අද බොහෝ චිත්‍රපටවල රඟපාන නළු නිළියන් ඔවුන්ගේ චරිත නිරූපණය කරද්දී අපිට එකපාරටම තේරෙන දෙයක් තමයි මේගොල්ලො රඟපානවා කියන එක.
එහෙත් හොඳ නළු නිළියො කියන්නෙ ඔවුන්ගේ රඟපෑම රඟපෑමක් කියා පෙනෙන්නෙ නැතුව ඉන්න අයටයි.
ඉස්සර අපේ චිත්‍රපටවල ඒ වගේ නළු නිළියො හිටියා. එක්තරා චිත්‍රපටයක ප්‍රවීණ රංගන ශිල්පිනියක් වන සෝනියා දිසාට තවත් ජනප්‍රිය නිළියක් සමඟ තියුණු සටන් දර්ශනයක් තිබුණලු.
දර්ශනය රූපගත කරද්දී හැමෝටම පෙනුණෙ මේ දෙන්නා ඇත්තටම වෛරකාරයෝ වගේ රණ්ඩු වෙන එක. ඒ දර්ශන ගැන අධ්‍යක්ෂවරයා ඉතාමත්ම සතුටු වුණාලු.
ඒත් ඊට පස්සෙ තමයි ඇත්ත සිද්ධිය එළිවෙලා තියෙන්නෙ.
මේ නිළියො දෙන්නව නිෂ්පාදන කණ්ඩායම දවස් ගාණක ඉඳලා කොටවලා තියෙනවලු මේ දර්ශනයට කලින්.
ඔයා ගැන නිතරම අපිට කේලම් කියනවා. ඒ වුණාට අපි ගණන් ගත්තෙ නෑ. හෙට අනිද්දා තියෙන ෆයිට් සීන් එකේදී ඔයාට ඇත්තටම ගහන්න තමයි එයා ප්ලෑන් කරගෙන ඉන්නෙ, කියලා නිළියො දෙන්නටම කියලා.
කොහොමහරි ඒ උපක්‍රමය හොඳටම වැඩ කරලා, සීන් ටික නියමෙට ආවලු.
ඒ ඉස්සර කණ්ඩායම් හැඟීමෙන් වැඩ කරපු කාලෙ.
ජංගම දුරකතන පාවිච්චි කරන බොහෝ අය ළඟ විවිධ පුරුදු තියෙනවනෙ. සමහරු ගෙදර ඉන්නකොට ෆෝන් එක ඕෆ් කරනවා, සමහරු රෑ නින්දට යද්දී ඕෆ් කරනවා.
මේ කියන්න යන්නෙත් තවත් අමුතු පුරුද්දක් ගැන. මේ කතාව අපිට කිව්වෙ ප්‍රවීණ චිත්‍රපට නළුවෙක්.
ප්‍රවීණ සංගීත ශිල්පී හා ඩ්‍රම්ස් වාදක සුසිල් පෙරේරා ගැන අමුතුවෙන් කියන්න ඕනෙ නැහැනෙ. ඔහු අතිදක්ෂයෙක්.
එයාගෙ ජංගම දුරකතනය නිතරම තියෙන්නෙ කලිසම් සාක්කුවෙලු. දැන් ඕකට කෝල් එකක් ආවම එයා ළඟම ඉන්න කෙනාට ෆෝන් එක දෙනවලු කතා කරන්න කියලා.
ආ සුසිල්ටද කතා කරන්න ඕනෙ. පොඩ්ඩක් ඉන්න, කියලා ඒ තැනැත්තා සුසිල්ට ෆෝන් එක දෙනවලු. එතකොට එයා කතා කරනවලු.
දර්ශන තලයකදී තරමක් ප්‍රවීණ මැදිවයස් රංගන ශිල්පිනියකට කෝල් එකක් එනවලු. ඒක එයාගෙ ගෙදරින් ආපු කෝල් එකක් කියලා කතා කරන විලාසයෙන්ම කට්ටියට තේරුම් ගියාලු.
