2018 මාර්තු 31 වන සෙනසුරාදා

Website හොරකමයි ජරමරයි? ( පේෂල- මේනකා- ගයාන්- ඉරාජ් කට අරියි)

 2018 මාර්තු 31 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 213

පත්තරවල Interview හොරකම් කරලා තමන්ගේ වගේ දා ගන්නවා

පේෂල මනෝජ්

 

ඔය හුඟක් ගොසිප් සයිට්වල ගොඩාක් වෙලාවකට දාන්නෙම බොරු. ඔය සයිට්වල බොරු දාලා ඒ හැමදේම කරලා ඒ අය කරන්නේ සල්ලි හම්බකරගන්න එකම තමයි. නැතිව රටට ආදරේටවත්, මිනිස්සුන්ට ආදරේටවත්, එහෙම නැතිව ඔය රටේ කලාකරුවන් කලාකාරිනියන්ට ආදරේටවත් නෙවේ. දැන් ඔය ජාතිවාදී ප්‍රශ්නයක් ඇතිවුණා කියලා අපි හිතමුකෝ. ඔන්න සිංහල, මුස්ලිම් ගහගන්නවා, මෙහෙම කරනවා අරම කරනවා කියලා යටින් පේජ් එකට like එකක් දාන්න කියලා යටින් දානවා.
ඕනෑම කලාකරුවෙක්ගේ ජීවිතේ හොඳ තියෙන්න පුළුවන්. නරක දේවල් තියෙන්න පුළුවන්. අපි හැමෝම මිනිස්සුනේ. අපි එයත්, කලාවත් විතරක් ගත්තම ඇති. කලාව බලලා ඒ නිර්මාණය හොඳ නම් ඒ නිර්මාණය විඳින එක තමයි හොඳ. ඒ ඇති. හැබැයි ඒ කලාකරුවව විඳින්න යන්න ඕනේ නැහැ. ඒ මනුස්සයා විඳින්න ඕනේ නැහැ.

අනික ඔය පුවත්පතකට අපි දෙන ඉන්ටවීව් එකක් දැකලා ඒ ඉන්ටවීව් එක හොඳනම්, ඒක තමන්ගේ වගේ ගොසිප් සයිට්වල පළකරන එක කොච්චර නරකද? ඒ ඉන්ටවීව් එකේ තිබිච්චි පොඩි දෙයක් ලොකුවට දාලා views වැඩිකරගන්න හදන එක කොච්චර නරකද? ඇයි අනුන්ගෙන් හම්බකරගන්න උත්සාහ කරන්නේ?

සල්මන් ඛාන් පදවපු වාහනයෙන් හැප්පිලා මනුස්සයෙක් මැරෙද්දී ඒ රටේ ගොසිප් සයිට්වලින් අඩෝ සල්මන්, අඩෝ උඹ කවුද බල්ලෝ තෝ මිනිහෙක්ද? කියලා කවදාවත් දැම්මේ නැහැ. ඒ රට ඒ අවශ්‍යමය නීතිමය පියවර ගත්තා. එච්චරයි. සංජය දත්ටත් ඒ අවශ්‍ය නීතිමය මාර්ගවලින් කටයුතු කළා. එච්චරයි. ඒ රටේ මිනිස්සු විඳින්නේ ඒ කලාකරුවන්ගේ නිර්මාණ විතරයි.

කලාකරුවන්ගේ අඩුපාඩු මොනවා මොනවා හරි දේවල් තියෙනවා. නැතිව නෙමේ. නමුත් පෞද්ගලික ජීවිතේ ඒ මිනිස්සුන්ගේ ප්‍රශ්න කවුරුවත් දන්නේ නැහැනේ. මිනිස්සු ඉස්සරහා හිනාවෙලා සතුටින් හිටියට කලාකරුවන්ටත් මොනතරම්නම් ප්‍රශ්න ජීවිතේ තියෙනවද?
අපි මේ හැමදේම කරන්නේ දවස අවසානයේදී කාලා බීලා ජීවත්වෙලා ඉන්නනේ. සාධාරණව දෙයක් කරගෙන හිටියනම් හරි. ඒකට කාටවත් මඩ ගහලා බඩ පුරෝගෙනවත්, කාගෙවත් චරිතය විනාශ කරලා ඒ සල්ලිවලින් ගෙදර අයටවත් දරුවන්ටවත් කන්න දෙන්න එපා. 

කලාකරුවාගේ කලාව බලනවා මිසක් ඔවුන්ගේ පෞද්ගලික ජීවිත හාරා අවුස්සන්න එපා. කලාකරුවන්ටත් කලාකාරිනියන්ටත් පෞද්ගලිකත්වයක් තියෙනවා. ඒ පෞද්ගලිකත්වයට ගොසිප් හරහා මඩ ගහන්න එපා.

