බෝතලේ නිසා හැදුණු අයට වඩා ඒ නිසා නැත්තටම නැතිවුණු අය වැඩියි කියලා තමයි කවුරුත් කියන්නෙ.
මේ කාරණය කලා ලෝකයට විතරක් නෙවෙයි හැම ක්ෂේත්‍රයකටම අදාළ වෙනවා.
අපි කලා ක්ෂේත්‍රය ගැන විතරක් කතා කළොත් ඔසුපැන් පානය නොකරන කෙනෙක් හොයාගන්න එක කොච්චර අමාරුද? කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ. ඔන්න මේ වගේ සිද්ධියක් ළඟදී දර්ශන තලයකින් ආරංචි වුණා.
වැඩේ පටන් ගන්නකොටම දෙකක් දාගන්න ශිල්පියෙකුට අධ්‍යක්ෂකවරයා කාරුණික උපදෙසක් දෙනවලු.
ඔයා ඔය දෙකක් දාගන්න කතන්දරේ නැවැත්තුවොත් ඔයාගෙ දක්ෂකමේ හැටියට අර නළුවා (ප්‍රවීණ නළුවෙක්ගෙ නමක්) වගේ තැනකට එන්න පුළුවන්...
අයියෝ දෙකක් නොදා ඒ වගේ නළුවෙක් වෙන්නෙ මොකටද? දෙකක් දාගත්තම මම ෂාරුක් ඛාන් වගේ කියලනෙ මට දැනෙන්නෙ...
ඔය අපි මේ තීරුවෙන් කතා කරන සියල්ල දත් සංජේ දත්ලා වගේ කට්ටිය නිසා කාලෙන් කාලෙට අපට අපූරු කතන්දර ටිකක් අහන්න ලැබෙනවා.
ඔන්න ඒ වගේ කෙනෙක් දර්ශන තලයක මාර බයිලා පාරක් ගහනවලු පත්තරවල දාන මරණ දැන්වීම් ගැන.
මගේ මස්සිනා කෙනෙක් ළඟදී අසනීපෙන් ඉඳලා නැතිවුණා. මිනිහා කාලයක් හමුදාවේ වැඩ කළා. හොඳ ක්‍රීඩකයෙක්. උස අඩි හයකට කිට්ටුයි. ඔන්න පත්තරේ මෙයාගෙ මරණ දැන්වීම දාන්න ඕන නිසා, එක්තරා ආයතනයකට කතා කරලා ඇහුවා කොහොමද මේ වගේ එකකට අයකරන්නෙ කියලා. ඒ කෙල්ල කියපි උසේ හැටියට තමයි කියලා. මම ඒක තවත් පැහැදිලිව අහගත්තා. අඟලකට රුපියල් 550ක්ලු. මම කැල්කියුලේටරයක් අරන් අඩි 6 අඟල්වලට හරවලා රුපියල් 550 ගාණෙ වැඩිකරලා බැලුවා.
බුදු අම්මෝ! ඔච්චර ගෙවලා දැන්වීම් දාන්නෙ මොකටද කියලා මම වැඩේ අතහැරියා. මගේ උස අඩි 4 අඟල් 8 ක් නිසා ලොකු අවුලක් වෙන එකක් නෑ.
පහුගිය දවසක අලුත් චිත්‍රපටයක ෂූටිං තිබුණෙ කොළඹට ආසන්න නගරයක කනත්තක් ඇතුළෙ. පාන්දරම වැඩ පටන්ගන්න තිබුණ නිසා කට්ටියම එළිය වැටෙන්නත් කලින් කනත්තට ආවලු. නළු නිළියො ටික සුදු ඇඳුමින් සැරසිලා, මේක් අප් ටිකත් දාගෙන ඔන්න වැඩේ පටන් ගත්තලු.
ඔය අතරතුර එක් නළුවෙක් පොඩි අසීරුතාවයකින් ඉඳලා තියෙන්නෙ. කොහොමහරි කැමරා කෝණයක් වෙනස් කරන්න කට්ටිය ආම්පන්න ටික සූදානම් කරන අතරතුර මේ නළුවා කනත්ත වටේම එහෙ මෙහෙ යනවලු කලබලෙන්. අන්තිමේදී එයාට කනත්තෙ මුරකරු මුණගැහුණලු.
