2018 මාර්තු 31 වන සෙනසුරාදා

ඒ සුවඳ අයිති අම්මට විතරයි

 2018 මාර්තු 31 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 99

කර්ම භූමි -04

එදා මුළු රෑම නින්දක් මගේ ඇස් අග්ගිස්සකටවත් ආවේ නෑ. මගේ කාමරේ වීදුරු ජනේලයෙන් මට හඳ පෙනුණා. රත්තරන් පළඟනාවක් වගේ හඳ එදා අහසට ඇවිත් තිබුණා. අහස එදා තරු යායක්. අම්මා ඉද්දී මම අම්මත් එක්ක රෑ අහසේ තරු ගණන් කරනවා. අම්මා මට ලොකු රිදී පාට පිඟානට දාලා අල පරිප්පු එක්ක චපාති රොටී කැව්වේ ඒ අහස දිහා බලාගෙන ලස්සන ලස්සන කතන්දර කියා දෙන ගමන්. මම හිතන්නේ පාන්දර යාමේ මගේ ඇස් පියවෙද්දීම අම්මා කොහේදෝ ඉඳන් මගේ ළඟට ආවා.

මම කොහේ හිටියත් මගේ පුතා දිහා බලාගෙන ඉන්නේ.
අම්මා දන්නේ නැද්ද එහෙනම් තාත්තා හෙට කුඩම්මෙක් ගේනවලු 
අම්මගේ ඇස්වල කඳුළු පිරිලා තිබුණත් අම්මා මොකුත්ම කීවේ නෑ. 
මොනදේ වුණත් අඬන්න එපා... පුතා හෙට සන්තෝසෙන් ඉන්න.. තාත්තාව තරහා ගස්සන්න එපා.. තරහා ගියාම එයා හුඟක් නපුරුයි.
මම අම්මගේ අත තද කරලා අල්ලගන්න හදද්දීම එයා හුළඟක් වගේ පාවෙලා ගියා.

පහුවදාත් පාන්දරම තාත්තා ස්නානය කරන්න ගඟට ගිහින් ඇවිත් එයාගේ වන්දනාමාන කටයුතු කළා. ඒත් වෙනදා වගේ වෙළෙඳසැලට ගියේ නෑ.
අමර් කම්මැලියා කෝ තාම නිදිද? මම කෝපි හැදුවා. ඒක බීලා නාලා ඇවිත් ඔයාට තියෙන ඉස්තරම්ම ඇඳුමෙන් ලෑස්ති වෙන්න. 
මගේ ගාව ඉස්තරම්ම ඇඳුම් නෑ. 

ඇයි අර අවුරුද්දට අඳින කුර්තා කමිසයයි ශෝල් එකයි..
ඒක දැන් හොඳටම පරණයි. කලිසමේ මැහුම් ගැලවිලා ශෝල් එකේ නූල් ඇදිලා. 
උඹ මනමාලයෙක් වෙන්න යනවා නෙවෙයිනේ.. ඒක හොඳටම ඇති. දන්න මිනිස්සු දන්නවා ඒක පරණ වුණත් මිල අධික ඉස්තරම්ම ඇඳුමක් කියලා. 
මගේ ඇඳුම දැක්කම තාත්තා ලෝභයෙක් කියලා නොදන්න මිනිස්සුත් තාත්තගේ ලෝභකම දැනගනියි. 
හ්ම්.. හ්ම්.. කට කට.. කියපු දේ කරනවා... 

අම්මා හීනෙන් ඇවිත් කියපු දේ මට මතක් වුණා. මම ඇඳෙන් නැගිට්ටේ ජීවත්වෙන අමර් කෙනෙක් විදිහට නෙවෙයි. දෙවියනේ දරුවන්ගේ ජීවිතවලින් තාත්තලා උදුරා ගත්තට කමක් නෑ. අම්මලානම් උදුරා ගන්න එපා... මම නාගන්න ගඟට යන ගමන් දෙවියන්ට කීවෙත් ඒ ටික.

ෂික් පුස් ගඳත් එක්ක.. මම මට කියලා තිබුණ හොඳම ඇඳුම ඇන්දේ මහ අප්පිරියාවකින්.. කලිසමේ මැහුම් ගැලවුණේ හිරට හිරේ අඳින්න ගිහින්. අවුරුද්දට, පූජාවට, මඟුල් ගෙදරට කෝකට වුණත් මට තිබුණේ එච්චරම තමයි. තාත්තා හංගා හංගා එකතු කරන සල්ලි කොළවලත් එන්නේ මේ පුස් ගඳ වෙන්න ඇති... අම්මා ලෙඩ ගාණේ ඉද්දී හරියට බෙහෙතක් කරන්න වියදම් කරානම් අද මට කුඩම්මෙක් වෙනුවෙන් මේ තාත්තගේ ඉස්තරම්ම ඇඳුම අඳින්න වෙන්නෑනේ.
තාත්තට හැමෝම වගේ කතා කළේ ලාලා ජී කියලා. ළඟම යාළුවෝ විතරයි එයාට සමර්කාන්ත් කීවේ. කන්න බොන්න වියදම් නොකරපු තාත්තට ළඟම යාළුවෝ කියලා හිටියෙත් තාත්තා වගේම තව කීපදෙනෙක් විතරයි. ළඟ ගෙදරක ඉන්න කපිල් උදේම ලඩ්ඩු බන්දේසියක් සුදු කොලේකින් වහගෙන අරන් ආවා.