 

කාටහරි මඩක් ගහලා තමන්ගෙ බඩ කට පුරවාගන්නවා

මේනකා මධුවන්ති

සමාජ ජාලා වෙබ් අඩවි මාධ්‍ය කොටසට අයිති වෙන දෙයක්. ඒ නිසා මාධ්‍ය ගැන කතා කරද්දී ඔය දේ හැමෝටම බලපානවා. වෙබ් සයිට් අප රටේ විතරක් නෙමේ හැම රටකම තිබෙනවා. කලාකරුවා වගේම රටේ අඳුනන කෙනෙක්ව ඇති කරන්නෙත් නැති කරන්නෙත් මාධ්‍යයි.

හැබැයි මේ ගොසිප් කියන සයිට්වලින් නම් හොඳ දෙයක් පළකරනවා මමනම් දැකලා නැහැ. ඒ අය වැඩි දෙනා කරන්නේ කාටහරි මඩක් ගහලා තමන්ගේ බඩකට පුරෝගන්න එක විතරයි. ඔය ගොසිප්වල යන දේවල් ඇත්ත කියලා පිළිගන්න අය මේ රටේ ඕන තරම් ඉන්නවා. ඒ අය පෙන්නන දේ ඇත්ත කියලා පිළිගන්නවා. ඇත්තටම ඒ අයට මේකේ ඇත්ත, යථාර්ථය මොකද්ද කියලා දැනගන්න ඕනේ වෙන්නේ නැහැ. දකින දේ ඇත්ත කියලා එයාලා විශ්වාස කරන්නේ. 

ගොසිප් වෙබ් සයිට් කරන බොහෝ දෙනෙක් කලාකරුවන්ගේ බොරු තොරතුරු ගොසිප් හරහා දාලා තමන්ගේ රේටින් වැඩිකරගන්න තමයි උත්සාහ කරන්නේ. ඇත්තටම ඒ වගේ ගොසිප්වලට මම තදින්ම විරුද්ධයි. ඒකට අපේ අය අහුවෙන්න එපා.
අනික ඒ ගොසිප් බලලා කමෙන්ට් දාන අයටත් මම කියන්නේ මුලින්ම ඒ කමෙන්ට් දාන අයගේ ඇත්ත ජීවිතය ගැන හිතන්න. මුලින්ම තමන් තමන් ගැන ටිකක් හිතන්න. කලාකරැවන්ට ඇඟිල්ල දික් කරන බොහෝ දෙනෙක්ගේ ජීවිතේ ඇත්තටම පව්.... ඒ අය හිතන්නේ ඒ අය සර්ව සම්පූර්ණයි කියලා. ඒ නිසා කලාකරුවන්ගේ කලාකාරිනියන්ගේ ජීවිතවලට මඩ ගහන්න හදන ඔය ගොසිප්වල අය මුලින්ම තමන්ගේ ජීවිතේ ගැන හිතන්න. තමන්ගේ ජීවිතේ සතුට තියෙන කෙනෙක් කවදාවත් අනුන්ගේ ඕපදූප හොයන්නේ නැහැ. ඇත්තටම ඔය ගොසිප් ඇති කරන ගොසිප් හොයන බහුතරයක් මානසික රෝගීන්. මට තියෙන ප්‍රශ්නේ ඔය ගොසිප්වල කියන විදිහට මේ ලෝකේ වැරදි කරන්නේ නළු නිළියන් විතරමද?

 

හුඟක් වෙබ් සයිට්කාරයෝ කුණු අවුස්සන කපුටො වගේ

ගයාන් වික්‍රමතිලක

ලංකාවේ විතරක් නොවේ. ලෝකේ බොහෝ රටවල මිනිස්සු ගොසිප් හොයන්න හරි ආසයි. ඒක හරියට බත් කනකොට කරවල කෑල්ලක් බැදලා කනවා වගේ තමයි. නමුත් අපේ රටේ මිනිස්සු බොහෝ දෙනෙක් ජීවත් වෙන්නේ අනුන්ගේ දේවල් හොයලා තමයි. මේ ගෙදර ඉඳන් එහා පැත්තේ ගෙදර මොනවද වෙන්නේ කියලා තමයි බලන්නේ. රටේ ඔය දේ තහනම් කළොත් නිදහස් මාධ්‍යයට අත තිබ්බා කියලා කියනවනේ.

හැබැයි මමනම් කියන්නේ ඔය සමහර ගොසිප් සයිට් හරියට කුණු අවුස්සගෙන කන කපුටෝ ජාතියක් වගෙයි. ඒ තරමටම මිනිස්සුන්ගේ පෞද්ගලික දේවල් හොයනවා. අනික තමයි සමහර පුවත්පත්වලින් අපිට කතා කරලා ගත්තු, හරි විදිහට පළවුණු සාකච්ඡා ඔය ගොසිප් සයිට් අරගෙන එයාලා ගත්තා වගේ පළකරනවා. සමහරවිට අපි පත්තරේට දුන්නු ආටිකල්වලින් කියවෙන්නේ වෙනම දෙයක්. නමුත් ඒවා විකෘති කරලා තමයි ඔය ඇතැම් ගොසිප් සයිට්වල පළකරන්නේ. ඒ අයට ඕන කරන්නේ විකෘති කරපු නිවුස් එකක් දාලා හරි ඒ අයගේ views ප්‍රමාණය වැඩි කරගන්නයි.

