2018 අප්‍රේල් 07 වන සෙනසුරාදා

මෙදාසැරේ අවුරුද්දට තරු හදන ආසම කෑම

 2018 අප්‍රේල් 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 270

 

කන්නයි බදින්නයි දෙකටම මාර ආසයි

- තාරුකා වන්නිආරච්චි

සිංහල අලුත් අවුරුද්ද මතක් කරද්දී රසකැවිලිවලට තියෙන්නෙ පුදුමාකාර ඉල්ලුමක්නෙ. ඔය අතරේ හැම සිංහල ගෙදරකම කොකිස්නම් සිංහල අලුත් අවුරුද්දට වරදින්නෙම නෑ. තාරුකාගේ ගෙදරත් එදා ඉඳන් හැම සිංහල අලුත් අවුරුද්දකටම කොකිස් හදනවා. මුලින් අම්මා හදන කොකිස්වල රස අවුරුද්ද එන්නත් කලින්ම බලපු තාරුකාට දැන් ඔන්න කොකිස් හදන්න හොඳට පුළුවන්. ඒ ඉතින් තාරුකාගේ අම්මගේ අත්ගුණේම තමයි.

කොකිස් 

අවශ්‍ය දේවල්

හාල් පිටි ග්‍රෑම් 400
පොල්කිරි අඬුකොප්ප 1 යි
කහකුඩු ස්වල්පයක්
ලුණු කුඩු ස්වල්පයක්
බිත්තර දෙකක්
පොල්තෙල්

සාදන ක්‍රමය
මුලින්ම හාල්පිටි, බිත්තර, පොල්කිරි, කහ හොඳින් කලවම් කරගන්න. මෙම මිශ්‍රණය උකු ලෙස තරමක් ඝන මිශ්‍රනයක් විදිහට සාදාගන්න. මෙය පැයක් හෝ විනාඩි 45 ක් පමණ තියන්න.
තාච්චියක් ළිප තබා එයට පොල්තෙල් එක්කරන්න. සාදාගත් මිශ්‍රනයේ කොකිස් අච්චුව ගිල්වා එය තෙල් තාච්චියට ගිල්වන්න. කිසිවිටකත් තෙල් තාච්චියේ අඩියේ වැදෙන ලෙස කොකිස් අච්චුව ගිල්වන්න එපා. කොකිස් අච්චුවෙන් ගැලවීමට හැකිවන ලෙස කොකිස් බැදී ඇත්නම් කූරක් මගින් කොකිස් අච්චුවෙන් කොකිස් ඉවතට ගන්න.

 

රෝස පාටට පට්ට රහට ඒ අතුරුපස වරදින්නෙ නෑ

- දිලිනි ලක්මාලි තිරිමාන්න

දිලිනි ලක්මාලි තිරිමාන්න කියන්නෙ අපේ තවත් ආදරණීය කලාකාරියක්. අවුරුදු කාලෙදී දිලිනිගේ ගෙදරත් හරිහරියට රසවත් කෑමබීම හදනවා. හැබැයි ඒ වැඩිපුරම ඉතින් දිලිනිගේ අම්මගේ අතිනුයි. ඒ වගේ වෙලාවට දිලිනිට තියෙන්නෙ අම්මගේ රසවත් කෑම හැදිල්ලට උදව් පදව් දෙන එක තමයි. සිංහල අලුත් අවුරුද්දට නිවසට එන අමුත්තන්ට දිලිනිගේ අම්මා අතින් හදපු කෑමවල රස බැලුවට අතුරුපස හදන එක බාරව තියෙන්නෙනම් දිලිනිටයි. ඒ කියන්නෙ... දිලිනිට හරි රසට අතුරුපස හදන්නනම් පුළුවන්. ඔය හදන අතුරුපස අතරින් ඉතා ඉක්මනට හදන්න පුළුවන් හරි රසවත් අතුරුපසක රෙසිපියක් දිලිනි හදසරට කිව්වේ මෙන්න මෙහෙමයි.

