2018 අප්‍රේල් 07 වන සෙනසුරාදා

මට තාත්තාගෙන් කවදාවත් කිසිදෙයක් එපා

 2018 අප්‍රේල් 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 135

කර්ම භූමි 05

මම කාමරේ ඇරගෙන එළියට ගියේ එළියෙන් ඇහෙන කට හඬ ශබ්ද තව තවත් වැඩි වුණාට පස්සේ. ඒ වෙද්දී දහවල් කෑම හදන්න එන කෝකියෝ ඇවිත් හිටියා. තාත්තා අනිත් අයට හිනාවෙන ගමන් කීප වතාවක්ම මගේ දිහා රවලා බැලුවා. කට්ටිය එහෙට මෙහෙට වෙන්න ඉඳලා තාත්තා ආවා මගේ ළඟට. 

හැමෝම ඉස්සරහ ගුටි කාලා ලජ්ජා වෙන්න කැමතිද?
තාත්තා එහෙම ඇහුවේ මගේ නිකටට ඇඟිල්ලකින් අනින ගමන් 
මම කිසිම උත්තරයක් නොදී මූණ තව ටිකක් පුම්බා ගත්තා. 

යමන් කාමරේට... තාත්තා එහෙම කියන ගමන් මගේ කනෙන් අල්ලලා මිරිකුවේ කාටවත් නොපෙනෙන්න. ඒ මිරිකුව මිරිකිල්ලට මට ඉබේම නැගිටුණා. 
තාත්තා කාමරේට ගිය ගමන් කළේ දොර වහපු එක.

උඹෙන් මතු වෙන්න ඕනෑ මගේ ලේ. පුතෙක් තාත්තා වගේ වෙන්න ඕන. නායකයෙක්ගේ පුතා නායකයෙක්. ගුරාගේ පුතා ගුරෙක්. නීතිඥයකුගේ පුතා නීතිඥයෙක්. ගොවියෙක්ගේ පුතා ගොවියෙක්. මම මුදලාලි කෙනෙක්. මම සල්ලි කොළයක් ඉඹලා ඒ සුවඳට වැඳලා දවස පටන් ගන්න මිනිහෙක්. මට ඕන උඹත් එහෙම වෙනවා දකින්න. මම වගේම උඹත් දෙවියන්ට වඳින්න ඕන. ඒත් උඹ දෙවියන්ව සත පහකට ගණන් ගන්නේ නෑ. මම මලායි කන්න මාර පෙරේතයි. උඹ ඒ කෑම දකින්නවත් කැමති නෑ. උඹට සල්ලිවල කිසිම වටිනාකමක් නෑ. උඹට ඕන ලෙඩට දුකට ඉස්කෝලෙට කන්න අඳින්න මගේ සල්ලි වියදම් කරවන්න. අපි මේ ලෝකෙට එන්නේ මැරෙන දවසත් ලියාගෙන. ඒ දවසට අපි කොහොමත් යන්න ඕන. ඉතින් ලෙඩට දුකට සල්ලි වියදම් කරන්නේ අපරාධයක්. බඩගින්නට තුන් වේලක් කන්න හොයන්නේ පෙරේතයෝ. එක වේලක් දෙවේලක් කෑවම ඇති. උඹත් මම වගේ වෙයන්. නැත්නම් උඹට තාත්තගේ ආදරේ බිංදුවක්වත් ලැබෙන එකක් නෑ.
හ්ම් දැන් ගනින් හංගපු තැනකින් 

මොකක්ද?
අර සුවඳ විලවුන් බෝතලේ... බෝතලෙන් තුන් කාලක් එහෙමම තිබුණා. මෝඩයා. උඹට ඕන ඒක ජීවිත කාලෙම ළඟ තියාගෙන සුවඳ ඉඹ ඉඹ ඉන්නද? 
මම කීවා.. ඒක මගේ අම්මගේ

අම්මා දැන් නෑ... එයාගේ දේවල් මොනවා හරි ඉතුරුවෙලා තියෙනවනම් ඒවා දැන් අපේ.. මුළු අල්මාරියම පෙරළලා දාන්න කලින් දැන් ගනින් ඒක. 
මට තාත්තාගෙන් කවදාවත් කිසිදෙයක් එපා.. ඒත් ඒක විතරක් මට දෙන්න 

