සඳ කිනිති නැමී - විල් දියට එබී
සොයයි සේයාව සඳේ.....
ඔබ නෙතට එබී - මගෙ නෙතුද සදා
සොයයි සේයාව මගේ....
කලා ලොවේ ක්ෂේත්‍ර ගණනාවකම තම ප්‍රතිභාවන් ප්‍රකට කළ ප්‍රවීණ කලා ශිල්පී ලක්ෂ්මන් විජේසේකරයන්ගේ ප්‍රථම ඒකපුද්ගල ගී ප්‍රසංගය මාර්තු 17 වැනි දින සවස 7ට කොළඹ නෙළුම් පොකුණ රඟහලේදි පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලාංකික සංගීත ක්ෂේත්රයට ලක්ෂ්මන් විජේසේකර විසින් සිය දහස් ගණනින් ගීත දායාද නොකළද ඔහු නිර්මාණය කළ, ඔහු ගායනා කළ අතිශය ප්‍රේමණීය ගීත රැසක් අපේ මතකයේ තවමත් රැඳී පවතී. අනාගයේදීද එය වෙනස් නොවනු ඇත.
සිනා පිපෙනා මේ වසන්තය -
නෙලා දෝතින් මලක් සේ - සිනාසී....
මගේ ලොව වෙත ඔබයි ගෙන ආවේ
සිනාසී.... ඔබයි ගෙන ආවේ....
ලක්ෂ්මන්ගේ සොඳුරු ගීතාවලිය නම්කර තිබෙන්නේ සඳ කිනිති නැමී යනුවෙන්ය. එය ඔහුගේ 70 වැනි උපන්දිනය හා සමගාමීව පැවැත්වෙන්නකි. ඔහුගේ උපන් දිනය යෙදෙන්නේ මාර්තු 14 වැනි දිනය.
වසර 40කට වැඩි කාල පරාසයක් තුළ ගායකයෙකු, රංගන ශිල්පියකු, සංගීත අධ්‍යක්ෂකවරයකු, ටෙලිනාට්‍ය හා රූපවාහිනී දැන්වීම් අධ්‍යක්ෂකවරයකු පමණක් නොව සංගීත ගුරුවරයකු ලෙසද තම දස්කම් ප්‍රකට කළ ලක්ෂ්මන් විජේසේකර ඔහුගේ මුල්ම ඒකපුද්ගල ප්‍රසංගය පවත්වන්නට මෙතරම් කාලයක් ගත කළේ මන්ද? අපට ඔහුගෙන් අහන්න තිබුණ මුල්ම ප්රශ්නය එයයි.
මම කියලා තියෙන සින්දු මේ වගේ ප්‍රසංගයක් කරන්න ප්‍රමාණවත් නැහැ කියලයි මම නිතරම හිතුවෙ. මේ ප්‍රසංගය මගේ මුල්ම හා අවසාන එක වෙන්නත් බැරි නැහැ. මේක කරන්නෙත් මගේ දුව අමා සහ පුතා විහඟගෙ බලවත් පෙරැත්තය නිසාමයි. මේකට විශාල පිරිවැයක් දරන්න සිද්ධ වෙනවා. පුතයි දුවයි බොහොම අමාරැවෙන් වැඩේ ගොඩ දාන්න විශාල වෙහෙසක් ගන්නවා. ඔහු අපට කියන අතරතුර අපේ මතකයට නැගෙන්නේ ඔහුගේ සෞම්‍ය, ප්‍රේමණීය ගීතය. ඒ කටහඬ ඔහුටම ආවේණිකය.
දෑත දෙපාලන ගිගිරි සරින්...
මා කැඳවා නොතැවෙන්
සිවු සිය ගව්දුර ඇදෙන ලෙසින්....
ශෝක සුසුම් නොහෙලන්....
ඔබ මට තරුවකි ගනඳුරු රැයකදි...
දිදුලන සඳ ලෙස ගුවන අරා...
දැල්වූ පහන් - දැල් වී තිබේවා
සුන් වූ පැතුම් - දලුලා වැඩේවා...
මෙවැනි ගීත අපේ මතකයෙන් ඈත් කළ හැකිද?