අවශ්‍ය දේවල්

ස්ට්‍රෝබෙරි ජෙලි පැකට් 1 යි
විපින් කිරි 1 යි
මිල්ක්මේඩ් පොඩි ටින් 1 යි

සාදන ක්‍රමය
මුලින්ම ස්ට්‍රෝබෙරි ජෙලි පැකට් එක සාදා නිවෙන්නට තබා ශීතකරණයේ තබන්න. ජෙලි එක සම්පූර්ණයෙන්ම මිදෙන්නට දෙන්න එපා. මිල්ක්මේඩ් සහ විපින් ක්‍රීම් වෙන වෙනම දමා බීට් කරන්න. නැවත විපින් ක්‍රීම් සහ මිල්ක්මේඩ් එක් බෝල් එකකට දමා එයට ජෙලි එකද එක්කර බීට්කර නැවත හොඳින් මිදෙනතුරු ශීතකරණයේ තබන්න.
රෝස පැහැයකට හුරු මෙම අතුරුපස ඉතා රසවත් අතුරුපසක් ද වේ.

 

මොනවා තිබුණත් මෝජුව නැත්නම් වැඩක් නෑ

- සුසිලා කෝට්ටගේ

සුසිලා කෝට්ටගේ අපේ රටේ ඉන්න ප්‍රවීණ කාලාකාරියක් වගේම හිත හොඳ අපේ හිතවතියක්. ආගන්තුක සත්කාර හොඳට දන්න සුසිලා හරි අපූරුවට කෑම පිසින ගෘහණියක්. හැම සිංහල අලුත් අවුරුද්දකම වගේ සුසිලා වම්බටු මෝජුවක්නම් විශේෂයෙන් කෑමවේලට එකතු කරනවාමයි. ඒ නිසාම මේ සිංහල අලුත් අවුරුද්දේ ඔබේ නිවසෙත් ඒ වම්බටු මෝජුවේ රස බලන්නට අමතක කරන්න එපා.

වම්බටු මෝජුව

අවශ්‍ය ද්‍රව්‍ය

වම්බටු කිලෝ 1 යි
වියලි හාල්මැස්සන් ග්‍රෑම් 250
රතුලූනු ග්‍රෑම් 500
විනාකිරි කෝප්ප 1
අමුමිරිස් ග්‍රෑම් 100
සුදුලූනු බික් 10 ක් පමණ
ඉඟුරු කැබැල්ලක්
ගම්මිරිස්
ලුණු රස අනුව
කරපිංචා
සීනි
පොල්තෙල්

සාදන ක්‍රමය
වම්බටු හොඳින් සෝදා තීරැරු කපාගන්න. රතුලූනු හොඳින් සෝදාගන්න. අමුමිරිස් නැටි ඉවත් කර වෙන් නොවන සේ මැදින් පලාගන්න. වියලි හාල්මැස්සන් හොඳින් සෝදාගන්න. සුදුලූනු සහ ඉඟුරැ තරමක් අඹරාගන්න. අබ, විනාකිරි ස්වල්පයක් සමඟ එක්කර අඹරාගන්න. 

තෙල් තාච්චිය ළිප තබා රත් වූ විට එයට තීරුවට කපාගත් වම්බටු කොටස් ලෙස එක්කර රන්වන් පාට වනතුරු බැද තෙල් තාච්චියෙන් ඉවත් කර තෙල් බේරෙන්නට තබන්න. එම තෙලටම රතුලූනු එක්කර තාච්චියෙන් ඉවතට ගන්න. එයට අමුමිරිස්, සුදුලූනු සහ ඉඟුරු, කරපිංචා එක්කර තාච්චියෙන් ඉවතට ගන්න. මේවා වෙනවෙනම තාච්චියට එක්කරන්න.

