2018 අප්‍රේල් 07 වන සෙනසුරාදා

අවාසනාවකට මට ඒ කිරිබත් කට කවාගන්න බැරි වුණා

 2018 අප්‍රේල් 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 278

ජීවත්ව සිටින කාලයේ දී සිංහල අලුත් අවුරුද්දට විජයගේ සූදානම කොහොමද...?
විජය ජීවත්ව ඉන්න කාලේදී එයා ගොඩාක් අවිවේක චරිතයක්. සිංහල අලුත් අවුරුදු කාලෙවත් එයාගේ නාට්‍ය සංවිධායකවරු එයාට විවේකීව ඉන්න දුන්නේ නැහැ. හැබැයි අවුරුදු දවස් දෙකේදී එයා ගොඩාක් වෙලාවට හිටියේ ගෙදරයි. විජයගේ පුදුමාකාර කැමැත්තක් තිබුණා අවුරුදු චාරිත්‍ර කරන්න. එයයි මමයි විවාහ වුණු දවසේ ඉඳන් හැම සිංහල අලුත් අවුරුද්දකම අවුරැදු නැකැත ලබනකොට හැමදාම ගේ ඇතුළට කිරි, වතුර, හාල්, ගින්දර යන සියලු බඩු මල්ල මම ලෑස්ති කරලා දෙද්දී දකුණ කකුල පෙරට තියලා නැකැතට ගෙය ගෙවැදුණේ විජයයි. ඇත්තටම විජය කියන්නේ මගේ පණ. අපි තුන්දෙනාව ළඟින් තියාගෙන මුලින්ම ගෙට සෞභාග්‍ය ළඟා කරලා දුන්නේ විජය. හැමදාකම විජය ඒ දේවල් කළේ සිනාමුසු මුහුණෙනුයි.

නැකැතට කිරිබත් කෑමත් විජය ආසාවෙන් කරපු නැකැතක් නේද...?
ඔව්... හැම නැකැතක්ම විජය කළේ හරිම ආසාවෙන්. නොනගතය වෙලාවට අපි තුන්දෙනා එක්ක විජය පන්සල් ගියා. මාලිගාවත්තේ ඉන්න කාලේ ඉඳන්ම පන්සල එක්ක පුදුමාකාර බැඳීමක් විජයට තිබුණා. පිනට දහමට විජය හරි කැමතියි. හාමුදුරුවන්ට ගිලන්පසට පිළිගන්වන්න, දානය පිළිගන්වන්න, පෝයදාට උපාසක අම්මලා තාත්තලා ගිලන්පස ගිහින් දෙන්න විජය හරි කැමතියි. ඒ වගේම අවුරුද්දට නොනගතයටත් පන්සල් ගිහින් බුදුන්ගෙන් දෙවියන්ගෙන් ආශිර්වාදය ගැනීම විජය හරිම ආසාවෙන් කළා. නැකැතට මුලින්ම ගෘහමූලිකයා විදිහට කිරිබත් කාලා, මටයි දරුවන් දෙන්නටයි එයා කිරිබත් කැව්වා. මගේ නැගණියන් දෙදෙනාත් අවුරුදු සැමරුවේ අපිත් එක්කයි. ඉතින් ඒ දෙන්නටත් විජය කිරිබත් කවනවා. ඊට පස්සේ එයා අපිත් එක්ක ගනුදෙනු කරනවා. එයාට තිබුණේ හොඳ වාසනාවන්ත අතක්. ඇත්තටම ඒ හැම නැකැත් චාරිත්‍රයක්ම විජය කළේ හරිම ආසාවෙන්. අම්මා තාත්තාට තෑගි බෝග දීම ආදිය හැමදේම විජය නොපිරිහෙලා ඉෂ්ඨ කළා.

අවුරුදු උත්සවවලටත් විජයට ආරාධනා ඇති තරම් ලැබුණා නේද...?
අම්මෝ ඔව්... අපේ දරුවන් දෙන්නා ඉස්සර අවුරුදු උත්සව බලන්න යන්න හරි ආසයි. ඉතින් විජය දරුවන් දෙන්නව අවුරුදු උත්සව තියෙන තැන්වලට අරගෙන යනවා. විජය ඒ අවුරුදු උත්සවවල තරගවලට සහභාගී නොවුණත් පුතයි දුවවයි සහභාගී කළා. ඒ වගේම විජයට අලුත් අවුරුදු තරග විනිශ්චවලට ආරාධිත අමුත්තා විදියට බොහෝ ආරාධනා ලැබුණා. ඒවාවලටත් විජය සහභාගී වුණේ හරිම කැමැත්තෙන්.

අලුත් අවුරුද්දට විජය අඳින ඇඳුම් පැළඳුම් තෝරන්නේ දේවිකා නේද...?
ඔව්... ඔව්... ඒ වැඩේ පවරලා තියෙන්නේ මට තමයි. අලුත් අවුරුද්දට යෙදුණු පාටට තමයි විජය ඇඳුම් තෝරන්න කියන්නේත්. විජය හරි ආසයි සරල ඇඳුමට. ගොඩාක් වෙලාවට එයා සිංහල අලුත් අවුරුද්දට අඳින්නේ සරමයි. විජය කවදාවත් ඇඳුම් සාප්පු ඇතුළට එන්නේ නැහැ. එයා සාප්පුවලට ගිහින් ඇඳුම් තෝරන්න හරිම අකමැතියි. ඉතින්... මාව එක්කගෙන ගිහින් එයා වාහනයට වෙලා මම එනකම් ඉන්නවා. විජයට හැමදාම ඇඳුම් තේරුවේ මමයි අපේ දුවයි. මට සාරි තෝරන්නේ දුවයි පුතයි දෙන්නා එකතු වෙලයි. අපි තෝරන ඇඳුම් පුංචි දරුවෙක් වගේ හරිම ආසාවෙන් විජය ඇන්දා. ගොඩාක් වෙලාවට සිංහල අලුත් අවුරුද්දට විජය ඇන්දේ සරම.

