2018 මාර්තු 24 වන සෙනසුරාදා

මාස‍ෙකට සැරයක් නිමන්ති මාව කා‍ෙටුකර ගන්නවා

 2018 මාර්තු 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 122

ප්‍රභාත් මේ දවස්වල කාර්යබහුලයි වගේ...?
ඔව්... ටිකක් විතර කාර්යබහුලයි. මේ දවස්වල “අහස් මාලිගා ටෙලිනාට්‍යත් “හඳයා ටෙලිනාට්‍යයත් අපි නිෂ්පාදනය කරනවා. ඒ වගේම මේ මාසේ විසිහය වැනිදා ඉඳන් “පාරා කියලා නව නිෂ්පාදනය කරපු ටෙලිනාට්‍යයක් විකාශනය කරනවා. ඒ තුනේ වැඩ කටයුතුත් එක්ක මේ දවස්වල ටිකක් කාර්යබහුල වුණා.

ජයන්ත චන්ද්‍රසිරි අධ්‍යක්ෂණය කළ “ඝරසර්ප සිනමා නිර්මාණයේ කැමරා අධ්‍යක්ෂණය කළේ ඔබ...? කොහොමද ඒ අත්දැකීම...?
ඔව්... ඇත්තටම ඒක හරීම අපූරු අත්දැකීමක්. ජයන්ත චන්ද්‍රසිරි කියන්නේ අපේ රටේ ඉන්න ඉතාම ප්‍රවීණ අධ්‍යක්ෂවරයෙක්. ඉතින්... ජයන්ත අයියාගේ ඝරසර්ප චිත්‍රපටයට දායක වීමට ලැබීමත් මගේ වාසනාවක්. ඒ චිත්‍රපටයේ හොඳ, දක්ෂ, රංගන ශිල්පී ශිල්පිනියන් දායක වුණා... ඒක නිෂ්පාදනය කළේ අර්ජුන කමලනාත්.

ඔබ නිෂ්පාදන ආයතනයත් තියෙනවනේ... මේ හැමදෙයක්ම කරන්නේ ඒ ආයතනය හරහා නේද...?
ඔව්... අපිට Cine Art නමින් නිෂ්පාදනය ආයතනයක් තියෙනවා. නිමන්ති මගේ ළඟින්ම ඉන්නවා. ඒ නිසා ඒ ආයතනයේ වැඩ සහ නිෂ්පාදන කටයුතුවලට නිමන්තගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. එයා හැමදෙයක්ම හොයලා බලන නිසා මට පහසුයි.

මුලින්ම ප්‍රභාත් සහය කැමරාකරු ලෙසින් ආපූ ඒ කාලය මතක් කළොත්...?
මම 1992 තමයි ටෙලිනාට්‍යවල සහය කැමරා ශිල්පිනියක් විදිහට වැඩ පටන්ගත්තේ. ඉතින් එතැන් සිට මේ තැනට එන්න ලොකු කට්ටක් කෑවා. මේ ආපු කාලය තුළ සියලුම සම්මාන උළෙලවල්වල කැමරා අධ්‍යක්ෂණය වෙනුවෙන් මට සම්මාන ලැබිලා තියෙනවා. ගිය අවුරුද්දේත් හොඳම කැමරා අධ්‍යක්ෂවරයා විදිහට මට සම්මානය ලැබුණා. ඉතින් කැපවීම, මහන්සියත් එක්ක මම ලබපු ජයග්‍රහණ තමයි ඒ. මගේ නිර්මාණවලට ගොඩාක් අධ්‍යක්ෂවරු වගේම ප්‍රේක්ෂකයොත් කැමතියි. ඉතින් ඒ ගැන ලොකු සතුටක් තියෙනවා.

කැමරා අධ්‍යක්ෂවරයෙක් විදිහට කටයුතු කරපු ප්‍රභාත් නිෂ්පාදන ක්ෂේත්‍රයට යොමුවුණේ කොහොමද...?
ඇත්තටම නිෂ්පාදන කටයුතු මායි නිමන්තියි පටන්ගත්තේ දැනට අවුරුදු පහළොවකට විතර කලින්. ඒ “හිමි නැති හදකට කියන ටෙලිනාට්‍යක් එක්කයි. ඒක තමයි අපේ පළවෙනිම නිෂ්පාදනය. ඒ ටෙලිනාට්‍යය අපි නිෂ්පාදනය කරලා අවුරුදු හයක් විතර ගෙදර තියන් හිටියා. අපි ඒ නිර්මාණය නිෂ්පාදනය කළේ අපි ළඟ තිබුණු සියලුම දේ ඒ වෙනුවෙන් යට කරලයි. ඉතින් අවුරුදු හයක් අපි ආපස්සට ගියා වගෙයි දැවුණේ. කොහොම හරි අවුරුදු හයකට පස්සේ තමයි අපි අපේ ඊළඟ නිෂ්පාදන කටයුත්ත පටන් ගත්තේ. ඊට පස්සේ අපි මිල්ලෑව වලව්ව, ආයෙමත් ආදරෙන්, වස්සානේ ප්‍රේමය, කවුරුන්ද නුඹ මගේ, දේදුණු මායා, අහස් මාලගා, හඳයා වගේ නිෂ්පාදන කරන්න පටන්ගත්තා. මම හිතන්නේ අපි තමයි එකම ආයතනය එකම කාලයේදී ටෙලිනාට්‍ය තුනක් නිෂ්පාදනය වීම. ඒක අපේ වාසනාවක්.

