2018 මාර්තු 24 වන සෙනසුරාදා

සමහරු හිතුවේ මට නාන්නවෙයි කියලා

 2018 මාර්තු 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 252

පබසරා... මේ දවස්වල මොකද කරන්නේ...?
මේ දවස්වල අහස් කියලා අලුත් නාට්‍යයක රූගත කිරීම් පටන් ගත්තා. ඒ නාට්‍යයේ දුලාංජි කියලා ටිකක් වෙනස් විදිහේ චරිතයක් කරන්න අවස්ථාව ලැබුණා. හැමදාවත් කරන නපුරු චරිතයකට වඩා වෙනස් වුණු චරිතයක් තමයි ඒක. ඊට අමතරව “මෙඩි සිනා විකාශනය වෙනවා. ඒ වගේම උරුමයක අරගලය විකාශනය වෙනවා. දසපෙති කියලා තවත් අලුත් නාට්‍යයක රූගත කිරීම් කරනවා. ඒ වැඩත් එක්ක මේ දවස්වල චුට්ටක් විතර කාර්යබහුල වෙලා තියෙනවා.

වැඩි වශයෙන් රඟපෑවේ නපුරු චරිත. ඇත්තටම ඒ තරමටම පබසරා නපුරු ද...?
අනේ... මම ඇත්තටම නපුරු නැහැ. මට මුලින්ම “තව දුරයි ජීවිතේ ඒකේ චරිතයට කතා කරද්දී සමහරු හිතාගෙන හිටියේ මට ඒ චරිතය හරියට කරගන්න බැරිවෙයි කියලා. හැබැයි ඒ නාට්‍යයේ “ටිටී ගේ චරිතය තමයි මගේ ටෙලිනාට්‍ය ජීවිතේ මට හම්බවුණු වාසනාවන්තම චරිතය වුණේ. ඒ ටිටී තමයි මගේ ජීවිතෙන් ගොඩාක් දුර අරගෙන ගියා. මුලින්ම ටිටී පිටපත ලියවිලා තිබුණේ පොඩි කොටස් කිහිපයක් විතරයි. හැබැයි මම ඒ චරිතය හරියට කරපු නිසා ඒ ටිටී චරිතය ඉදිරියට ගෙන ගියා. හැබැයි ඉතින් මටත් හිතා ගන්න බැහැ. මටත් වැඩිපුර කතා කරන්නේ කටකාර, දඟකාර, නපුරු චරිතවලටයි. අහිසංක චරිතයකට කතා කරන්නේ නැතිම තරම්. හැබැයි මම හිතනවා “අහස් ඒක වෙනස් කරයි කියලා. අහස් මාව නපුරු චරිතවලින් මිදිලා මාව වෙනස් විදිහට දකින්න උදව් කරාවි.

පවුලේ වෙන කවුරුවත්ම කලාවට සම්බන්ධ නැහැ නේද...?
නැහැ... මගේ පවුලේ කවුරුත් කලාවට සම්බන්ධ නැහැ. මම මුලින්ම ටෙනිසන් කුරේ මහත්තයාගේ “මෑන් ද මෑන් වගේ වේදිකා නාට්‍යවල රඟපෑවා. ඒ අවස්ථාව මට ලැබුණෙත් “අවුරුදු කුමාරිය තරගයකට ගිහින්. එතනදී මානෙල් වානගුරු මහත්මිය තමයි මාව මේ වේදිකා නාට්‍යයට යෝජනා කළේ. ඒ හරහා මට වේදිකා නාට්‍යවල රඟපාන්න අවස්ථාව ලැබුණා. එහෙම වේදිකා නාට්‍යවල රඟපාද්දී fm නාලිකාවක නිවේදිකාවක් විදිහට වැඩ කරන්න මට අවස්ථාව ලැබුණා. මම ප්‍රවෘත්ති නිවේදිකාවක් විදිහටත් කාලයක් වැඩ කළා. ඔය අතරදී “අරුන්දතී කියන ටෙලිනාට්‍යයේ රඟපාන්න මට අවස්ථාව ලැබුණා. ඒකෙන් තමයි වේදිකාවේ හිටපු මම පුංචි තිරයට ප්‍රධාන චරිතයක් විදිහට ගොඩවැදුණේ. ඊට කලින් ටෙලිනාට්‍යය කිහිපයකම පොඩි චරිත රඟපාලා තිබුණා.

