් නොකියා සලීම්ට කිට්ටු වුණා.
ඇයි මේ ඇස් රතු කරගෙන... උඹ ඇඬුවද අමර්.... උඹ මීට ඉස්සර කවදාවත් අඬලා නෑ.
කවුද ඇඬුවේ?

උඹගේ ඇස්වල කඳුළු....
සලීම් තරම්ම උස නැති අමර් දුඹුරු පැහැ මුහුණ අහස දෙසට හරවමින් යන්තම් හිනාවුණා.
තමන්ව දැනෙන මිනිස්සුන්ට බොරු කියන්න එපා අමර්....
අමර්ගේ ඇස්වලට මොහොතකින් ආයෙත් කඳුළු ආවා. දිගු ඇහිපිය සට සට වේගයෙන් ගැහුණේ ඒ කඳුළු මඟහරින්න. ඒත් ඇහිපියවලට වඩා කඳුළු හරි ඉක්මන්. සලීම් උණුසුම් ලෙස අමර්ගේ අත අල්ලා ගත්තා.

► අනුවර්තනය : චන්දන වරාවිටගේ &  සංජු

 

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00