මම ඔය ගීත ගායනා කළාට මගේ වැඩි කැමැත්තක් තිබුණේ අධ්යක්ෂණයට.
ඒ කියන්නෙ රංගනයත් ඇතුළුවද?
ඔව්. මම රේඛා, ගංඟා සහ නිශ්ශංක, දත් කැකුළු පාලා* විලම්බීත* වැනි ටෙලි නාට්‍යවල රඟපෑවා. ඒ වගේම විලම්බීත, දඟයින්ට පමණයි, ටිකිරි සහ උංගි අධ්‍යක්ෂණය කළා. ඒ නිර්මාණකරණයෙන් මම විශාල තෘප්තියක් ලැබුවා. අදටත් මම ඒ පැත්තටයි වඩාත්ම කැමති, ගායනයට වඩා. මම තව අලුත් ටෙලිනාට්‍ය තිර පිටපතක් ලියලා තියෙන්නෙ. අවස්ථාවක් ලැබුණොත් ඒක නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙනවා.
ලක්ෂ්මන් විජේසේකර ප්‍රතිභාපූර්ණ සංගීත අධ්‍යක්ෂකවරයෙකි. ටෙලිනාට්‍ය හා වේදිකා නාට්‍ය රැසක සංගීත අධ්‍යක්ෂකවරයා ලෙස ඔහු සිය කුසලතාවන් පිළිබිඹු කර ඇත. බුමුතුරුණු, අත්ත බිඳෙයි, හිමි අහිමි, මවකගේ ගීතය, සිහින සාප්පුව ඒ අතුරින් කීපයකි.
සඳ කිනිති නැමී ප්‍රසංගයට ඔබ හා එක්වන අනෙකුත් කලා ශිල්පීන් ශිල්පිනියන් කවුද?
මෙහි සංගීත අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කරන්නෙ ප්‍රවීණ සංගීතඥ ආචාර්ය රෝහණ වීරසිංහයන්. මගේ ප්‍රසංගය වර්ණවත් කරන්නට මා සංගීත නිර්මාණය කළ ගී ගායන්නට සුනිල් එදිරිසිංහ හා කෝලිත භානු දිසානායක සහභාගී වෙනවා. ඒ වගේම මා සමඟ යුග ගී ගයන්නට නිර්මලා රණතුංග, සමිතා මුදුන්කොටුව, ප්‍රදීපා ධර්මදාස හා වින්ඩි ගුණතිලක එකතු වෙනවා.
මේ ගැන ඔබට කියන්නට තවත් බොහෝ දේවල් ඇති?
මම සංගීතය කියන විෂයට අත්පොත් තැබුවේ කුරුණෑගල මලියදේව විදුහලේ අධ්‍යාපනය ලැබූ කාලයේදී. මගේ මුල්ම සංගීත ගුරුවරයා වුණේ මලියදේව විදුහලේ සංගීතය ඉගැන්වූ කේ.එම්. දයාපාල ගුරුතුමන්. ඉන් අනතුරුව මම රජයේ සංගීත විදුහලට බැඳී ආචාර්ය දයාරත්න රණතුංග, මහාචාර්ය අමරා රණතුංග, එස්.ඩී.එස්. ජයසේකර, මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරි, ජී.එච්. පීරිස් යටතේ සංගීත දැනුම ප්‍රගුණ කළා. ඒ හැම ගුරැවරයෙක්ම මම ඉතාම බැතියෙන් සිහිපත් කරනවා. මම ඉන්පස්සේ වසර 20ක් සංගීත ගුරුවරයෙක් ලෙස කටයුතු කළා.
මේ ප්‍රේම සීමා මාලකේ හමුවී...
නෙතු කැන් සලා ලතැවුල් නිවා
කඳුළින් සිනාසෙමු....
මාර්තු 17 වැනි දින නෙළුම් පොකුණේදී දිග හැරෙන සඳ කිනිති නැමී ප්‍රසංගය අපේ සවන්පත් සනසාලන අමරණීය, සොඳුරු ගීතාවලියක් වන බවට නම් කිසිදු සැකයක් නැත.
► Text – Ramesh Uvais/ Pic – Internet