වේදිකාවෙන් ගත්තේ මාර හයියක්

වේදිකා නාට්‍යවලට දැන් දායක වෙන්නේ නැද්ද...?
මෑතක වෙනතුරුම මම වේදිකා නාට්‍යය කළා. දැන් අලුතින් වේදිකා නාට්‍යයකටත් සම්බන්ධ වෙලා ඉන්නවා. ටෙලිනාට්‍යවලට වඩා වේදිකා නාට්‍ය ගොඩක්ම වෙනස්. වේදිකා නාට්‍යවලදී දෙබස් වරද්දන්නේ නැතිව සජීවීව කියන්න ඕනේ. වේදිකාවේදී යන තැන්, නවතින තැන් මේ හැමදෙයක් පුරුදු පුහුණු වෙන්න ඕනේ. ඒ නිසා මුලින්ම වේදිකාවට ගොඩවැදුණුවම ඒ හැමදෙයක්ම වගේ ඉගෙන ගත්තා. මම මුලින්ම වේදිකාවෙන් ආපු නිසා ටෙලිනාට්‍යවලට බය නැතුව මම රඟපාන්න පුළුවන් වුණා... වේදිකාව හරියට මහ සාගරයක් වගේ. අදටත් මම වේදිකාවට ආසයි. අදටත් මට වේදිකා නාට්‍යයක් කරන්න ලැබුණොත් මම ඒක ආසාවෙන් බාරගන්නවා.

කාලයක් නිවේදිකාවක් වෙලා හිටපු පබසරා වැඩියෙන්ම කැමති නිවේදිකාවටද...? රංගන ශිල්පිනියට ද...?
මම වැඩිපුරම ආස කළේත් නිවේදිකාවටයි. මම අදටත් ආස කරන්නේ නිවේදිකාව තමයි. හැබැයි තියෙන කාර්යබහුලත්වයත් එක්ක ප්‍රවෘත්ති නිවේදිකාවක් විදිහට වැඩ කරන්න අමාරුයි. අනික අපි කරන රාජකාරිය හරියට කරන්න ඕනේ කියන විශ්වාසය මම ළඟ තියෙනවා. ඒ නිසා හැමදෙයක්ම බදාගන්න මම කැමැති නැහැ. FM නාලිකාවල කොටුවෙලා හිටපු නිසා බොහෝ දෙනෙක් මට කියපු දෙයක් තමයි රඟපාන්නත් අවස්ථාව තියෙන නිසා රඟපාන්න කියලා. ඒ නිසා ලැබුණු චරිතයත් එක්ක නිවේදිකාව මගෙන් ටිකක් ඈත් වුණා... ඒත්... තාමත් මම ඒ නිවේදිකාවට හරි ආසයි.

පුංචි කාලේ හීන දැක්කේ කවුරු වෙන්නද...?
පුංචි කාලේ ඉඳන්ම මම අසාවෙන් හිටියේ නිළියන් වෙන්නම තමයි. ඉස්සර මම පුංචි කාලේ කට්ටිය අහද්දී මම කියලා තිබ්බේ “නිළියක් වෙන්න ඕනේ කියලයි. මම පොඩි කාලේ ඉඳන්ම සින්දු කියන්න ආසයි. නටන්න ඇයයි. මම ඉගෙනගත්තේ නුගේගොඩ අනුලා විද්‍යාලයේ. හැබැයි ඉස්කෝලේදී මම කිසිම බාහිර කටයුතුවලට සම්බන්ධ වුණේම නැහැ. අඩුම ගානේ ක්‍රීඩාවක්වත් කළේ නැහැ. අදටත් මගේ ඉස්කෝලේ යාළුවෝ “කොහොමද මෙතනට ආවේ කියලා අහනවා. ඉස්කෝලේදී මම මුළුගැන්වුණු චරිතයක්. කොහොම හරි ඒ මුළුගැන්වුණු චරිතය අද රඟපානවා. මටම හිතාගන්න බැහැ.

මේ වෙනකොට ඔයා පෙම්වතියක්ද...?
මම... පෙම්වතියක්... ඔහු ගැන වැඩි විස්තර පස්සේ කියමු. ඒ හරි කෙනා සොයාගන්නකන් ගොඩාක් තැන්වලදී ප්‍රේමයෙන් දුක් විඳලා තියෙනවා. මම ගොඩාක් වෙලාවට හිතන්නේ අපි ආදරේ කරන කෙනාට වඩා අපිට ආදරේ කරන කෙනා තමයි හරි කියලා. අපිට ආදරේ කරන කෙනා තමයි අපි ගැන නිතරම හොයලා බලන්නේ. ඉතින් මම විශ්වාස කරනවා ඒ වගේ ආදරයක් මට ලැබිලා තියෙන්නේ කියලා.

මොනවද තියෙන බලාපොරොත්තු...?
තියෙන ලොකුම බලාපොරොත්තුව තමයි සිනමාවට සම්බන්ධ වීම. තවමත් මට ඒ අවස්ථාව ලැබුණේ නෑ. නමුත් ආසාවෙන් ඉන්නවා ඒ වගේ අපූරු අවස්ථාවක් මට ලැබෙනකම්.  

 

► Text -Jayamali / Pic – Internet

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00