ඇත්තටම මට fb එකක් තිබුණට fb එකට වැඩිය යන්නෙනම් නෑ. ඒ නිසා fb නැහැ කියලා මට එහෙම ලොකු ප්‍රශ්නයක් නම් ඇතිවෙලා නෑ. කාලයක් ඕක නිකම් පාවිච්චි කළාට ඉබේම වැඩත් එක්ක fb යන එක මට එච්චර ගාණක් වුණේ නෑ. ඒ නිසා ඒක මට එච්චර අවුලක් නෑ. නමුත් මට සමහර අය කියනවා මේක ඇත්තටම ලොකු පාඩුවක් වෙන වැඩක් කියලා. මේකෙ ව්‍යාපාර කටයුතු කරන බොහොමයක් ඉන්නවා. Online බිස්නස් කරන අයට මේක ලොකු පාඩුවක්. ඒ වගේම සින්දුවලින් එහෙම ආදායම් ලබන අයට මේක ලොකු පාඩුවක්.
ඇත්තටම මේ දේවල් අපි පරිහරණය කරන විදිහ හරි වැරදියි. මම හිතන්නෙ ඕවා තහනම් කරනවාට වඩා තහනම් කරන්න දේවල් කොච්චරනම් තියෙනවද? ඔය ඉන්ටර්නෙට් හරහා බ්ලූ ෆිල්ම් බලන එක තහනම් කරන්නයි ඕනෙ. ඒ දේවල් තමයි මේ රටට පිළිලයක් වෙලා තියෙන්නෙ. ඊළඟ පරම්පරාවට මේ දේවල්වලින් වෙන අපරාධය සුළුපටු නෑ. ඉතින් මේ දේවල්වලට වඩා ඒ දේවලුයි තහනම් කළ යුත්තේ.
මේ සම්බන්ධව දේශපාලනඥයෙක් ඒක හොඳයි තහනම් කරපු එක.. ඒකෙන් බොරු ප්‍රචාර යන එක නවතිනවා කියලා කියනවා මම එක දවසක් අහගෙන හිටියා. එහෙමනම් ඉතින් මේ පහුගිය කාලේ විතරක් නෙමේ, ගිය ආණ්ඩුවේ මැතිවරණ තියෙන කාලෙදීත් මඩප්‍රහාර ඕනතරම් යන්න ඇති. ඒ නිසා ඒ දේවල් ඇත්තටම වැඩකට නැති කතා. අපි fb එකේ හැමදෙයක්ම ඔළුවට ගන්නෙ නැහැනෙ. අපි ඔළුවෙන් කල්පනා කරලා බලලයි ඔළුවට ගන්නෙ. ඒක තමතමන් අවබෝධ කරගන්න විදිහත් එක්ක තමයි තීරණය වෙන්නෙ. ඉතින්... මේ දේවල් තහනම් කරපු එක මහ විහිළුවක් හැටියටයි මට තේරෙන්නෙ.
මේ ඇතිවුණු ප්‍රශ්නය එක්ක ගත්තොත් මේක ඇත්තටම පොඩි ප්‍රශ්නයක් විදිහට තමයි ඇතිවුණේ. නමුත් හරියට නීතිය ක්‍රියාත්මක නොවීමෙන් මේක ප්‍රශ්නයක් වුණා. නීතිය හරියට ක්‍රියාත්මක වුණානම් මේ වගේ තත්ත්වයක් ඇතිවෙන්නෙ නෑ. අපි සියල්ලෝම ශ්‍රී ලාංකිකයන් නිසා කිසිවිටකත් අපට ජාතිවාදය අවශ්‍ය වෙන්නෙ නෑ.
මේ වගේ දෙයක් වුණු නිසා සමහරවිට රටේ සාමය රැකගන්න කියලා තාක්ෂණය දවසකට සීමාකළානම් ඒක ගැන අපිට හිතන්න තිබුණා. නමුත් මේ තරම් කාලයක් පැවතීම ඇත්තටම නුසුදුසුයි කියලයි මමනම් හිතන්නෙ. මේ වගේ දෙයකින් අපිට එහෙම කිසිදෙයක් නවත්වන්න බෑ.
තාක්ෂණය හරහා ජාත්‍යන්තර සම්බන්ධතා සියල්ලම ඇතිවුණා. මේ තාක්ෂණය හරහා කරපු මිනිසුන්ගේ ව්‍යාපාර කටයුතු බොහොමයක් නතරවුණා. ලෝකයම තාක්ෂණයත් එක්ක ගමන් කරන වෙලාවක අපේ රට ආයෙමත් ආපස්සට ඇදීමක් විදිහටයි මම මේක දකින්නෙ. ආණ්ඩුවක් වශයෙන් සිද්ධනොකළ යුතු දෙයක්. මීට වඩා හොඳට මේ ප්‍රශ්නය දිහා බලලා ක්‍රියා කළානම් හොඳයි කියලයි මටනම් හිතුණේ. කලාකරුවන් හැටියට අපිට මේකෙන් ගොඩක් පාඩුයි. තාක්ෂණය හරහා අපි බොහෝ දේ සිදුකළා. අද වෙද්දී ඒ හැමදෙයක්ම නතරවෙලා තියෙන්නෙ.
