2018 අප්‍රේල් 07 වන සෙනසුරාදා

මාස 8කට පස්සෙත් හනිමුන්ලු

 2018 අප්‍රේල් 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 178

අපේ කලා ලොවේ තරුණ ශිල්පියෙක් පහුගිය දවසක විවාහ වුණේ විශාල පිරිසකගේ සහභාගීත්වය මැද්දේ.
ඔන්න ඔය හේතුව නිසා ඔහු වැඩ කළ ඇතැම් චිත්‍රපට හා ටෙලි නාට්‍යවල වැඩකටයුතු එහෙට මෙහෙට කරන්න නිෂ්පාදක, අධ්‍යක්ෂකවරුන්ට සිද්ධ වුණා.
අතපසු වුණ වැඩවලට දින ගන්න එකත් ලේසි පහසු වැඩක් වුණේ නැහැ කියලයි ආරංචිය.

මේ අවුරුද්දේ දෙසැම්බර් මාසේ දින 7ක් ඉලුලවමත් මේ ශිල්පියා කියනවලු හනිමූන් එක නිසා ඒ මාසෙම දින දෙන්න බැහැයි කියලා. 
&පුදුම වැඩක්නේ. බැඳලා මාස 8කට පස්සෙද හනිමූන් යන්නේ? අධ්‍යක්ෂකවරයා ඇහුවලු.

නෑ නෑ. මේකනේ වැඩේ. අපි හනිමූන් ගියාට පැරිස් ගියේ නැහැනේ. අපේ පැරිස් හනිමූන් එක දාගෙන තියෙන්නේ දෙසැම්බර් මාසේ... ඔහු කිව්වලු.
මේක යකාගේ හනිමූන් යෑමක්නේ. ලෝකෙ තියෙන හැම රටකටම යනවද වෙන වෙනම හනිමූන්? මළ පැන්න අධ්‍යක්ෂකවරයා ඔහුට කියලා තියෙනවා.

 

වික්ටර්ගෙන් ගෞරවය ගැන පාඩමක්

පහුගිය  දවසක ප්‍රවීණ ගායන හා සංගීතවේදී වික්ටර් රත්නායකයන්ගේ ප්‍රසංගයක් කොළඹදී පැවැත්වුණා. ඒක ඇත්තටම උපහාර ප්‍රසංගයක්. වික්ටර් රත්නායක විසින් අනෙකුත් ගායක ගායිකාවන්ට සංගීතය නිර්මාණය කරදුන් ගීතද ඔහු එදා අපූරැවට ගැයුවා. ඒ වගේම ගීතවලට පසුබිම් වූ රසවත් කතන්දරත් එදා පැමිණ සිටි රසික රසිකාවියන්ට ඔහු මතක් කරලා දුන්නා. 

කුමරියක පා සළඹ සැලුණා ගීතය වික්ටර් නිර්මාණය කරලා තියෙන්නේ පණ්ඩිත් අමරදේවයන්ට ගායනා කරන්නට. ඒ තමයි වික්ටර්  අමරදේවයන්ට හැදූ මුල්ම ගීතය.
එදා ඒ ගීතයේ තනුව මම අමරදේව ශූරීන්ට කියා දුන්නේ මොන තරම් බයකින්ද? ඔහු එදා අපේ සංගීත ලෝකයේ දැවැන්තයා. එදා මගේ හිතේ තිබුණු ඒ බය මේ මොහොතේදිත් මට දැනෙනවා.
ටික්ටර්ගේ කතාවේ තිබු‍ණේ පුදුමාකාර අව්‍යාජ බවක්.

ශාලාවේ හිටිය හැමෝටම ඒ වෙලාවේ හිතුණේ එදා වික්ටර් ප්‍රවීණයන්ට දැක්වූ භක්තිය හා ගෞරවය අද පරපුරේ ගායක ගායිකාවන්ට ගෑවිලාවත් තියෙනවද කියලයි.

 

අයියේ අපිටත් සික්සර් කනේ පාරක් ගහන්නකෝ

මේක ඉතිහාස කතාවක් පදනම් කරගෙන හදපු චිත්‍රපටයක්. නව පරපුරේ තරුණ නළු නිළියන් වගේම ප්‍රවීණ හා ආධුනික නළු නිළියන් රැසක් මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වෙනවා.
මේකේ එක්තරා තැනක තියෙනවා තරුණ නළුවකු ආධුනික නළුවකුට කනට පාරක් ගහන දර්ශනයක්. අධ්‍යක්ෂකවරයාගේ උපදෙස් පරිදි රෑගත කරපු ඒ දර්ශනය හොඳටම ආවයි කියලා දැනගත්තේ අධ්‍යක්ෂකවරයා ඒකට දක්වපු ප්‍රතිචාරයෙන්.
ෂා නියම කනේ පාර. ෂොට් එක ලස්සනට ආවා. ඒක එසේ මෙසේ කනේ පාරක් නෙවෙයි සික්සර් කනේ පාරක්. ක්‍රිකට් උන්මාදයෙන් පෙළෙන අධ්‍යක්ෂකවරයා කට්ටියටම දැනෙන්න කිව්වලු.
ඔන්න එදා කට්ටියම රෑ කෑම කන්න එකතු වුණ වෙලාවේ අලුත් නළු නිළියෝ කීපදෙනෙක්ම අර නළුවා ළඟට ගිහින් අහනවලු අයියේ බැරිද අපිටත් ඔය වගේ සික්සර් කනේ පාරක් ගහන්න කියලා.