එකක්වත් හොරෙන් එහෙම කනවා නෙවෙයි.. ගාණට ගෙනාවේ.. තාත්තා කපිල්ට මුදල් දෙන ගමන් මට එහෙම කියලා ලඩ්ඩු  ටික හැංගුවේ රත්තරන් බෝල ටිකක් හංගනවා වගේ පරිස්සමින්.
උදේ කෑමට ඉට්ලි ඇති. කට්ටිය එන්න ඉස්සර කන්න... මිනිස්සු ඉද්දී එයාලට නොදී කන්නේ කොහොමද? මම ආරාධනා කළේ දවල් කෑමට. ඒත් දන්නේ නැද්ද හිතවත්කම වැඩිකමට සමහරු ලාලා ජී කියාගෙන උදේම එන්න ඉඩ තියෙනවා. එහෙම එන අයට සරුවත් වීදුරුවක් දුන්නම හොඳටම ඇති. තව ටිකකින් කෝකියෝ එනවා උයන්න. ඇහැ ගහගෙන ඉන්න ඕන. ඉතුරු වෙන හාල්, එළවළු, ලූනු, මිරිස්, බිත්තර, මස්, අල, පරිප්පු උන් හොරකම් කරන්න පුළුවන්. කෑම ඉතුරු වුණොත් කාටවත් පාර්සල් බඳින්න එපා. ඔක්කොම දාන්න ශීතකරණයට. යන වියදමට හරියන්න දවස් ගාණක් උයන්නේ නැතුව ඉන්න පුළුවන්.

තාත්තා ඔහේ කියවද්දී මම ඉට්ලි කෑවා සාම්බාරුත් එක්ක. තාත්තා කියපු දේවල්වලින් මම හිතට ගත්තේ එක දෙයයි. ඉතුරු කෑම ටික ශීතකරණයේ දාන්න ඕන. දවස් කීපයක් රත් කර කර හරි රහට කන්න පුළුවන්.
මේ අමර්.. ඒ පාර තාත්තා මගේ ළඟටම ආවා. 

කෝ අර අම්මා ඉද්දී පාවිච්චි කරපු විලවුන් කුප්පිය?
මම කන එක නතර කරලා තාත්තා දිහා බැලුවා.
තාත්තට මොකටද ඒක...?
කෝ ඒක මට දෙන්න.. මොකටද කියන එක ඔයාට වැඩක් නෑ. 
බෑ 

බෑ..? ඒක මගේ සල්ලිවලින් ගත්ත එකක්. 
බොරු කියන්න එපා.. අම්මා ඒක සීයා දුන්න සල්ලිවලින් ගත්ත එකක්. 
තාත්තා මගේ දිහා ඒ පාර බැලුවේ නුරුස්නා බැල්මක්. 
නෑ ඒක මගේ සල්ලි..

තාත්තා වාක්‍ය සම්පූර්ණ කරන්නත් ඉස්සර මම පිඟානත් තල්ලු කරගෙන නැගිට්ටා. අම්මා හීනෙන් කියපු දේවල් ඒ වෙද්දී මගේ මතකයේ තිබුණේ නෑ.
ඔයාගේ අලුත් මනමාලි එන දවසේ ඔයාට සුවඳ ගහන්න මම අම්මගේ විලවුන් බෝතලේ දෙන්නේ නෑ.. ඒ අම්මගේ සුවඳ.. ඒ සුවඳ අයිති අම්මට විතරයි.. ඒ සුවඳ වෙන කා ළඟවත් එනවට මම කැමති නෑ. මට මගේ අම්මව මතක් වෙන්න තියෙන්නේ එච්චරයි.. මම ඉඳුල් අත පිටින්ම ගිහින් මගේ කාමරේ දොර දඩස් ගාලා වහගත්තා. ඊට පස්සේ මගේ ඇඳුම් අස්සේ හංගලා තිබුණ අම්මට කියලා තිබුණු එකම විලවුන් බෝතලේ අරන් ඒක මම මගේ පපුවට තුරුල් කරගත්තා. 
සුවඳ ගහ ගහ කුඩම්මා ළඟට වෙලා ඉන්න වෙන්න ඇති අම්මගේ විලවුන් බෝතලේ ඉල්ලුවේ... මම මට විතරක් ඇහෙන්න එහෙම කීවේ අල්මාරියේ දොර ඇරගෙන ඒ අස්සේ හැංගෙන ගමන්.
අමර් දොර ඇරපන් මාව උදේ පාන්දර යකා ගස්සන්නේ නැතුව..

තාත්තා කීප සැරයක්ම දොරට ගැහුවත් මම දොර ඇරියේ නෑ. හදන්ට සල්ලි යන නිසා තාත්තා කීයටවත් දොර නොකඩන බව මම දන්නවා. 
ලාලා ජී... ආ.. අලුත් මනමාලයා.. එහෙම කියාගෙන කට්ටියක් එන සද්දේ ඇහුනෙ තාත්තා අර විදිහට කෑ ගසන සද්දය අතරෙමයි. 
කවදාවත් නැතුව ඒ මොහොතේ මම දෙවියන්ට ස්තූති කළා.

 

ඉන්දියානු ලේඛක මුංශි ප්‍රේමචන්ද්ගේ 

► අනුවර්තනය : චන්දන වරාවිටගේ &  සංජු

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00