අද අපේ සිනමාවට වසර ගණනාවක් ගතවුවත් ඒ කාලේ ඔය fb මුකුත් තිබුණේ නෑ. ඒ නිසා කවුරුහරි කෙනෙක් කියනවනම් නිර්මාණ හෝ චිත්‍රපට මිනිසුන් අතරට යන්න fb ලොකුවට උදවු වුණා කියලා ඒක වැරදියි. Fb ආවට පස්සෙ ඒ නිර්මාණ මිනිස්සු අතරට යන ප්‍රමාණය පොඩ්ඩක් වැඩිවෙන්න ඇති. හැබැයි fb හරහා අපේ නිර්මාණ බොහෝ දෙනෙක් අතරට ගියා කියලා මම නම් කියන්නෙ නෑ. Fb රටේ සීමිත ප්‍රමාණයක් විතරක් පරිහරණය කරන දෙයක්. අතිදුෂ්කර පළාත්වල ඔය fb මුකුත් නෑ. සමහර පැතිවල මිනිසුන්ට ජීවත්වීමේ ප්‍රශ්න තියෙනවා. ඒ නිසා fb හරහා අපේ නිර්මාණවලට ලොකු ඉඩක්, ලොකු ප්‍රචාරයක් ලැබුණේ නෑ.
හැබැයි fb වලට අමතරව වට්ස්අප්, වයිබර් වැනි සන්නිවේදන ජාලා තිබුණානම් හොඳයි. පිටරටක ඉන්න කෙනෙක්ට කතා කරන්න, අදහස් හුවමාරු කරගන්න, මේ හැමදේකටම ඒ සන්නිවේදන මාධ්‍යයන්ගෙන් ලොකු සපෝට් එකක් ලැබෙනවා. අනිත් එක පිටරට ඉන්න පවුලේ අය, නෑදෑයෝ, මිත්‍රයෝ කතා කරන්නේම වයිබර්, වට්ස්අප්, ඉමෝ වගේ මාධ්‍ය හරහා. මොකද සාමාන්‍ය දුරකතනය ඔස්සේ කතා කරද්දී ලොකු මිලක් යන නිසා. ඒ නිසා වයිබර්, වට්ස්අප් නවත්වපු එක ප්‍රශ්නයක් තමයි. අපි දැන් ජීවත් වෙන්නෙ 2018 අවුරුද්දෙනේ. ඒ නිසා අපිට බොහෝ දේවල් අවශ්‍යයි. ඒ නිසා වට්ස්අප්, වයිබර් වගේ දේවල්නම් අවශ්‍යයි.
ලංකාවේ fb නිසා කොච්චර ප්‍රශ්න ඇතිවෙලා තියෙනවද? පහුගිය කාලේ සිදුවුණු සිදුවීම් එක්ක ඒ තත්ත්වය ගින්දර වගේ වැඩිවුණේ මේ fb නිසයි. ඒ දවස්වල හදපු post දැක්කාම ඇත්තටම දුක හිතෙනවා. සමහර උගත් ළමයි මේ වගේ post හදද්දී මට හිතාගන්නවත් බෑ. කවදාවත් fb නිසා දියුණුවක් වුණා කියලා මම ලංකාව ඇතුළේ දැකලා නෑ.
සමාජ ජාලා වෙබ්අඩවි ගැන හිතනවාට වඩා ලෝකෙ තව මොනතරම් දේවල් තියෙනවද හිතන්න. ඔය fb කියලා කියන්නෙ කෑම එකක තියෙන පපඩම් කෑල්ල වගේ දෙයක්.
පපඩම් නැතිව අපිට කෑම කන්නත් පුළුවන්. ජීවත් වෙන්නත් පුළුවන්. මමනම් හිතන්නෙ මේ තිබුණු තත්ත්වයත් එක්ක ඕක තාවකාලිකව නවත්වපු එක හොඳයි කියලා. අනිකුත් නවත්වපු වෙබ්අඩවි ගැන වුණත් මිනිසුන් ලොකුවට හිතන්න ඕනෙ නෑ. හෙට අනිද්දා වෙද්දී ඔය ප්‍රශ්න හැමදෙයක්ම විසඳිලා ඔය තාවකාලික තහනම ඉවත් කරාවි. ඒ නිසා ඔය ගැන ලොකුවට මිනිස්සු කලබල වෙන්න ඕනෙ නෑ. මේ හැමදෙයක්ම සිද්ධවුණේ මිනිස්සු විසින් තමන්ගේ ලිමිට් එක මොකක්ද කියලා හරියට තේරුම් නොගන්න එකයි.
