2017 ජනවාරි 21 වන සෙනසුරාදා

පූජාට කූඬලු ප්‍රශ්නයක්

 2017 ජනවාරි 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 74

පහුගිය දවසක සරිගම චිත්‍රපටයේ ගීත 13ක් අඩංගු සීඩී පටයක් ජනගත කෙරැණා. ඒ නිමිත්තෙන් පවත්වපු මාධ්‍ය සාකච්ඡාවට චිත්‍රපටයේ ප්‍රධානීන් හැමෝම වගේ ඇවිත් හිටියා.

චිත්‍රපටයට සම්බන්ධ ප්‍රධාන ශිල්පීන් රැසක්ම චිත්‍රපටයට සම්බන්ධ ඔවුන්ගේ අත්දැකීම් මාධ්‍ය හමුවේ පවසා හිටියා. 
ඒ කතාබහට එක්වුණු සරිගම ප්‍රධාන නිළි පූජා උමාශංකර් ඇගේ අත්දැකීම් විස්තර කළේ අපූරැ ආකාරයකට.

අපි රූපගත කරපු කාලෙ අමතක නොවන සිදුවීම් ගොඩාක් තියෙනවා. ඒත් මට ඉවසන්නම බැරි එක තමයි කූඩැල්ලො කන එක. කූඩැල්ලො කන එකට වඩා මට ලොකු ප්‍රශ්නයක් තිබුණා. ඒ ප්‍රශ්නෙට කවුරැත් මේ වෙනකම් උත්තර දුන්නෙ නැහැ. දැන් මම මාධ්‍ය ඉදිරියේ දී ඒ ප්‍රශ්නෙ අහනවා. දන්න කෙනෙක් මට කියන්න. මට තියෙන ප්‍රශ්නෙ තමයි කූඩැල්ලා කන්නෙ කොයි පැත්තෙන්ද කියන එක, ඇය කිව්වා.

අප්පද බොල, එළකිරිනෙ

1950 දශකයේ ශ්‍රී ලංකාවේ ග්‍රාමීය පවුලක් වටා ගෙතුණු කතාවක් ටෙලි නාට්‍යකට පාදක කර ගත්තා.
එහි තිර පිටපත ලිව්වේ සිංහල භාෂාව ගැන ගැඹුරු පරිචයක් තිබුණු කෙනෙක්. මැදිවිය ඉක්මවා හිටියත් ටෙලි නාට්‍ය රූපගත කළ මුළු කාලය පුරාම ඔහු එම කණ්ඩායමත් සමඟ රැඳී හිටියා. කණ්ඩායමේ නළු නිළියන් සමඟත් වගේම කාර්මික ශිල්පීන් සමඟත් ඔහු නිතරම කතා කළේ නිවැරදි බස් වහර ගැනයි. මෙයා කතා කරන්නෙත් හරබර වචන දාලලු.

ඔන්න දැන් ටෙලි නාට්‍යයේ රූපගත කිරීම් අවසන් වුණා. කොළඹට එන්න කලින් දර්ශන තලයෙම පැකප් පාටියක් දැම්මලු නිෂ්පාදන කණ්ඩායම. 

මේ පිටපත් රචකයා ඇතුළු හැමෝම වගේ පාටිය වෙලාවෙ ටිකක් රත්වෙලාලු හිටියෙ.
මේ පිටපත් රචකයා ළඟට ආපු අධ්‍යක්ෂකවරයා ඔහුට සුභ පණිවිඩයක් රහසින් වගේ කිව්වලු.
මහත්මයාට සුභ ආරංචියක් තියෙනවා. අපේ ඊළඟ නිෂ්පාදනයෙත් පිටපත් රචකයා හැටියට ඔබව තෝරාගන්න අපි තීරණය කළා.

ඔහු බිබී හිටිය වීදුරුවත් එක්කම පුටුවෙන් නැගිටලා අප්පද බොල, එළකිරිනෙ කියලා මහ හයියෙන් කිව්වලු.

හිනා යන හොල්මන් කතා

අපේ සිනමාවට දැන් වයස අවුරුදු 70ක් වුණාට දැන් දැන් කරන්නෙ ළාමක වැඩ කියලා තමයි ක්ෂේත්‍රයේ ඉන්න සමහරු කියන්නෙ. 70 කියන්නෙ ඉතින් පරිණත වෙන්න ඕනෙ වයසක්නෙ.

ඔන්න ළඟදි අපේ යාළුවො කට්ටියක් ගියාලු අපේ හොල්මන් අවතාර ගැන හදපු අලුත්ම චිත්‍රපටය බලන්න. 
කට්ටිය එළියට ඇවිල්ලත් හිනාව නවත්තගන්නෙ නැහැල්ලු. අපි ඉතින් හේතුව ඇහුවා.
පිස්සු  හැදෙනවා. හිනා කාලා මැරෙනවා. උඹත් ෆිල්ම් එක බලපන්කො.*
ඇයි මොනවද බං බලපු ෆිල්ම් එක. කොමඩිද?

කොමඩි? මොන කොමඩිද? මේක ෆුල් හොරර් ෆිල්ම් එකක්. ඒ වුණාට එකම තැනකවත් ප්‍රේක්ෂකයා බය වෙන්නෙ නැහැ. අපිව බය කරන්න කියලා හදපු සීන්වලදි තමයි අපට හිනා යන්නෙ.

මාර වැඩක්නෙ. එහෙනම් හිනාවෙන්න කොමඩි බලන්න ඕනෙ නැහැනෙ...
හැබැයි අඬන්න ඕනෙ නම් කොමඩි ෆිල්ම් බලන්න ඕනෙ හරිද?