Cine Art නිෂ්පාදන බොහෝමයක නිමන්ති රංගනයෙන් දායක වෙන්නේ නැහැ. ඇයි නිමන්ති නිර්මාණවලට දායක කරගන්නේ නැත්තේ...?
හඳයා ටෙලිනාට්‍යයේ එයා මුලින් හිටියා. හැබැයි ඒ චරිතයෙන් එයා අයින් වුණා. අහස් මාලිගා එකේ නිමන්ති රඟපාන්නේ නැහැ. අපේ නිෂ්පාදනයක් කියලා නිමන්ති හැම නිර්මාණයක්ම බදාගන්නේ නැහැ. එයා ඒවාට එන්න දඟලන්නෙත් නැහැ. හඳයා නාට්‍යයට එයා බැහැම කියද්දී සුදත් අයියා තමයි එයාව ගත්තේ. “වස්සානයේ ප්‍රේමය ටෙලිනාට්‍යයේ හිටියෙත් නැහැ. හැබැයි “මිල්ලෑව වලව්ව ටෙලිනාට්‍යයේ එයාට හොඳ චරිතයක් තිබුණා. එයාට ගැලපෙන චරිතයක් තිබුණොත් විතරයි එයා ඒවා බාරගන්නේ.

ප්‍රභාත් සහ නිමන්ති අද දරුවන් දෙන්නෙක්ගේ මව්පියෝ...?
ඔව්... අපිට දරුවන් දෙන්නයි. මවුල මනීෂ දැන් ටෙලිනාට්‍යවල රඟපානවා. “හඳයා ටෙලිනාට්‍යයේ උක්කුගේ චරිතය එයයි කරන්නේ. තව එයාගේ චිත්‍රපට දෙකක් තිරගත වීමට නියමිතයි. දුවට තාම අවුරුදු තුනයි.

ප්‍රභාත් නිමන්ති කොච්චර කාර්යබහුල වුණත් රට වටේ ඇවිදින්න යන්නත් ආසයි?
ඔව්... ඒක ප්ලෑන් කරන්නේ නිමන්තිම තමයි. කොහොම හරි මාසෙකට සැරයක් කොහේ හරි යන්න මාව කොටු කරගන්නේ එයා. කොහොම හරි මාසෙකට දවස් තුන හතරක් හදාගෙන අපි යනවා. එහෙම ගියා. අපි ඒ ඒ පැතිවල අලුත් ලොකේෂන් එහෙමත් සොයාගන්නවා. එහෙම කරපු කොටසක් තමයි අපි ළඟදී “හඳයා නාට්‍යය නුවරඑළියේ රූගත කිරීම් කළේ. අපි දවස් දහයක් විතර නුවරඑළියේ රූගත කිරීම් කළා. ඒක අපි ට්‍රිප් එකක් විදිහට තමයි ගියේ. එක ගමනෙන් වැඩ දෙකම සිද්ධ වුණා.

ප්‍රභාත් ආසාවෙන් හිටියේ මේ ක්ෂේත්‍රයටම යොමුවෙන්න ද...?
නැහැ... අපේ මාමාලා අයියලා බොහෝ දෙනෙක් නැව්වල සීමන් රැකියාව තමයි කළේ. ඒ නිසා මම පොඩි කාලේ ඉඳන්ම මගේ ආසාව වුණෙත් නැව්වල යන්නයි. ඒ ඉන්න අතරේ මම ටෙලිවිව් එකට සම්බන්ධ වුණා. කොහොම හරි කැමරා අධ්‍යක්ෂකවරයෙක් විදිහට සම්බන්ධ වුණාට පස්සේ මම පොඩි කාලේ මගේ හිතේ තිබුණ හීනයක් සැබෑ කරගත්තා. මම නැව් පහක හයක විතර විතර සීමන් කෙනෙක් විදිහට කටයුතු කළා. ඒ ගෙනාපු සල්ලි අපේ නිෂ්පාදන කටයුතුවලට ගොඩාක් ප්‍රයෝජනවත් වුණා... ඊට පස්සේ නැව් වැඩේ අත්හැරලා මේ වැඩේ කරගෙන යනවා.

මොනවද තියෙන බලාපොරොත්තු...?
මගෙයි නිමන්තිගෙයි ලොකුම බලාපොරොත්තුව චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්න එකයි.   

► Text – Jayamali / Pic – Internet