තාත්තාගේ රතු කට්ට පැනලා තිබුණා. එයා මගේ රෙදි කඩමලු ඔක්කොම බිමට ඇදලා දැම්මා. අන්තිමට මම මහා වස්තුවක් වගේ හංගගෙන හිටපු සුවඳ විලවුන් බෝතලය තාත්තා අතට ගත්තා. 
උඹ දැනගනින් උඹේ තාත්තා මරණයට මිස මේ ලෝකේ කිසිදේකට පැරදෙන මිනිහෙක් නෙවෙයි. 

තාත්තා මගේ ජීවිතයේ ආදරණීයම වස්තුව එයාගේ අතට අරන් කීවේ හරි උජාරුවෙන්. මට දැනුණු දුකට අසරණකමත් එකතු වුණාම මට ඉබේටම ඉකිගැහුණා. මම අල්මාරියේ දොර අස්සට රිංගා ගත්තේ ඇති තරම් අඬන්න. 
ඔව්. උඹ අවුරුදු හතක් වෙනකම් ඉගෙන ගත්ත එකම දේ ඔච්චරනේ.. අනේ අම්මපා දෙවියෝ මොන එහෙකට මට උඹ වගේ පුතෙක් දුන්නද මන්දා. උඹ පුංචි කාලෙත් කොච්චරවත් කරේ කිරි ඉල්ලා ඉල්ලා අඬපු එක. කිරි නොදී කොත්තමල්ලි වතුර පොවන්ට යද්දී දැන් වගේම තමයි උඹේ උද්දච්චකම උගුරක් කට අහලකට ගත්තේ නෑ. උඹගේ අම්මගේ වදේට උඹට කිරිපිටි ගෙනත් දෙන්ට මම කී දාහක් වියදම් කරන්ට ඇද්ද? ගිය ගණන් තාම ඇති පොත්වල ලියපුවා. මට තවත් කඩ කෑල්ලක් දාන්න තිබුණා උඹට කිරිපිටි ඇද්ද සල්ලිවලින්. ඒත් මම හිත හදාගෙන හිටියා කමක් නෑ මූ අප්පා වගේම ඉඳියිනේ කියලා.
කේන්තිය වැඩිකමට තාත්තා කියවගෙන කියවගෙන ගියා.

නවත්තපන් දැන් ඔය චිරි චිරිය.. පලයන් අර කෝකියෝ උයන තැනට. උන් බඩු හොරකම් කරන්න පුළුවන්. උඹ ඉස්සරහට නාවට කමක් නෑ දැන්ම. උයන තැනට වෙලා ඇහැ ගහගෙන හිටපන්. 
තාත්තා එහෙම කියාගෙනම මාව ඇදගෙන ගියේ කෝකියෝ තුන් දෙනා උයන්න පිහන්න ලෑස්ති වෙච්ච තැනට. 
මගේ පුතාට ආසලු කෝකි මාමලා උයන පිහන හැටි බලන්න. මට කරදරේ බැරිම තැන එක්ක ආවා. ඔයාලට කරදරයක් නෑනේ මගේ දරැවා මෙතන හිටියට. දන්නේ නැද්ද තාම පොඩි එකානේ... තාත්ත තවත් බොරැවක් අතහරින ගමන් මාව කුස්සිය පැත්තේ පුංචි පුටුවක වාඩි කෙරෙව්වා. 