අනේ ලොකු උන්නැහෙ මට වොෂ් රූම් එක තියෙන තැන පොඩ්ඩක් පෙන්නන්නකො.
පිස්සුද මහත්තයො කනත්තෙ කොහෙද වොෂ් රූම්... අනික මෙතන කාටද වොෂ් රූම් අවශ්‍ය වෙන්නෙ... මුරකරු කිව්වලු.
පහුගියදා අප අතරින් සමුගත් එඩ්නා සුගතපාල ජ්‍යෙෂ්ඨ කලා ශිල්පිනිය අංශ ගණනාවකම ඇගේ දස්කම් දක්වලා තියෙනවා.
ජ්‍යෙතිෂ්‍ය පිළිබඳව ඇයට තිබුණු සුවිශේෂී දැනුම නිසා කා අතරත් ඇය ජනප්‍රිය චරිතයක් වුණා. සුහදශීලී කලාකාරියක් ලෙස ප්‍රකට එඩ්නාගේ මරණය ගැන කවුරුත් කම්පා වුණා. ඇගේ මරණය ගැන ආරංචිය කනවැකුණු ගමන්ම කවුරු කවුරුත් ඒ පණිවිඩය දන්නා කියන අයට කිව්වා.
එක්තරා කලා ශිල්පියෙක් මේ පණිවිඩේ ප්‍රසිද්ධ පුවත්පත් කලාවේදියෙකුට දුරකතනයෙන් කතා කරලා කිව්වලු. පණිවිඩේ අහපු ගමන්ම ඒ මාධ්‍යවේදියා එකපාරටම කලබල වුණාලු.
අයියෝ මාර වෙලාවකනෙ එඩ්නක්කත් නැතිවුණේ... ඔහු ගත් කටටම කිව්වලු.
ඇයි මොකක්ද ප්‍රශ්නෙ... කලා ශිල්පියා ඇහුවලු.
නෑ අයියෙ මාර වැඩේ කියන්නෙ ඊයෙ ඉඳලා මගේ ලැප්ටොප් එකේ E අකුර වදින්නෙ නැහැනෙ. තව අකුරු දෙක තුනකුත් වැඩ කරන්නෙ නෑ. මම ඉන්නෙ කොළඹින් පිට, ඉතින් මම කොහොමද කතාවක් ලියලා පත්තරේට එවන්නෙ
එක්තරා මැදිවයසේ කලා ශිල්පියෙක් දැන් බීම නවත්වලා අවුරැදු 20කටත් වැඩියිලු. ඒත් ඔහු යන බොහෝ උත්සවවලට එයාගෙ බිරිඳත් අනිවාර්යයෙන්ම එනවලු.
දවසක් ඔය වගේ උත්සවයකදී ඒ කලා ශිල්පියාගෙ මිත්‍රයෙක් අර බිරිඳගෙන් ඇහුවලු මොකද මහත්තයා යන උත්සවවලට ඔයා ඇවිත්, කෑම බීම ගන්න තැන්වල මහත්තයා ගැන සුපරීක්ෂාකාරීව ඉන්නෙ කියලා.
එයා බොන්නෙත් නැහැනෙ. ඉතින් මොකටද බයවෙන්නෙ?
අපෝ බොන්නෙ නැති එක වෙන කතන්දරයක්. ඒත් දොස්තරලා කියලා තියෙන්නෙ මෙයාට පැණිරස කෑම පෙන්නන්නවත් එපා කියලා. ගෙදරදීනම් මම ෆුල් ගාඩ් එක දාගෙන ඉන්නෙ. ඒත් එළියට පැන්න ගමන් මෙයා පැණිරස කෑම දැක්කොත් පැන්නා කටේ දාගත්තා. මම ඒකයි එයාගෙ පස්සෙන්ම එන්නෙ. ලෙඩ වුණොත් ඉතින් අපිටමනෙ කරදරේ, කියලා ඇය පැහැදිලි කළාලු.
► Text - Mithra