2018 මාර්තු 17 වන සෙනසුරාදා

සිංහල සින්දු කියන සදාදරණීය ඉලන්දාරියා

 2018 මාර්තු 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 250

ශ්‍රී ලාංකික සංගීත ශ්‍රාවකයින් අතර අතිශයින් ජනාදරයට පත් ස  ඒකපුද්ගල ගීත ප්‍රසංගය තුළින් ආචාර්ය වික්ටර් රත්නායකයන්ගේ ජනප්‍රිය, සුමියුරු ගීත රැසකම මිහිර විඳගන්නට ඇති බව නොරහසකි.

එහෙත් වික්ටර් රත්නායක යනු රස ගී ගුලාවකි. ඔහුගේ ගීතාවලියට ඉමක් කොණක් නැත. එය සැබැවින්ම ගී උල්පතක් බඳුය. කිසිදා සිඳෙන්නේ නැත. වික්ටර්ගේ ගී නිර්මාණ සැමදා නැවුම් ලෙස අපේ හදවත් තුළ ලැගුම්ගෙන තිබෙන්නේ එනිසාය.
ආචාර්ය වික්ටර් රත්නායක සිය සංගීත දිවියේ තවත් නැවුම් සලකුණක් සටහන් කරමින් නව ආරක සුවිශේෂී ගී ප්‍රසංගයක් ඉදිරිපත් කරන්නට සූදානමින් සිටී. ලබන සෙනසුරාදා, එනම් මාර්තු මස 24 වැනි දින සවස කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිත නවමු ප්‍රසංගය නම් කර තිබෙන්නේ සරස - මගේ නොවන මගේම ගී ලෙසටය.

මගේ නොවන මගේම ගී - මේ සංකල්පය කුමක්ද? අපි ඒ පිළිබඳව වික්ටර් රත්නායකයන්ගේ හඬින්ම අසා දැනගන්නට අදහස් කළෙමු.

සරස - මගේ නොවන මගේම ගී කියන්නෙ අලුත්ම සංකල්පයක්. ඇත්තෙන්ම මේක සංවිධානය කරන්නෙ වික්ටර් ප්‍රතිභා ප්‍රණාම පර්ෂදයයි. මගේ සංගීත දිවිය තුළ මා විසින් තනු සහ සංගීත නිර්මාණය කරන ලද ගීත විශාල සංඛ්‍යාවක් තිබෙනවා. ඉතින් දැනට ජීවතුන් අතර නැති මම සංගීත නිර්මාණය කරදුන් ශිල්පීන් ශිල්පිනියන්ගේ ගීත තමයි එදාට මම ගායනා කරන්නෙ. ඒ වාගේම මා වෙනුවෙන් සංගීත නිර්මාණය කර දුන් අප අතරින් වියෝ වූ සංගීතවේදීන්ගේ ගීතත් එදාට මම ගායනා කරනවා. නැසී ගිය ගායන ශිල්පීන් හා සංගීතවේදීන්ට උපහාරයක් පිණිස තමයි මම මේ ප්‍රසංගය නව ආරකින් පවත්වන්නේ.

ඔබ විසින් ගී තනු හා සංගීත නිර්මාණය කරදුන්, අද අප අතර නැති ගායක ගායිකාවන්ගේ නම් සිහිපත් කරනවා නම්...?
ඒ අතර ඉන්නවා පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේව, රුක්මණී දේවි, සිසිර සේනාරත්න, එච්.ආර්. ජෝතිපාල, එම්.එස්. ප්‍රනාන්දු, මිල්ටන් මල්ලවාරච්චි, මිල්ටන් පෙරේරා, අබේවර්ධන බාලසූරිය, වින්සන්ට් ප්‍රේමසිරි, ෆ්‍රෙඩී සිල්වා වැනි මේ රටේ බිහිවූ ජනප්‍රිය ගායක ගායිකාවො.

ඔබ වෙනුවෙන් ගී නිර්මාණය කරදුන් අප අතරින් වියෝ වී සිටින සංගීතවේදීන්....?
මට මෙතනදිත් මුලින් සිහිපත් වෙන්නෙ පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේවයන්. ඒ වාගේම ආර්.ඒ. චන්ද්‍රෙස්න, ආචාර්ය ප්‍රේමසිරි කේමදාස, සරත් දසනායක, සෝමදාස ඇල්විටිගල, එම්.කේ. රොක්සාමි, ස්ටැන්ලි පීරිස්, සෝමපාල රත්නායක, පුණ්‍යසිරි මහවත්ත, ඩී.ආර්. පීරිස්, මර්වින් පෙරේරා වැනි කෘතහස්ත සංගීතවේදීන් මා වෙනුවෙන් ජනප්‍රිය ගී නිර්මාණය කළා. මගේ ආදරණීය රසික රසිකාවියන් මෙය නැවුම් අත්දැකීමක් වනවාට කිසිදු සැකයක් නැහැ. ආචාර්ය රෝහණ වීරසිංහයන් තමයි මේ ප්‍රසංගයේ සංගීත අධ්‍යක්ෂණය භාරව කටයුතු කරන්නෙ. නිරෝෂා විරාජිනී හා සමිතා මුදුන්කොටුව යුග ගායනයෙන් මෙම ප්‍රසංගය විචිත්‍රවත් කරනවා. ජාතික ලොතරුයි මණ්ඩලයේ පූර්ණ අනුග්‍රහයෙන් පැවැත්වෙන මෙම ප්‍රසංගයේ නිවේදන කටයුතු සමන් අතාවුදහෙට්ටිගේ හඬින් සිදුවෙනවා.

වික්ටර්ගේ සරස - මගේ නොවන මගේම ගී ප්‍රසංගයේ සංවිධායක කමිටුවේ සාමාජිකයින් ලෙස කටයුතු කරන්නේ ආචාර්ය රෝහණ වීරසිංහ, කුලරත්න ආරියවංශ, සමන් අතාවුදහෙට්ටි, බණ්ඩාර ඇහැලියගොඩ, ප්‍රේම් දිසානායක, බන්දුල නානායක්කාරවසම්, සරත් තිලකරත්න, ගීතනාත් කුඩලිගම, සරත් සේනාරත්න හා දයා විජේසේකරය.

සිංහල ගීත වංශ කතාවේ සදාදරණීය ඉලන්දාරියායැයි පසක් වන තරමටම ඔහු ප්‍රේමයේ ශෘංගාරාත්මක සෞන්දර්යය පිළිබිඹු කරන රසාලිප්ත ගී ගයන්නේ අපේ හදවත්වල ගැඹුරුම තැන් ස්පර්ශ කරමිනි. ඒ වාගේම ප්‍රබල මානුෂීය හැඟීම් කැටිවුණු ගීත සිය දහස් ගණන් තුළින් ඔහු සුවහසක් රසික රසිකාවියන් කොපමණ ප්‍රමාණයකගේ මනස සුවපත් කර ඇතිද?
මගේ නොවන මගේම ගී තුළින් ඔහු කරන්නේද අපේම සිත් සුවපත් කිරීමය.
 

► Text – Ramesh Uvais/ Pic – Sumudu