මට ඉවසන්න අමාරුම වුණේ සුදු ලූණු ගඳ. ඊළඟට විනාකිරි සැර. චොරෝස් ගාලා කරවෙන තෙල් තාච්චියට දැම්ම බැදුමක සුවඳ  ඇරෙන්න අල තැම්බෙන ගඳ මිරිස් බැදෙන සුවඳ මට මහ අප්පිරියාවක් වුණා. කුකුළු මස් සුද්ද කරද්දී එළියට ඇදලා ගත්ත බොකු බඩවැල් ගොඩේ මැස්සෝ සිරි සිරියට වහලා හිටියා. මට මතක් වුණේ ඉස්කෝලේ යද්දී හම්බවෙන ගෙවල් පේළියේ පොදු වැසිකිළි. සමහරදාට වැසිකිළි පඩිය උඩත් අසූචි. ඒවා දවල් අව්වට දුඹුරු පාට ගැහිලා කරවෙන්න ඉස්සර රස්නෙට තියෙද්දී එන ගඳ ඉවසන්න බෑ. වැසිකිළි පෝලිම ළඟින් යද්දී අසූචි ගොඩවල් උඩ වහලා ඉන්න එක එක ජාතියේ මැස්සෝ ඇවිත් කටෙත් එක්ක වහනවා. කුකුළු මස් බොකු බඩවැල් ගොඩේ කැටි ගැහිච්ච ලේ පිරුණු ඇටකටු කෑලිත් තිබුණා.
මේ ඇටකටු කෑලි විසික් කරන්න එපා. මේවා තම්බද්දී ලේ වේලිලා යනවා. බයිට් එකට සූප්පු කරන්න මරැ බැදලා ගත්තම.. එහෙම කියන ගමන් එක කෝකියෙක් අර මැස්ස ගොඩ අස්සේ කුකුළු බඩවැල් අස්සේ ඇට කටු අහුලන්න ගත්තා. මගේ බඩ කාරන්න ගද්දී උදේ කෑව ඉට්ලි ටික ටික උගුරට එනවා වගේ දැනුණා. 

මොහොතකින් මට ආව වමනය පාලනය කරගන්න බැරිවුණා. බඩ කාරාගෙන උඩට ආව වමනේ ගොඩ එහෙමම වැටුණේ සුද්ද කරලා තිබුණු ලූණු ගොඩට. 
අයි.. අයියෝ.. ලාලා ජී ආවොත් අපිත් ඉවරයි.. මොකද ළමයෝ ඒ කරපු වැඩේ? වමනේ ආවනම් පොඩ්ඩක් එහාට නැගිටලා යන්න තිබුණනේ. දැන් ඉතින් ලූණු වට්ටියම අහකනේ.. ලාලා ජී ලූණුවල පාඩුව අපේ පඩියෙන් කපාගනියි.. කෝකියෙක් කෑ ගැහුවේ තවමත් වමනේ දදා හිටපු මාව එතනින් නැගිට්ටවන්න හදන ගමන්. 

හරි හරි කවුරුත් දැක්කේ නෑනේ.. කට්ටිය ඔක්කොම මනමාලිව කැන්දාගෙන එන්න ගිහින්.. ළමයට කියමු ලාලා ජී අතින් මේ වගක් කියන්න එපා කියලා. ඔය ලූණු වට්ටියම කවුරුහරි ගිහින් ගඟට හලලා එන්න... අම්මා නැති ළමයා නේද හිත රිදවන එක පව්... අනිත් කෝකියා එහෙම කියද්දී මට ඉබේම ඔහු දිහා බැලුණා. 

ඇස්වල කඳුළු.. කට හෝදගෙන වතුර ටිකක් බොන්න.. ඔය ළමයා මෙතන ඉන්න ඕන නෑ. යන්න ගෙයි ඉස්සරහ පැත්තට. කුඩම්මා එද්දී පිළිගන්න කෙනෙක් ඉන්නත් එපැයි. 
ආය වමනේ යන්නේ නෑ.. මට වමනේ ගියේ කුකුළු මස් ගඳයි, මැස්සන්ගේ සිරි සිරියයි දැකලා අප්පිරියාවට 
එහෙනම් කෝපි කෝප්පයක් හදලා දෙන්නද දෙහි ඉස්ම ටිකක් දාලා? 
හ්ම්
ලාලා ජීට ඔය ළමයා මේ විත්තියක් කියන එකක් නෑනේ? 
නෑ 
මම උණු කෝපි කෝප්පය අතට ගත්තේ හිඟන්නෙක් වගේ. කෝපි කෝප්පෙට කඳුළු වැටුණත් කෝපි සුවඳ ඇරෙන්න වෙන සුවඳක් ඉන් මතු වුණේ නෑ.

I අනුවර්තනය : චන්දන වරාවිටගේ &  සංජු