 

වෙන ගෑනියෙක් හොයන්න වෙයිද?

ලාංකාවේ සුප්‍රසිද්ධ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් පසුගියදා ඔහුගේ නිෂ්පාදිකා බිරිය හා තවත් සිනමාවට සම්බන්ධ ශිල්පීන් රැසක් සමඟ සතුටු සාමීචියක යෙදී හිටියේ සිනමාවේ වර්තමානයේ තිබෙන ප්‍රශ්න ගැනත් අවධානය යොමු කරමින්.

අපෝ මට නම් දැන් මේ නිෂ්පාදන කාරිය කරලා ඇතිවෙලා. මේ තමයි මගේ අන්තිම චිත්‍රපටය කියලා මම මගේ මහත්තයට කියලා තියෙන්නෙ. මට මේ මානසික පීඩනය තවත්නම් දරාගන්න බැහැ. චිත්‍රපටයක් හදන එක ලේසියි. ඒත් ඒක ප්‍රදර්ශනය කරන්න ගියාම තියෙන අමාරුව දන්නෙ මම, ඇයි කිව්වා.

ඒ කතාවට ඇගේ අධ්‍යක්ෂක ස්වාමි පුරැෂයා අපූරු උත්තරයක් දුන්නා. 
මෙයා කියනවා මේක තමයි නිෂ්පාදනය කරන අන්තිම චිත්‍රපටය කියලා. ඒත් මම චිත්‍රපට හදන එක නවත්තන්නෙ නැහැනෙ. ඉතින් මගේ ඊළඟ චිත්‍රපටය හදන කොට මට වෙන ගෑනියෙක් හොයා ගන්න වෙයිද?

පණ අදින සද්දෙ

අපේ සුපුරුදු අපූරු කතා කියන කලා ශිල්පියාට ඊයෙ පෙරේදා මාර වැඩක්වෙලා. මේ දවස්වල ෂූටිං නැති නිසා ගෙදර ඉන්නෙ. ඒ නිසා ගොඩාක් රෑ වෙනකම් මෙයාට නින්ද යන්නෙ නැහැ. ඔන්න අහල පහල ගේකින් කෙඳිරියක් වගේ සද්දයක් අපේ ශිල්පියාට ඇහෙනවලු. මෙයා එළියට ගිහින් බැලුවලු කොයි ගෙදරින්ද මේ සද්දේ එන්නෙ කියලා.
පසුවදා උදේන්ම ඒ ගෙදර ගිහින් ඔහුගේ අසල්වැසියගෙන් ඇහුවලු ඊයෙ රෑ ඇහුණ අර සද්දෙ ගැන.
“මම හිතුවෙ ඔයාලගෙ සීයට අසනීපයක් කියලා.

“නෑ අයියේ එහෙම එකක් නෑ. වෙන ගේකින් ඒ සද්දෙ ඇහෙන්න ඇත්තෙ.
“නෑ මල්ලියෝ මට ෂුවර් ඒත් කමක් නැහැ අද රෑටත් ඒ සද්දෙ ඇහුණොත් මම කෝල් එකක් දෙන්නම්කො.
ඔන්න එදා රෑත් ඒ සද්දෙම ඇහෙන්න පටන් ගත්තලු. කලා ශිල්පියා අර අසල්වැසි සහෝදරයාට කොල් කරලා කිව්වලු අර සද්දෙ ඇහෙනවා කියලා.

“අයියෝ මේ අපේ දුවට අලුතින් අරන් දීපූ මෙලෝඩිකා එක පුරැදු වෙනවනෙ...

මගේ ළඟ බොරු ඇඬිලි නැහැ

ෂූටිංවලට ගියාම විවිධ වර්ගයේ අය මුණ ගැහෙනවනෙ. නළු නිළියන් අතරත් ඉන්නවා විවිධ දර්ශන දාන කට්ටිය. කරදරකාර නළුවොත් ඉන්නවා. හැබැයි ඉතිං චරිතෙට ගැලපෙනවනම් ඉතිං සමහර අධ්‍යක්ෂවරු ඒ නළුවා කරදරකාරයෙක්ද? පඬියෙක්ද නැද්ද කියල බලන්නෙ නැහැ.

ඔන්න ඒ වගේ ටිකක් වැඩදාන දක්ෂ තරුණ නළුවෙක් ටෙලි නාට්‍යයකට ගත්තලු. කියන දේ ඉතිං අහන්නෙ නැති වුණත් වැඩේ තිතට කරනවා.

එදා තිබුණෙ ඒ නළුවගෙ තාත්තා මැරෙන සීන් එක. තාත්තට ඉන්නෙ වයෝවෘද්ධ ප්‍රවීණ නළුවෙක්.
“දැන් ඔයාට තියෙන්නෙ තාත්තා මැරිලා වැටෙනකොට ප්‍රේක්ෂයන්ගෙ ඇස්වලට කඳුළු පනින විදිහට අඬන එක.* අධ්‍යක්ෂවරයා අර තරුණ නළුවට කියනවලු.

“ඕකේ ඕකේ මම වෙලාවට වැඩේ දෙන්නම් මෙයාට මැරිලා වැටෙන්න කියන්නලු. නළුවා කියනවා.
“එහෙම බෑ අපි රිහසල් එකක් කරලා බලමු, ඊට පස්සෙ ටේක් එකට යමු. අධ්‍යක්ෂකවරයා කියනවා.
“හරි හැබැයි මා ගාව බොරු ඇඬිලි නෑ. අලේ අංකල්ටත් කියන්න බොරු මැරිලි බැහැ කියලා. 

Text – Mithra

 

 

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00