විජය සිංහල අලුත් අවුරුද්දට වැඩියෙන්ම කන්න ආසවුණේ මොනවද...?
එයා හරිම ආසයි කිරිබත්වලට. එයාගේ ජීවිතේ ආසම කෑම තමයි කිරිබත්. විජය කිරිබත් කෑවේ ලුණුමිරිස්, කට්ට සම්බෝල, සීනි සම්බල්, එහෙමත් නැත්නම් මාළු ඇඹුල් තියල් එක්කයි. ඒ ඕනදෙයක් එක්ක විජය කිරිබත් කන්න ආසයි. ඒ ඕන දේකින් කාලා එයා තව වෙන පිඟානක් අරගෙන කිරිබත් කෑල්ලකුයි ඇඹුල් කෙසෙල් කෑල්ලකුයි එකට කලවම් කරගෙන කන්නත් හරි ආසයි. 
විජය නැතිවුණු දවසේ උදේත් මට කිරිබත් හදන්න කියලා කිව්වා. එදත් මම කිරිබත් හැදුවා. නමුත් මොකක්දෝ අවාසනාවකට මට ඒ කිරිබත් කට කවාගන්න බැරි වුණා. එයාට මම හැමදාමත් කිරිබත් හැදුවේ ගොඩාක් මිටිකිරි දාන්නේ නැතිවයි. අපේ ගෙදර හැමදාම කිරිබත් මුට්ටි දෙකක් හැදුවා. එයාට මිටිකිරි අඩුවෙනුත්, අනෙක මිටිකිරිවලිනුත් අපි කිරිබත් හැඳුවා. විජයගේ සෞඛ්‍ය ගැන මම ගොඩාක් සැලකිලිමත් වුණා. සාමාන්‍ය ජීවිතේදී වුණත් විජය කෑවේ මම හදපු කෑමයි. අඩුගානේ එයා බීපු වතුර එක පවා මම ගෙදරින් ඇරියා. මම අතහෝදලා දුන්නත් එයා කිව්වේ ඒ කෑම එක රසයි කියලයි. ඒ තරමට විජය මගේ කෑම අනන්තවත් අගේ කළා.

රසකැවිලිවලින් විජය ආසම රසකැවිලි මොනවද...?
අම්මෝ එයා කොකිස්වලට හරිම කැමතියි. අලුත් අවුරුද්දට කලින් මම කෑම ජාති හදනවා. ඉතින් මම කොකිස්නම් වැඩිපුර හදනවා. ඒ හදපු දවසේ ඉඳන් විජේ කොකිස් කනවා. මගේ දුවයි පුතයි දෙන්නත් කොකිස් කන්න හරි කැමතියි. ඉතින්... ඒ නිසා මම ඒවා ටිකක් වැඩිපුර හදනවා.

විජය නැතිවෙලා මේ අවුරුද්දේ අගෝස්තු මාසයට වසර දෙකක් සපිරෙනවා. ගෙවුණු සිංහල අලුත් අවුරුද්දේදීත් ඒ පාළුව තදින්ම දැනුණා නේද...?
අම්මෝ... ඔව්... ඒ පාළු හිස්තැන කවදාවත් පුරවන්න පුළුවන් වෙන්නේ නැහැ. ඒක මට වචනවලින් කියන්න බැහැ. විජය අපිට ජීවන් වෙන්න හැම සැප සම්පතක්ම අපිට දීලා ගියාට ඒ පාළුව පුරවන හැටි අපිට කියලා ගියේ නැහැ. දරු දෙන්නට නොපෙනෙන්න අදටත් මම අනන්තවත් අඬනවා. විජය මට, දරුදෙන්නට අපේ පුංචි සහන්‍යා මිණිපිරීට හරි ආදරෙයි. ඇත්තටම විජය කියන්නේ රත්තරන් කඳක්. වේදිකාවේ වයින් කරපු බෝනික්කෙක් වගේ එහාට මෙහාට දුවලා පැනලා රඟපෑවාට විජය සැබෑ ජීවිතේදී හරිම සරල සුන්දර නිවිච්චි මනුස්සයෙක්. මේ සිංහල අලුත් අවුරුද්දට අපේ දුවත් ඕස්ට්‍රේලියාවේ ඉඳන් ලංකාවට නිවාඩුවට එනවා. ඉතින් ඉස්සර විජය මූලිකත්වයෙන් කරන සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර මේ පාර කරන්නේ මගේ පුතා. මම දන්නවා විජය කොහේ හරි ඉඳගෙන පුතාට, මට, දුවට ආශිර්වාද කරනවා කියලා.  

 

► Text – Jayamali  /   Pic -  Internet