2018 මාර්තු 17 වන සෙනසුරාදා

ඒ පාර උඹ ඇස්වලින් ස්තූතියි කියනවා

 2018 මාර්තු 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 108

කර්ම භූමි - 02

උඹට වෙඩි තියන්න ඕන හොඳම යාළුවටත් හිතේ තියෙන දේවල් හංගනවට... මෝඩයා... යමු පන්තියට මම ගාස්තු ගෙවන්නම්... දෙවියෝ මොන එහෙකට මිනිස්සුන්ට කඳුළු කියලා දෙයක් දුන්නද දන්නෙ නෑ. දුකටත් අඬනවා.   ආවත් අඬනවා. සතුටටත් අඬනවා.  ප්‍රශ්නයක් මොනවද ලැබෙන්නේ මොකුත් නෑ. හොටුත් හොඳයි කඳුළුවලට වැඩිය. කියපන් කොච්චර වෙලාවක් ඇඬුවද? ඇයි කවදාවත් නැතුව අද ඇඬුවේ?
අමර්ගේ හිතට කොහේදෝ ඉඳන් ආව සුළඟක සුවය දැනුණා මොහොතකට.

සර්ට කරන්න දෙයක් නෑ. ඒ ගොල්ලන්ව රාස්සයන් කරන්නෙත් රජයේ තීරණ. ඒත් උඹ ඊටත් වඩා රාස්සයෙක්. ඔව් වෙලාවකට.... සලීම් නැවතිල්ලක් නැතුවම කියාගෙන ගියා.
අමර් ඒක නෙවෙයි මම ලීවා කවියක්. ඒ කවිය පටන් ගත්තේ ඔබේ මතකයේ දොරකඩට මා පැමිණියා නම් කියලා.
අමර් හිටියේ වෙනම කල්පනාවක. ඔහුට ඇසුණු කවියක් නැති ගාණය. එහෙත් අමර් පළමු හිතුවිල්ලම වචන බවට පත් කළා.
පටන් ගැන්ම ලස්සනයි සලීම්....

මම කවිය පටන්ගත්තා විතරයි... ඔයා ඒකට විචාරත් දෙනවා. අහගන්න ඉතුරු ටික. බොරු කියන්නෙ නැතුව.
ඔයාගේ සමහර කවි ගැන මට කියන්න වචන නැති තරම්. කොහොමද ඔච්චර ලස්සනට කවි ලියන්නේ?
උඹ මාව මුරුංගා අත්තේ තියනවා... වර යන්න බුලත්විටක් කාලම පන්තියට යමු.
සර් මට දැන් ගොඩක් බණියි සලීම්. මෙච්චර වෙලා කොහෙද හිටියේ අහයි.
බොරුවක් කියන්න.

මට බෑ... මම ඇත්තම කියනවා. එදා මුළු දවසම අමර් ගත කළේ හිතේ බර ගතියෙන්.
ඔයාට හුඟක් ස්තූතියි සලීම්... පාසැල ඇරී ගෙදර යද්දී අමර් එහෙම කීවේ හැඟීම්බර විදිහට. සලීම් එයාගේ ඇඟිල්ලක් අමර්ගේ දෙතොල් මත තිබ්බා.
හැමදේම යාළුකම වෙනුවෙන්. යාළුවන්ට ස්තූතියි කියන්න එපා. ඒක හදවතට කිට්ටු නැති මිනිස්සු වෙනුවෙන් තියෙන වචනයක්. අමර් කතා කරන එයාගේ ලොකු දුඹුරු ඇස් ආයෙත් සලීම් දෙසට හැරෙව්වා.
ඒ පාර උඹ ඇස්වලින් ස්තූතියි කියනවා. ඒක නෙවේ හෙට පුළුවන් තරම් උදෙන්ම එන්න.

ඇයි මොකෝ?
හෙට බටහිර ජාතීන්ගේ විශේෂ සැමරුම් උත්සවයක් තියනවා කීවේ.
ආ... සර් මට ඒ ගැන කතාවකුත් කරන්න කීවා. මම මොනවද ඒ ගැන කියන්නේ....?
බටහිර ජාතීන්ගේ වැඩ ගැන මුළු ඉන්දියාවම කියන දේවල් ඔයත් කියන්න....
ඒ කීවේ?