 

හිනාවෙන ගමන් අඬන මුතු ඇටේ

මේ දිනවල රූගත කරමින් යන ටෙලි නාට්‍යක මළ ගෙදරක දර්ශන කීපයක් තිබුණා.
මේකේ ප්‍රධාන චරිතය රඟපාන්නේ අපට මුතු තරමටම වටිනා කලා ශිල්පිනියක්. කුමන හෝ හේතුවකට ඇයට අවස්ථා අඩුවෙන් ලැබුණට, ලැබෙන අවස්ථාවෙන් ඇය ඇගේ උපරිම දක්ෂතා පෙන්නනවා. ඇය රංගනයට වගේම ගායනය හා නර්තනයටත් අති දක්ෂ ශිල්පිනියක්.

දැන් මේ මළ ගෙදර දර්ශන ටික එක එක කෝණවලින් ගන්නවා. කතාවේ හැටියට නැතිවෙලා ඉන්නේ ප්‍රධාන නිළියගේ සැමියා. ඉතින් වැඩිපුරම අඬන්න තියෙන්නෙත් මෙයාට තමයි.
ඔන්න කැමරා අංශයේ කට්ටිය සීන් එකට ලෑස්ති වෙන අතර මේ නිළිය තම සහෝදර ශිල්පීන් ශිල්පිනියන් එක්ක එක එක විහිළු කතා කියලා හිනාවෙනවලු. 

අධ්‍යක්ෂක සීන් එක ගමු කියලා ඇක්ෂන් කියපු ගමන් මෙන්න මේ හොඳටම හිනාවෙවී හිටිය කෙල්ල එකපාරටම අඬනවලු මරලතෝනි දිදී.
අප්පට සිරි.. හිනාවෙවී ඉන්න ගමන් වැළහින්නක් වගේ අඬන්න පුළුවන් නිළියක් මේ දැක්කමයි. කියලා අධ්‍යක්ෂකවරයා කිව්වලු.

 

කවදද මගේ කෑල්ල යන්නේ?

රඟපාන්න ආස කට්ටිය අපි ඕනතරම් දැකලා තියෙනවනේ. ඒ වෙනුවෙන් ඕනම දෙයක් කැප කරන්න සූදානම් අයත් ඉන්නවා. 
මේ කියන්න යන්නෙත් ඒ වගේ රඟපාන්න ලැබෙනවානම් මැරෙන්න වුණත් සූදානම් මැදි වයසේ කොල්ලෙක් ගැන කතාවක්.
අධ්‍යක්ෂකවරුන්ගේ, නිෂ්පාදකවරුන්ගේ පස්සෙන් ගිහින් ගිහින් අන්තිමට එක ටෙලි නාට්‍යකට ඔළුව දාගන්න මෑන්ට වාසනාව පෑදුණාලු. පොඩි කෑල්ලක් වුණත් එයාට තිබුණේ ඒකේ ප්‍රධාන නිළියත් එක්ක සීන් එකක්. කාර් එකෙන් බැහැලා එන නිළියට මෙයාට තියෙන්නේ තැඹිලි ගෙඩියක් කපලා අතට දෙන එක.

දැන් ගෙදර ඇවිත් මෙයාට ඒක යන දවස දැනගන්නකල් ඉවසුමක් නැහැල්ලු.
දවසට දෙතුන් පාරක් ඩිරෙක්ටර්ට කතා කරලා අහනවලු කවද්ද මගේ කෑල්ල යන්නේ? කියලා.

අන්තිමේදී යන දවස දැනගත්තම එයාගේ නෑදෑයන්ට, යාළුවන්ට එහෙම දන්වලා ලොකු ප්‍රසිද්ධියක් දුන්නලු.
ඔන්න දැන් කතාව විකාශය වෙනවා. කෙල්ල කාර් එකෙන් බැහැලා ඇවිත් මෙයාගෙන් බොන්න තැඹිලි ගෙඩියක් ඉල්ලනවා. කැමරාවට අහුවෙලා තියෙන්නේ මෙයාගේ පිටපැත්ත. මූණ පේන්නේ නැහැල්ලු. සීන් එක ඉවරයි.
ලජ්ජාවෙන් බේරෙන්න පුළුවන් එකම උපක්‍රමය හැටියට එදායින් පස්සේ ඔහු සතියක් විතර ෆෝන් එක ඕෆ් කරගෙන හිටියලු. දැන් රඟපානවා තියා ටෙලිනාට්‍යයක්වත් බලන්නේ නැහැ කියලයි ආරංචිය.

 

► Text - Mithra

 

 

 

 

 

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00