2018 මාර්තු 17 වන සෙනසුරාදා

සමහර අය පැරැණි චිත්‍රපට හංගගෙන ඉන්නවා

 2018 මාර්තු 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 132

- දමිත් සහ ජැක්ලින් කට අරිති
 



1958 වසරේදී පමණ තමයි අපේ ලෝක පූජිත සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් අප රටේ චිත්‍රපට සංරක්ෂණාගාරයක අවශ්‍යතාවය ගැන හඬක් ඊට ප්‍රතිචාර දක්වමින් චෙක් ජනරජයෙන් වෘත්තීය මට්ටමේ චිත්‍රපට සංරක්ෂණය පිළිබඳ ප්‍රවීණයන්ගෙන් යුත් කණ්ඩායමක් ලංකාවට ගෙන්වා, අප රටේ සංරක්ෂණාගාරයක් ඉදි කිරීමට සුදුසුම ප්‍රදේශය ඔවුන්ගෙන් විමසා සිටියා. දින සති ගණනාවක දැවැන්ත සමීක්ෂණයකින් අනතුරුව ඔවුන් එක හෙලාම යෝජනා කළේ ඒ සඳහා සුදුසුම ස්ථානය බණ්ඩාරවෙල කියාය. ඒත් එවකට සිනමාවට සම්බන්ධ බොහෝ අය විවිධ මති මතාන්තර ඉදිරිපත් කරමින් එයින් අපට සෙතක් සිදුවන්නේ නැති බවත්, නඩත්තු කිරීම අසීරු වන බවත්, තවත් විවිධ හේතූන් ඉදිරිපත් කළහ. අපට ලැබුණ අගනා අවස්ථාවක් එමගින් අවාසනාවන්ත ලෙස ගිලිහී ගියා. එයින් පසු අදට වසර 53ක් ගෙවී ගොස් ඇතත්, විවිධ රජයන් මේ රට පාලනය කළත් මේ සඳහා කිසිම පියවරක් නොගැනීම ගැන අපි කණගාටුවෙන් වුවද පිළිගත යුතුය. කතාවට මුල පුරමින් දමිත් ෆොන්සේකා පැවසුවේය.

ඒ අතරතුර දිනෙන් දින අපේ චිත්‍රපට දිරාපත් වීගෙන ගිය අතර 1972න් පසු ජාතික චිත්‍රපට සංස්ථාවට පත් වූ සෑම සභාපතිවරයකුම මේ පිළිබඳව මැසිවිලි නැගුවා. ඒ වකවානුව තුළ පැරුණි චිත්‍රපට එක්රුස් කරන පෞද්ගලික මට්ටමෙන් එකතු කරන පුද්ගලයන් බිහිවුණා. එවැනි පුද්ගලයන් වර්තමානයෙත් ඉන්නවා. ඒ ප්‍රවණතාවයේ හොඳ පැත්තක් වගේම නරක පැත්තකුත් තියෙනවා. අපි නරක පැත්ත පැත්තකට දාලා හොඳ පැත්ත ගැන කතා කළොත්, අද කාගේ හරි ළඟ ඒ චිත්‍රපට තියෙනවා. අපට අපේ පැරැණි චිත්‍රපට නැති වුණ ප්‍රධාන හේතුව තමයි විශේෂයෙන් චිත්‍රපට සංස්ථාවට පත් වූ අැතැම් ඉහළ බලධාරීන් තුළ තිබුණු අකාර්යක්ෂමතාවය හා උනන්දු නැතිකම. සිනමාව ගැන අවබෝධයක් නැති දේශපාලන පත්වීම් නිසයි ඒ තත්ත්වය උදා වුණේ. එවැනි නිලධාරීන්ගේ නොදැනුවත්භාවය ප්‍රධාන කාරණයක් වුවද, ඔවුන්ට විෂය සම්බන්ධ දැනුම ලබා ගැනීමට තැනක් හෝ දැනුවත් පුද්ගලයන් සිටියේද නැත. මෙය පෞද්ගලික හා රාජ්‍ය මට්ටමේ ආයතනවලටද පොදුවේ බලපෑ සාධකයක් වුණා. මෙලෙස කාලයක් ගත වෙද්දී පැරුණි චිත්‍රපටවල සැබෑ අයිතිකරුවන් ළඟ ඔවුන්ගේ චිත්‍රපට තිබුණේ නැහැ. ඒවා වෙනත් අය අයිති කරගෙන තිබුණා. මෙම අර්බුදය නිසාත් චිත්‍රපට දිනෙන් දින විනාශ මුඛයට පත්වුණා. ඒත් එක්කම 1983දී ඇති වූ ජාතිවාදී කෝලාහලය අපේ සිනමාවට මරු පහරක් එල්ල කළා.