මම ඔය දේවල් ලොකුවට පාවිච්චි කරපු කෙනෙක් නෙමේ. WhatsApp වගේ දෙයක් මොකක්හරි අත්‍යවශ්‍යම දෙයකට ඕන වුණොත් විතරක් මම ඒ APP එක දාගෙන මගේ වැඩේ කරගත්තට පස්සෙ ආයෙමත් ඒ App එක unstall කරනවා. එදාමෙදාතුර එහෙමයි වුණේ. Fb එක වුණත් මම පාවිච්චි කළා. හැබැයි ඒ පාවිච්චි කළාට මොනවහරි දෙයක් update කළාට ඒකට ගොඩක් ඇලිලා හිටපු කෙනෙක් නෙමේ. ඒ නිසා ඒක මට දැනුණේ නෑ. දන්න කියන අයට කෝල් කරලා කතා කරන්න පුළුවන් නිසා ලොකු වෙනසක් දැනුණේ නෑ. මම Instagram පාවිච්චි කළා. ඒක fb එකේ වගේ ගොඩක් gossip එහාට මෙහාට යන තැනක් නෙමෙයිනෙ. දැන් මේ දවස් ගාණක් තුළ ඒක නැතිවුණා කියලා ඒකත් මට ගාණක් නෑ. කොහොමහරි ඔය දේවල්වල ගොඩක් මම ඇලිලා හිටපු නැති එක ගැන මම දෙවියන්ට ස්තූති කරනවා.
මගේ ලොකුඅම්මා ඉන්නෙ රට. ඉතින්... අපේ අම්මා ලොකුඅම්මා එක්ක කතාබහ කළේ වයිබර් හරහා. ඉතින් මේ දවස්වල අම්මා එයාගේ අක්කට කතාකරගන්න බැරිව හරිම දුකෙන් ඉන්නවා. ඉතින් මට මේක ලොකුවට නොදැනුණත් බොහෝ දෙනෙක්ට ඒක තදින් දැනෙන වෙලාවලුත් තියෙනවා.
නිර්මාණයට සහ ප්‍රේක්ෂකයාට ඍජු ගනුදෙනුවක් කරන්න ප්ලැට්ෆෝම් එකක් හැදුණු මුල්ම අවස්ථාව කූඹියෝ නිර්මාණයයි. මීට කලින් එහෙම තැනක් තිබුණේ නෑ. සෝෂල් මීඩියා අපිට එහෙම මුණගැහෙන්න ප්ලැට්ෆෝම් එකක් හදලා දුන්නා. මේ තහනමත් එක්ක ඒ ෆ්ලැට්ෆෝම් එක කැඩුණා. නමුත් අපේ රටවල්වල සෝෂල් මීඩියා භාවිත කිරීමේ විනය තුළ සමාජ ප්‍රශ්නයකදී හැසිරුණු විදිහ හරිම දුර්වලයි.
පහුගිය දිනවල සිදුවුණු සිදුවීමේ දී පිටරටවල්වල ඉඳගෙන මේ රටේ ප්‍රශ්නය ගැන කිසිමදෙයක් දන්නෙ නැතිව සෝෂල් මීඩියා හරහා ලොකු ආතල් එකක් ගත්තා. ඒ වගේ වෙලාවකදී මිනිසුන්ගේ ජීවිත සහ දේපල එක්ක ඩේටා කාඩ් එකක් දාගෙන සෙල්ලම් කරන්න දෙන්න බෑනෙ. මේකෙ දේශපාලන අර්ථය කුමක් වුණත් මෙහෙම ප්ලෑන් කරපු එකෙන් අපේ නාට්‍ය පැත්තෙන් ගත්තත්, අපේ අනිකුත් කටයුතු පැත්තෙන් ගත්තත් බලපෑමක් තියෙනවා. නමුත් මේ වගේ සමාජ ජාලා පාවිච්චි කරනවානම් අවම වශයෙන් අඩුම තරමේ අපි අපිම පොඩි රේඛාවල් ටිකක් හදාගන්න ඕනෙ. ඒ ඩිජිටල් ප්ලැට්ෆෝම් එක ඇතුළේ තමන්ගේ පරිමාව මොකක්ද කියලා තමන් තේරැම් ගත්තොත් මේ ප්‍රශ්නය දුරදිග යන්නෙ නෑ. දැන් මේ තත්ත්වය නතර කළා හොඳටම ඇති. නමුත් සමාජ වෙබ්අඩවි ඔස්සේ අපේ සීමාව ලකුණු කරගැනීමට මේක හොඳ අවස්ථාවක් වෙනවා.
► Text – Dishani Pic – Sumudu & Internet