අවසානයේදී හාල්මැස්සන්ද බැදගන්න. මේ සියල්ලම තෙල් ඉවත් වනතුරු පැයක් පමණ කාලයක් තබන්න. මැටි හට්ටියක් ළිප තබා එයට විනාකිරි එක්කරගන්න. එය රත්වීගෙන එන විට එම විනාකිරි හට්ටිය ළිපෙන් ඉවතට ගෙන මඳක් තියෙන්නට හැර එයට අඹරාගත් අබ, ගම්මිරිස් කුඩු, සීනි, ලුණු, ඉඟුරු, සුදුලූනු එක්කර හොඳින් මිශ්‍රකරන්න. එයට රතුලූනු, හාල්මැස්සන්, කරපිංචා, අමුමිරිස්, වම්බටු එකතු කර හොඳින් මිශ්‍රකරන්න. පැය කිහිපයකට පසු බෝතලයකට හෝ හට්ටියකට දමා වසා තබන්න.

 

කිරිබත් එක්ක කොහිල බැදුම තකට-තක

- සුසන්තා චන්ද්‍රමාලි

සුසන්තා කියන්නෙ අපේ රටේ ඉන්න ආදරණීය කලාකාරියක්. තම මවගේ අඩිපාරේ යන සුසන්තාගේ ආදරණීය දියණිය වූ තිසුරිත් අද මේ කලා ක්ෂේත්‍රයේ සිටින තරැණ කලාකාරියක්. සුසන්තාටත් හරි රසට කෑමබීම හදන්න පුළුවන්. ඒ නිසාම මේ සිංහල අලුත් අවුරැද්දට සුසන්තා හදන කෑමක රස බලන්න ඔයාලටත් පුළුවන්. සිංහල අලුත් අවුරැදු කෑම මේසෙ තියෙන රසවත් කිරිබතට සුසන්තා හදන කොහිල බැදුමත් ළඟින් තියලා බලන්න. වෙනදාට කොහිල කන්නෙ නැති ඔබේ පොඩ්ඩේ මේ කොහිල බැදුම රස කර කර කයි.

කොහිල බැදුම

අවශ්‍ය ද්‍රව්‍ය

සිහින්ව ලියාගත් උම්බලකඩ ග්‍රෑම් 100
සිහින්ව ලියාගත් බීලූනු ග්‍රෑම් 250
සිහින්ව ලියාගත් කොහිල අල ග්‍රෑම් 250
කෑලි මිරිස්
රම්පෙ
කරපිංචා
බැදගැනීමට තෙල්
රස අනුව ලුණු

සාදන ක්‍රමය
තාච්චියක් ළිප තබා බීලූනු එක්කර එය රන්වන් පාට වනතුරු බැද තෙල් බේරාගන්න. එම තෙලටම ලියාගත් කොහිල එක්කර රන්වන් පාට වනතුරු බැද එහි තෙල් බේරාගන්න. එම තෙලට හෝ ලූනුවලට සහ කොහිලවලට ලුණු ස්වල්පයක් බැගින් එක්කර බැදගන්න අමතක කරන්න එපා.

තාච්චියේ ඇති තෙල් ඉවත් කර එයට තෙල් හැඳි දෙකක් හෝ තුනක් එක්කර එයට රම්පෙ, කරපිංචා ටික එක්කරගන්න. එයද තෙල් බේරෙන්නට තබන්න. ඉන්පසුව එයට ලියාගත් උම්බලකඩද එක්කර තෙල් බේරාගන්න. ඉන්පසුව තෙල් තාච්චියේ තෙල් ඉවත් කර, ලූනු, උම්බලකඩ, කරපිංචා, රම්පෙ, කොහිල අල, ලුණු සියල්ල එක්කර මඳගින්නේ ටික වේලාවක් හොඳින් කලවම් කරන්න. ලුණු රස ඇත්දැයි බලන්න.
තෙල් හොඳින් බේරා සුළං නොවදින සේ භාජනයක අසුරා තබන්න. කිරිබතට රසවත් කොහිල බැදුමකි මේ.

 

► Text – Dishani  /   Pic - Sumudu