ඒ අයගේ ගොසිප්වලට කමෙන්ට් දාන්නෙත් අවුරුදු දහයේ, එකොළහේ ඉඳන් අවුරුදු පනහ හැට දක්වා ඉන්න ටිකක් වෙනස් චරිතවල අයයි. ඒ කමෙන්ට්වලට පාවිච්චි කරන වචන දිහා බැලුවත් ඉතාම සවුත්තුයි. මේ කාගේහරි අම්මා කෙනෙක්ගේ, තාත්තා කෙනෙක්ගේ දරුවෙක්නේ කියලා කවදාවත් හිතන්නේ නැහැ. ඒ කමෙන්ට් එක ගහන මනුස්සයා හොහොතකට හිතන්න ඕනේ මේ පොඩි වර්ග ප්‍රමාණයක් තියෙන ශ්‍රී ලංකාව කියන රට විතරයි අපි හැමෝටම තියෙන්නේ. ඒ කමෙන්ට් එක ගහන මනුස්සයාටත්, කලාකරුවෙක් විදිහට ජීවත්වෙන අපිටත්, මේ ගොසිප් සයිට් කරන මිනිස්සුන්ටත් ලෝකේ ඉතාම කුඩා භූමි ප්‍රමාණයක් විතරයි තියෙන්නේ. අපිට ඉන්නේ අපි පමණයි. කටුනායකින් හරි මත්තලින් හරි වෙන රටකට ගියාට පස්සේ අපිට බණින්න කෙනෙකුත් නැහැ. ආදරය කරන්න කෙනෙකුත් නැහැ. ඒ නිසා රටට ආදරය කරන කලාකරුවෙක් විදිහට මට තියෙන්නේ එක දෙයයි. ඒ තමයි කලාකරුවන්ට මේ විදිහට ගොසිප් සයිට් හරහා මඩ ගහන්න එපා. එහෙම මඩ ගහන්න කලින්, මඩ කියවන්න කලින් වගේම ඒ මඩ විශ්වාස කරන්න කලින් තව පාරක් හිතන්න. දවසක ඒ මඩ පහර ඔබටත් වදින්න පුළුවන්. එතකොට සමහරවිට හිතට දැනෙන වේදනාව දරා ගන්නත් බැරි වේවි.

 

සමහර සයිට් likes හිඟාකනවා

ඉරාජ් වීරරත්න

සමහර ගොසිප් සයිට්වලින්නම් ඇත්ත ප්‍රකාශ කරනවා. ඒ අතරින් සමහර ගොසිප් ඒ අයගේ views වැඩි කරගන්න එක එක දේවල් දාලා කලාකරුවන්ට මඩ ගහනවා. කලාකරුවන්ව විකුණගෙන කන සයිට් තමයි ඒ. සමහර සයිට් likes හිඟාකනවා. ලංකාවේ ඉන්න කලාකරුවන්ට කලාකාරිනියන්ට මඩ ගහන එක තමයි සමහර ගොසිප් සයිට්වල තියෙන ලොකුම රජකාරිය වෙන්නේ. 

ගොසිප් සයිට්වලින් ලංකාවේ ඉන්න කලාකරුවන්ට මඩ ගහනවා. හැබැයි ඔය ගොසිප් සයිට්වලින් ඒ අයවත් අවුස්සලා ඒ අයට අනිත් පැත්තට ප්‍රතිප්‍රහාර ගහලා මුදල් හම්බ කළේ මම හිතන්නේ මම විතරයි. මම ගොසිප් සයිට්වලින් මඩ ගහන හැම මඩ ප්‍රහාරවලටම ඒ අය නොදැනුවත්වම මට මුදල් හම්බකරලා දීලා තියෙනවා.

මගේ මියුසික් වීඩියෝවලට ඔය ගොසිප් සයිට් පුදුම විදිහට මඩ ගහනවා. සමහර වෙලාවට එක post එකකට ඒ අයට ඩොලර් 200 විතර ලැබෙනවා. ඒ වගේම විශාල මුදලක් ඒ අයව අවුස්සලා මගේ වීඩියෝවලට දාගන්නවා. ගොසිප් සයිට්වලින් ඒ අය නොදැනුවත්වම ප්‍රයෝජනයට ගත්තු එකම කෙනා මමයි. ඒ අය මඩ ගැහුවා. මම ඒ මඩ සල්ලි කරගත්තා.

මට බණින හැම මඩක්ම මම ඩොලර්වලට හරවාගත්තා. මට බණින හැම comment එකකටමත් මට සල්ලි ලැබුණා. මගේ මියුසික් වීඩියෝව මිනිස්සු අතරට ගෙනියන්න ඔය මෝඩ බොරු නම්වලින් කමෙන්ට් දාන ලංකාවේ ඉන්න නරි රැල මට උදවු කළා.

 

Text – Dishani  Pic -Internet