ඒ කීවෙද? සුද්දෝ! උන් හැමදේකදීම අපේ සල්ලි කඩාගන්න බලනවා. උන්ට හැමදේම ව්‍යාපාරයක්. අපේ අධ්‍යාපනයත් උන්ට ව්‍යාපාරයක්. උසාවියට ගියත් වෙළඳාමක්. නීතිය නවලා තියෙන්නෙත් උන්ගේ වාසියට. බෙහෙත් ගන්න ගියත් අපිව හූරගෙන කනවා. උන් මොනවටද අපෙන් සල්ලි නොගන්නේ. කොන්දක් තියෙනවනම් කතා කරපන් ඒවා ගැන.

එතකොට මට සල්ලි ගෙවලවත් ඉස්කෝලෙකට එන්න දෙයිද?
සලීම් මගේ දිහා බැලුවේ තූ නොදකින් බයගුල්ලා වගේ බැල්මකින්.
....................................
අමර්ගේ ලේවල අයිතිකාරයා ඒ කියන්නේ අමර්ගේ තාත්තා ලාලා සමර්කාන්ත්. එයා හරිම උද්යෝමත් මනුස්සයෙක් විදිහට ජීවත් වුණු කෙනෙක්. අමර්ගේ අම්මා ජීවිතය අත්හැරලා ගියේ අමර් පුංචි කාලෙමයි. ඒ වෙද්දී අමර්ට වයස අවුරුදු හතක් නෑ. අම්මගේ දෑත තොටිල්ලේ සුරතල් වෙන වයස .කිරි ඉල්ලා හඬන වයස. බඩගින්නක් දැනුණත් අම්මේ කියාගෙන අම්මව හොයාගෙන එන  වයස. දෙවියන් වහන්සේත් වෙලාවකට කරන්නේ සමාව දෙන්න පුළුවන් නපුරුකම් නෙවෙයි. මම වගේ පුංචි එකෙක්ගේ ලෝකයෙන් අම්මව උදුරා ගත්තේ දෙවියන් නපුරුකමින් මගේ දිහා බැලූ මොහොතක කියලයි මට හැමදාම හිතුණේ. මගේ තාත්තා එයාගේ ඇඟේ හයියට හිතේ හයියත් එකතු කරගෙන සල්ලි හම්බ කරපු මනුස්සයෙක්. ලක්ෂ ගාණක දේපලක් එයා හම්බ කරගත්තා. එයා හකුරුයි හාලුයි විකුණන්න පටන් ගත්තා. අවුරුදු තුනක් තාත්තා හාල් සහ හකුරු එක්ක හැප්පුණේ පුදුම හැප්පිල්ලක්.
අමර්.. අම්මා දැන් අපේ ලෝකේ නෑ.. උඹගේ කල්පනාව හැමදාමත් අම්මා වෙනුවෙන් අඬන්නද?
තාත්තා ලේ ගලන තරම් රිදුම් දෙන තුවාලයක් පෑරෙව්වේ ඒ විදිහට...

මම වචන නැතිව කඳුළු වැක්කෙරෙන ඇස් තාත්තා ඉස්සරහදී හංඟා ගත්තා.
මිනිස්සු ලෝකෙට එනවා යනවා අමර්.. අපි කොච්චර ආදරේ කරත් කවුරුත් හැමදාම අපේ ළඟ ඉන්නේ නෑ.. යන්න පොරොන්දු වෙලා ආව දවසේ යන්න ඕන.
යන්න පොරොන්දු වෙලා ආවේ කාටද? මම තාත්තාගෙන් එහෙම ඇහුවේ නෑ. ඒත් මට දෙවියන් ගැන ආවේ හරි තරහක්. 

අමර් මොකද කතා නැත්තේ.. මාත් අම්මට ආදරේ කළා. ඒත් මොනවා කරන්නද එයා ආයෙත් එන්නේ නෑ.. එහෙම කියලා අපිට අපේ ජීවිත අත්හරින්න බෑ. ආදරේ හිතේ කොණක එහෙමම තිබුණාදෙන්. අපි අද දවසේ තියෙන දේවල් එක්ක ජීවත් වෙමු. 
තාත්තා ලොකු මනුස්සයෙක් වුණාට මම තාම පුංචි ළමයෙක්.. තාත්තා කියන දේවල් මට තේරෙන්නේ නැහැ. මට දැනෙන්නේ අම්මා නැති දුක විතරයි. 
ඊට එහායින් තාත්තා කිසිදෙයක් කතා කළේ නෑ.

ඉස්කෝලේ ඇරිලා ගෙදර එන හැම මොහොතකම මට අම්මව මතක් වුණා. ඉස්කෝලේ ඇරිලා ගෙදර ආව ගමන් මම හැමදාමත් දුවගෙන ගියේ මගේ අම්මා ළඟට. ඒ පුංචි බංකුවකුත් අතින් අරන්. 
මෙන්න මේ පොඩි එකාට බොන්න කිරි ඩිංගක් දීලා හිටියනම්.. 

