2018 අප්‍රේල් 13 වන සිකුරාදා

ඈත හිටන් පටන් ගැනීමක් විතරයි

 2018 අප්‍රේල් 13 වන සිකුරාදා, පෙ.ව. 06:00 70


ඈත හිටන් ලොරි අරගෙන මාගන්දිට පෑ හද නද
කාසි පනම් අරන් ආවේ පින් පුරවන්නයි
කොළඹ රටින් බණ අහලා නිවන් දකින්නයි

උන්හිටිතැන් වතුරේ ගියා - හැම ගමකම මල් හැලුණා
මැණිකක් හීනෙන් දැකලා - සාදුකාර දී වැන්දා

බිත්ති හතර බැඳගන්නට - පිච්චිය නැතුවා
පොත හදන්න නම දාන්න - පෝලිම පිරිලා

බුදු පාමුල පිදු කුසුමේ - මල්පෙති ඇහැරිලා නැතේ
හතරපෝය හඳ දිලුණට - අමාවකද හිත ඇතුළේ

බන්දුල විජේවීරයන් ගායනා කරන ඈත හිටන් ගීය රචනා කරන ලද්දේ සසංක චලන ගිම්හාන විසිනි. ඈත හිටන් ගැන සසංක හදසරට කිව්වේ මෙන්න මෙහෙමයි.

සසංක... බන්දුල විජේවීර ගායනා කරන ඈත හිටන් ගීතය ඔබ විසින් රචනා කළ දෙවැනි ගීතයයි.. එහෙම නේද...?
ඔව්.. ඈත හිටන් ගීතයේ පදරචනාව වගේම එහි සංගීතය,රූපරචනාව සහ රෑපරචනා අධ්‍යක්ෂණයත් මම තමයි කළේ. මේ මගේ දෙවැනි ගීතයයි. ඊට කලින් මම ලියපු දරු කැක්කුම කියන ගීතය සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ විශ්මිණි සඳතාරකා කියන දෙවැනි වසරේ සිසුවියක් තමයි ගායනා කළේ.

ඔබට ගීත ලිවීමේ හැකියාව ඇතිවුණේ පාසල් යන කාලේ ඉඳන්ද...?
ඔව්. මම ඉගෙන ගත්තෙ හලාවත ආනන්ද ජාතික පාසලේ. ඉස්කෝලේ හය වසරේ ඉඳන් මම සංගීතය විෂයක් විදිහට හැදෑරුවා. ඒ කාලේ ඉඳන්ම මම කවි නිර්මාණය කළා. පාසල් පදරචනා නිර්මාණ තරගවලදී මම ජයග්‍රහණ පවා ලබලා තියෙනවා. සංගීතයෙන් සමස්ත ලංකා තරගවලට මම ඉදිරිපත් වෙලා තියෙනවා. උසස් පෙළටත් මම සංගීතය තමයි විෂයක් විදියට හැදෑරුවේ. හැබැයි මම ගායනය පැත්තට වැඩිපුර යොමුවු‍ණේනම් නෑ.

ඈත හිටන් පදරචනාව බන්දුල විජේවීරට ලබාදීමට අවස්ථාව ලැබුණේ කොහොමද...?
ඒකට හේතු දෙකක් තියෙනවා. ගීතයට පදරචනාව ලියද්දී මට ඒ හැඩරුවත් එක්ක ගායකයින් දෙදෙනෙක් මතකයට ආවා. ඒ තමයි බන්දුල විජේවීර මහතා සහ රොඩ්නි වර්ණකුල මහතා. ඒ වගේම නවකයන්ට අත දෙන කලා ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක් විදියට මම බන්දුල විජේවීර මහතාව දැනගෙන හිටියා. ඒ නිසා තමයි මම මේ ගීතය බන්දුල විජේවීරයන්ට බාරදුන්නෙ. ගීතය ආරම්භයේ සිටම මේ වීඩියෝ එක හදලා අවසන් වනතුරුම ඔහුගෙන් මට ලොකු සහයෝගයක් ලැබුණා. මම වගේ ආධුනිකයෙකුට බන්දුල මහතා වැනි ප්‍රවීණයෙක්ගෙන් ලැබුණු ඒ සහයෝගය ගොඩක් වටිනවා.

පදරචනාව ලබාදුන්නට පස්සෙ බන්දුල විජේවීරයන් මොකද කිව්වෙ..?
ඔව්... ඊට කලින් මම ඔහු මුණගැහිලයි තිබුණේ. ඊටපස්සෙ මම ගීතය ඔහු අතට පත්කළාට පසුව ඔහු ඒක කියවලා ඒ නිර්මාණය ගොඩක් ඇගයීමට ලක් කළා. ඒ වෙලාවෙදී තමයි මම ඔහුට මේ ගීතය ගායනා කරන්න ආරාධනා කළේ. ඔහු මට ඒ වෙලාවේ කිව්වේ ගුවන් විදුලි ගීතයක් විදිහට නේද? මේක කරන්න වෙන්නෙ.. කියලා. රූපරචනාවක් වෙනුවෙන් විශාල මුදලක් වැයවන නිසා ඒ යෝජනාවත් එක්ක තවත් ටික කාලයක් ගතවුණා එය නිර්මාණය කරන්න. මූල්‍යමය වශයෙන් පොඩි ප්‍රශ්න වගයකට මැදිවුණු නිසා ඒක ටික කාලයක් නොකර හිටියා. ඊටපස්සෙ කොහොමහරි මේ වැඩේ කරමු කියන මට්ටමට ආවට පස්සෙ තමයි අපි මේ වැඩේ පටන් ගත්තෙ.

මීට අමතරව සසංක ටෙලිනාට්‍ය අත්පිටපත් කිහිපයක්ම ලියලා තියෙනවා නේද..?
ඔව්... මම ටෙලිනාට්‍ය පිටපත් කිහිපයක්ම ලියලයි තියෙන්නෙ. මගේ ලොකුම බලාපොරොත්තුව තමයි මේ අවුරුද්ද අවසන් වෙන්න කලින් ඒ පිටපතට ටෙලිනාට්‍යයක් නිර්මාණය කිරීම. බොහෝවිට එහි අධ්‍යක්ෂණයත් මම කරාවි. ඒ පිළිබඳව මේ දිනවල සාකච්ඡා කරමින් තමයි පසුවෙන්නෙ. ඒ වගේම තවත් ගීතයක් කරන්න මම බලාපොරොත්තු වෙනවා. 

 Text —Jayamali /  Pic – Internet

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00