අනේ මේ මම මෙතන ෂූට් එකට ලෑස්තිවෙලා ඉන්නෙ. මඟුලක් කතා කරන්න එපා. ඔය කෙහෙල්මල තියපු තැන හොයාගන්න බැරිනම් ඕක බෙල්ලෙ එල්ලගෙන ඉන්නවකො, ඇගේ මූණ කේන්තියෙන් පුපුරනවලු.
ඇයි නංගි මේක මාර වදයක්නෙ. අපේ උන්දැගෙ ඇස් කණ්ණාඩි කුට්ටම හොයාගන්න බැරිවුණාම මට කෝල් කර කර අහනවා ඕක දැක්කද කියලා ළඟ හිටිය තරුණ නිළියකට ඇය විස්තර කළාලු.
චිත්‍රපටයක් හදන කොට ඒකෙ රඟපාන කට්ටිය වගේම තිරයේ පිටුපස ඉඳන් දැවැන්ත වැඩ කොටසක් කරන උදවිය ගොඩක් ඉන්නවා.
හැබැයි ඒ අයගෙ කැපවීම හා මහන්සිය ප්‍රේක්ෂකයින්ට පේන්නෙ නෑ.
ඔන්න එක්තරා චිත්‍රපටයක වැඩ කරපු තරැණ සහාය අධ්‍යක්ෂකවරයෙක්ගෙ පුදුමාකාර උනන්දුවක්ලු තියෙන්නෙ, දර්ශන තලයෙදි කවුරුහරි කෙනෙකුට පෑනක් අවශ්‍ය වුණයි කියමුකො, මෙයා කාගෙවත් පෑන් හොය හොයා ඉන්නෙ නැහැල්ලු, කෙළින්ම ළඟම තියෙන කඩේට ගිහින් සල්ලි දීලා පෑනක් අරන් එනවලු.
ඔන්න මේ උනන්දුවා දවසක් හදිසි වැඩකට ගියාලු ළඟම ටවුමට බඩු වගයක් ගන්න. ටවුම තියෙන්නෙ පයින් යන දුරලු.
ඒ අතරතුර දර්ශන තලයේ වුවමනාවකට එයාට කතා කරලා මෙහෙට එන්න කොච්චර වෙලා යයිද? මම සුටුස් ගාලා එන්නම්කො, කියලා ඔහු කියලා.
මිනිහා උනන්දුවා නිසා, කැබ් එකක් හයර් කරගෙන එයිද දන්නෙ නෑ කියලා නිෂ්පාදන කණ්ඩායම බයේ හිටියලු.
සාමාන්‍යයෙන් ඕනෑම සිනමාහලක උදෑසන දර්ශනයට එන්නෙ ජෝඩුනෙ. ඒ ප්‍රවණතාවය ඉතින් සක්කරයටවත් වෙනස් කරන්න බෑ. ඒ අතරත් ඉතින් පෙට්ටිගතවෙන ජෝඩු තමයි වැඩි හරියක් ඉන්නෙ.
ඉස්සර වගේ නෙවෙයි දැන් නම්, අපරාදෙ කියන්න බෑ පෙට්ටිත් හරි සනීපෙට හදලා තියෙනවා.
ඔන්න ඒ වගේ පෙට්ටිගතවුණු ජෝඩුවක් විවේක කාලයේදී එළියට ඇවිත් පහත මාලය දිහා බැල්මක් දැම්මලු. පහත මාලයේ ඒ චිත්‍රපටය බලන්න හිටියෙ දෙන්නයිලු. බොක්ස් ටික නම් පිරිලා.
සිනමාවට ආදරේ කරන දෙන්නෙක් හරි මේ ෆිල්ම් එක බලන එක ගැන අපි සතුටු වෙන්න ඕනෙ සුදු, කොල්ලා කෙල්ලට කිව්වලු.
► Text - Mithra