විජය චිත්‍රාගාරයේ වගේම ලංකා චිත්‍රාගාරයේ තිබුණ අපේ හොඳම චිත්‍රපට ටික ගිනිබත් වුණා. ඉන් පසුවත් ඉතිරි වූ චිත්‍රපට බේරා ගැනීමට චිත්‍රපට සංස්ථාවටත් උනන්දුවක් තිබුණේ නැත්තේ ඒවා නඩත්තු කිරීමට වැයවන විශාල මුදල් සම්භාරය නිසා කියලයි මට හිතෙන්නේ. චිත්‍රපට නිෂ්පාදකවරුන්ට ඔවුන්ගේ නිර්මාණ රැකගැනීමට එදා ලොකු උවමනාවක් තිබුණේ නැත්තේ. ඒ වනවිට ඒ චිත්‍රපට ප්‍රදර්ශනය කරලා ඔවුන්ගේ මුදල් අතට ලැබී තිබුණු නිසාය. වර්තමානය වනවිට අපේ පැරැණි චිත්‍රපටවලට විශාල ඉල්ලුමක් සැදී තිබෙනවා. සිනමා ලෝලීන් වගේම අලුත් පරපුරේ අපේ සිනමා වංශ කතාව හදාරන විශ්වවිද්‍යාල සිසු සිදුවියන්ද ඒ අතර ඉන්නවා. මේ පැරැණි චිත්‍රපටවල අයිතිය නැති අය හා ඒ චිත්‍රපටවල සැබෑ අයිතිකරුවන් අතර ගැටුම් ඇති වෙනවා. ඒ ගැටුම් නිසාසමහර අය ළඟ තිබුණ පැරැණි චිත්‍රපට එළියට නොදා හංඟාගෙන ඉන්නවා. අදටත් එහෙමයි. සමහර ඒවගේ හංඟාගෙන හිටපු චිත්‍රපට අද නැත්තටම නැතිවෙලා තියෙනවා. මට ඒවා නම් වශයෙන් වුණත් කියන්න පුළුවන්. ඇත්තටම මේක ඉතාම ඛේදජනක තත්ත්වයක්.

ඔබ ඒ වෙනුවෙන් ගත්ත පියවර මොනවාද?
ඉතිහාසයේ සිදුවුණ වැරදි අඩුපාඩු කතා කරලා වැඩක් නැහැනේ.. පුළුවන් විදිහට රාජ්‍ය මැදිහත් වීනමෙන් අඩුම ගාණේ ඉතුරැ වෙලා තියෙන චිත්‍රපටවත් බේරගන්න එක වෙනුවෙනුයි මම පෙනී සිටින්නේ. ඒ සඳහා ගාමිණී ෆොන්සේකා පදනම හා ලෙස්ටර් ජේම්ස් පීරිස් පදනම ජාතික චිත්‍රපට සංස්ථාවත් එක්ක සම්බන්ධ වෙලා වැඩ කරනවා. අපේ 71 වසරක සිනමා ඉතිහාසය තුළ හදලා තියෙන්නේ චිත්‍රපට 1300ක් වගේ ප්‍රමාණයක්. වෙන රටවල් එක්ක බලද්දී මේක පොඩි ප්‍රමාණයක්. මේක අපට හොඳටම කළමනාකරණය කරගන්න තිබුණා. ඒත් අවබෝධය නැතිකම, උනන්දුව නැතිකම හා අකාර්යක්ෂමතාවය නිසා ඒවා මඟහැරුණා.

ඔබට මෙවැනි අදහසක් පහළ වුණේ ඇයි?
ඇත්තටම මීට අවුරුදු කීපයකට කළින් මට ලොකු උවමනාවක් තිබුණා මගේ තාත්තාගේ හොඳ චිත්‍රපට 4ක් පහක් විතර ප්‍රතිසංස්කරණය කරලා සංරක්ෂණය කරගන්න. අයිතිය සම්බන්ධ ගැටලු නැති චිත්‍රපට 4ක් 5ක් තෝරන්න ගියාමයි මට තේරුණේ එවැනි ගැටලු නැති චිත්‍රපට නැති බව. ඒ වෙනුවෙන් මම පෞද්ගලික අංශයේ සහාය පැතුවා. මොකද ඒක පැරැණි චිත්‍රපටයක්. ප්‍රතිසංස්කරණය කරලා සංරක්ෂණය කරන්න අපේ මුදලින් රු. ලක්ෂ 35ක 45ක පමණ මුදලක් වැය වෙනවා. ඒත් ඒ ආයතනවලට අ‍පේ කලා උරුමයන් රැක ගැනීමට වඩා වුවමනා වූයේ ඔවුන්ගේ වාණිජ අරමුණු ඉටු කරගන්න පුළුවන් ව්‍යාපෘති වෙනුවෙන් මුදල් යොදවන්න. මම සේරම නවත්තලා චිත්‍රපට සංරක්ෂණය ගැන ලෝකයේ ප්‍රවණතාවයන් ගැන හොයන්න පටන් ගත්තා. එතැනදී තමයි මට ඉන්දියාවේ FILM HERTAGE ආයතනය සමඟ සම්බන්ධ වෙන්න ලැබෙන්නේ. එහි ප්‍රධානී SHIVENDRA SINGH DUNGARPUR මහතාගේ මග පෙන්වීමෙන් මට මේ සම්බන්ධ අතිශය වැදගත් වැඩමුලු කීපයකට සහභාගී වෙන්න අවස්ථාව ලැබුණා.

