කාරා සහ ජෝසප් මීට සතියකට පමණ පෙර ගුවන් යානයකට ගොඩවුණේ තමන්ගේ දරුවන් සහ ජර්මන් ෂෙපර්ඩ් සුරතලා ඉර්ගෝ සමඟ අමෙරිකාවේ බටහිර වෙරළ ප්‍රදේශයේ සිට කන්සාස් නගරයට යාමට යි. ගුවන් යානාවල නීති රීති වලට අනුව සුරතල් සතුන් ගෙනියන්න පුළුවන් ගුවන් යානයේ යට භාණ්ඩ ප්‍රවාහනය කරන කොටසේ පමණයි. ඒ නිසා ඉර්ගෝව ගුවන් යානයේ අදාළ කොටසට ඇතුළු කරපු ඔවුන් යානය ඇතුළට ගියා.
මේ ගුවන්යානය අමෙරිකාවේ යුනයිටඩ් ගුවන් සේවයට අයත් යානයක්. කන්සාස් නුවරට ගියපු කාරා සහ ජෝසප් තමන්ගේ බඩු බාහිරාදියත් ඉර්ගෝවත් ගන්න ගියාට පස්සේ දකින්න ලැබුණේ කවදාවත් නොසිතූ දෙයක්.
“අපි එතැනට ගියේ ඉර්ගෝව ගන්න ඒත්. එතැන හිටියේ වෙන බල්ලෙක්. මට මුකුත් හිතාගන්න බැරිව ගියා” ඒ කාරා ය.
හැම තැනකම සෙව්වත් ඉර්ගෝ දකින්න ලැබුණේ නැහැ. ඉර්ගෝට වුණේ මොකක්ද කියලා හොයාගන්න බැරුව කාරාගේ ඇස්වලින් කඳුළු කැට කඩාහැළෙමින් තිබුණා.
සිදුවෙලා තිබ්බ මහ විශාල අත්වැරදීම ගැන දැනගන්න ලැබුණේ ටික වෙලාවකට පස්සෙයි. ඉර්ගෝ වෙනුවට කාරාගේත් ජෝසප්ගේත් නමට ලැබිලා තිබුණු Great Dane වර්ගයේ සුනඛයා එයාලාට ලැබිලා තිබුණේ වැරදීමකින්. ජපානයට යන්න සිටි ඒ සුනඛයා කාරාලාගේ ඉර්ගෝ එක්ක මාරුවෙලා, ඉර්ගෝව ජපානෙට යවලා.
මේ කතාව ඇහුවම කාරාත් ජෝසපුත් පුදුමයට වගේම බයටත් පත්වුණ එක අහන්නත් දෙයක් නෙමෙයි. ජපානය කියන්නේ කිලෝමීටර් දහස් ගාණක් දුර ඈත රටක්. තමන්ගේ ගෙදර කෙළිදෙළෙන් හිටපු බලු සුරතලා තනියම ජපන් ගිහින් කියලා දැනගත්තම කාරලාට දෙවියෝ සිහිවුණා.
“ඉර්ගෝට වයස තාම අවුරුදු දහයයි. එයාගේ කනේ පොඩි ආසාදනයකුත් තිබ්බා. එයා ජපානෙට වෙලා තනියම කොහොම ඉන්නවද දන්නෑ...” ජෝසපුත් කලබල වුණා.
කොහොම වුණත් ඉර්ගෝ ආපහු භාණ්ඩ ප්‍රවාහනය කරන කොටසේ කූඩුවට හිරවෙලා ආපහු අමෙරිකාවට එනවට ස්වාමි දුව කැමති වුණේ නෑ. එතැන තියෙන අධික ශබ්දය නිසා ඉර්ගෝ තවත් තෙහෙටුට්වට පත්වෙයි කියලයි කාරා කිව්වේ.
මේ අතර ඉර්ගෝ ජපානෙට ළඟා වුණ වෙලාවෙ ඉඳලා එයාගේ පින්තූර කාරාගේ ජංගම දුරකථනයට එවන්නත් ගුවන් සේවය කටයුතු කළා. හැම පැයකටම පාරක් වගේ ඉර්ගෝගේ පින්තූරයකුත් උගේ සෞඛ්‍ය තත්ත්වය ගැන, ආහාර ගැනීම ගැන පොඩි රිපෝට් එකකුත් කාරාලාට ලැබුණා.
අන්තිමේදී දවස් එකහමාරකට විතර පස්සේ ඉර්ගෝ ආපහු කාරාලාට ලැබුණා. ඒ යුනයිටඩ් ගුවන් සේවය ලෑස්ති කරපු ප්‍රයිවෙට් ජෙට් එකකින්. භාණ්ඩ ප්‍රවාහන මැදිරියක කූඩුවකට හිරවෙලා ජපන් ගිය ඉර්ගෝ ආපහු අමෙරිකාවට ආවේ රජෙක් වගේ ප්‍රයිවෙට් ජෙට් එකකින්.
හැබැයි ඒ මොන දේ හින්දවත් කාරාලාගේ දුක, කලකිරීම තුනී වුණේ නැහැ. “මම නම් ආයෙ ජීවිතේට යුනයිටඩ් ප්ලේන් එකක යන්නෙ නෑ. අනික කිසිමදාක ඉර්ගෝව ප්ලේන් එකේ ගෙනියන්නෙත් නෑ. කොච්චර අමාරු වුණත් මීට පස්සේ එයාවත් දාගෙන අපි කාර් එකේ ගමන් යනවා” ඈ කියන්නේ ලොකු කණගාටුවකිනි.
► Text — Rajitha