මම අම්මා ළඟට ගියේ එහෙම කියාගෙන. මම එහෙම කියන සමහර දවස්වලට අම්මා හිටියේ රෑ කෑමට තොසේ හරි චපාති හරි හදන්න ලෑස්ති වෙලා.
ඒත් අම්මා මගේ කට හඬ ඇහෙද්දී ඒ හැම වැඩක්ම පැත්තකට දාලා මගේ ළඟට ආවේ මට කිරි උගුරක් හරි පොවන්න. අම්මගේ ආදරේ මට දැනුණේ සුළඟක් වගේ. මට ඕන හැම තැනකදීම කොහේ හරි ඉඳන් මගේ ළඟට ආවා. අම්මා නැති වුණාට පස්සේ මම ඉස්කෝලේ ඇරිලා ගෙදර ආව ගමන් කොට්ටයේ මූණ හංගගෙන අඬන්න පුරුදු වුණා. අද ඉස්කෝලේ මොකෝ වුණේ එහෙම අහ අහා මට බත් කවන්න අම්මා හිටියේ නැති අඩුව මට හොඳටම දැනුණා. මම බත් පිඟාන ඇනුවට කටකට දෙකකට වඩා කෑවේ නෑ අම්ම මගේ ජීවිතෙන් ඈත කොහාටදෝ ගියාට පස්සේ රෑ කළුවරේ තනියම නිදා ගනිද්දීත් මට අම්මා මතක් වුණා. මගේ ඔළුව නින්ද ළඟා වෙනතුරු අතගාන්න හිටියේ අම්මම විතරයි. ඒ හින්දා අම්මා මගේ ලෝකයෙන් ඈතකට ගියාට පස්සේ නින්දත් මට හුඟක් දුර වුණා. මම කාමරේ වීදුරු ජනේලයෙන් හඳ පායන දවස්වලට හඳ දිහා බලාගෙන හිටියා. තරු පායන දවස්වල තරු දිහා බලාගෙන හිටියා. සීතල මැදියමේ තරැකැටවලටත් නින්ද ගිහින් තිබුණා. අහස තද අළුපාට වලාකුළුවලින් පිරෙද්දී මම හොඳටම බය වුණා. ගොරවද්දී මට තුරුල් වෙන්න අම්මගේ වගේ වෙන උණුසුමක් තිබුණේ නෑ. මහා වැස්ස මාව හයියෙන්ම අැඬවෙව්වා. මොකක්දෝ නොතේරෙන දුකක් වචනවලට පෙරලගන්න බැරි තරම් දුකක් වහින හැම දවසකම මගේ හිතට දැනුණා. මට නොපෙනෙන්න අැඬුවද දන්නේ නෑ. ඒත් තාත්තා මට පේන්නනම් කවදාවත් ඇඬුවේ නෑ.

තාත්තා කොහොමත් ටිකක් අමරුකාරයා. හාල් හකුරු  ව්‍යාපාරය පටන් ගන්න ඉස්සර තාත්තගේ කඩ බදු අය කරන කාමර කෑල්ල තාත්තා වහලා දැම්මත් එයා කළින් වැඩේ අතහැරියේත් නෑ. කවුරු හරි කෙනෙක් රජයට මහජන මුදල් ගෙවන එක පැහැර හැරියොත් තාත්තා ඒ මුදල් රජයට අය කරලා දුන්නේ ඇඟේ හයිය පෙන්වලා. තාත්තා ඒකට හැබෑ දක්ෂයා. තාත්තට එහෙම දේවල්වලට උපතින්ම ගෙනාව දක්ෂකමක් තිබුණා. තාත්තා පාන්දරම ඇහැරුණා. ඒ ඇහැරිලා ගියේ ගඟට. හැම උදේකම තාත්තා ගඟ දිය ස්නානය කළා. ස්නානය කර ගෙදරට එන තාත්තා ඊළඟට කළේ විශ්වනාත් ජීට වැඳලා එයාගේ වෙළඳසැලට යන එක. මහවැස්සක් වහින දවසක වුණත් තාත්තා එයාගේ දවසේ ආරම්භය වෙනස් කළේ නෑ. මම සීතලේ පොරෝනය අස්සට ගුලිවෙද්දී තාත්තා අපි වෙනුවෙන් දවස පටන් ගත්තා.

► අනුවර්තනය : චන්දන වරාවිටගේ &  සංජු