පසුගිය වසරේ මාර්තු මාසයේ මගේ මූලිකත්වයෙන් ශිවේන්ද්‍ර සිං මහතා ලංකාවට දේශනයක් පවත්වලා අපේ ජාතික ලේඛනාගාරයෙ තිබෙන චිත්‍රපට සංරක්ෂණාගාරය පරික්ෂා කළා. පසුව ඔහු දළුගම සරසවි චිත්‍රාගාරයටත් එක්කරගෙන ගියා. අපේ චිත්‍රපටවලට සිදු වී තිබෙන අවාසනාවන්ත ඉරණම ගැන ඔහු දැඩි කම්පාවට පත්වුණා. එම ගමන්වල හා ප්‍රයත්නවල දිගුවක් හැටියට තමයි අදින් ඇරඹෙන පස්දින සංචාරය පැවැත්වෙන්නේ. අපට ලැබී තිබෙන අවසාන හා තීරණාත්මක අවස්ථාව මේකයි කියලා මට හිතෙන්නේ. මෙම වැඩමුළුවලට සහභාගී වී චිත්‍රපට සංරක්ෂණය පිළිබඳව විශේෂ දැනුමක් ලබාගන්නට කැමති ඕනෑම කෙනෙක් ඉන්නවනම් ජාතික චිත්‍රපට සංස්ථාවත් සමඟ සම්බන්ධ විය හැක.

මීට වසර පහකට පෙර ජාතික ලේඛනාගාරයේදී විශාල මුදල් කන්දරාවක් යට කරලා චිත්‍රපට සංරක්ෂණාගාරයක් ස්ථාපිත කළා නේද?
විශාල වියදමක් දරලා එය ස්ථාපිත කළා. එතැන පැරැණි සිංහල චිත්‍රපට 295ක් තියෙනවා. ඒවා එතනට ගෙනාවේ දළුගම සරසවි චිත්‍රාගාරයේ ගබඩාවෙන්. ඒත් චිත්‍රපටයක් විනාශ නොවී දිගු කල් ආරක්ෂා සහිතව තබා ගැනීමට, අඩුම ගාණේ මාස තුනකට වරක්වත් ඒවා ආපසු එතීම සඳහා REWIND කළ යුතුය. ඒත් අපේ අදාළ අංශවල නිලධාරීන්ගේ හා බලධාරීන්ගේ නොදැනුවත්කම ප්‍රදර්ශනය කරමින් එම ආයතනයට REWINDER එකක් එදා තිබුණෙත් නැහැ. අදත් නැහැ. මෙම ලේඛනාගාරය අයිති වෙන්නේ අධ්‍යාපන අමාත්‍යංශයට. චිත්‍රපට සංස්ථාව අයත් වෙන්නේ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට. ඉතිං චිත්‍රපටවලට කිසිසේත්ම අදාළ නැති අමාත්‍යංශ දෙකකට අයත්ව තිබෙනඅපේ සිනමා කර්මාන්තය පිළිබඳව සම්බන්ධීකරණය කරන්නටවත් නිසි බලධාරියකු නැත. මෙවැනි අර්බුද මැද අපිත් අපේ චිත්‍රපට රුක ගැනීමට, අභියෝග ජය ගැනීමට හැකි අයුරින් වැඩ කරගෙන යනවා.

බොලිවුඩ් සිනමාවේ ප්‍රබල චරිතයක් වන ශ්‍රී ලාංකික රංගන ශිල්පිනී ජැක්ලින් ෆර්ඩිනෑන්ඩස් අපේ චිත්‍රපට සංරක්ෂණය කිරීමට ගන්නා වත්මන් වැඩපිළිවෙළ අගේ කරනා බව පවසන්නීය.

වසර 71ක් පැරැණි සිංහල සිනමාවේ බොහෝ ජනප්‍රිය කඩඉම් චිත්‍රපට අද වෙනකොට අපට නැතිවී තිබීම ගැන මගේ හිතට දැනෙන්නේ තදබල වේදනාවක්. අපේ සිනමා උරුමය රැක දීමට INTERNATIONAL FEDERATION OF FILM ARCHIVES (FIAF) සහ ඉන්දියාවේ FILM HERITAGE FOUNDATION යන ආයතනවල මැදිහත්වීමෙන් තුළින් අඩුම ගණනේ අද අපට ඉතිරිව තිබෙන සිංහල චිත්‍රපට බේරාගත හැකි වුවහොත් විශාල ජයග්‍රහණයකි. මෙම වැඩපිළිවෙල සඳහා මූලිකත්වය ලබා දෙන ගාමිණී ෆොන්සේකා පදනම, ලෙස්ටර් ජේම්ස් පීරිස් පදනම, සුමිත්‍රා පදනම, ජාතික විත්‍රපට සංස්ථාවට මගේ ප්‍රණාමය පුද කළ යුතුය. අපි සැවොම එකා මෙන් මෙම සද්කාර්යයට උපරිමයෙන් දායක විය යුතුයි ඇය කීවාය.

 

► Text – Ramesh Uvais/ Pic – Dayan vitharana

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00