2017 ජනවාරි 21 වන සෙනසුරාදා

සේරම උඹ ගාව උන් මං ගාව

 2017 ජනවාරි 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 105

අද මැස්සා කියන්න යන්නේ මැස්සට ලොවෙත් අදාළම නැති කතාවකි. මැස්සෝ පියාඹනවා මිසක් කොයි රටේද පැන්නේයැයි ඒ නිසා නොඅසන්න. ඇසුවොත් මාගෙනුත් අසා ගන්නට බලාඉන්න. 

පොඩි ළමයින්ට පොඩිම පොඩි කාලයේදිම පනින හැටි ඉගැන්නුවේ මොන්ටිසෝරියේ ටීචර්ය. ඒ පැනිල්ල පුරුදු කරන්නට හාවා එයි. හා.. හා... හරි.. හාවා... පැන පැන ආවා කිය කියා ටීචර් පනියි. ඒ බලා සිට ළමයින්ද පනියි. ඒ වුණාට පොඩ ළමයි පනින්නට දන්නේ නැත. හොදටම පනින්නේ ලොකු ළමයින්ය.

මේ දවස්වල අම්බානක පැනිලි ගැන කතාවේ. එකක් දේශපාලන ලෝකයේය. අනික් එක ටීවී රේඩියෝ චැනල්වලය. දේසපාලන පැනිලිත් චැනල්වලට පනින පැනිලිත් කියන දෙකම පනින්නේ කුට්ටිය වැඩි වෙන විදිහටය. 
මැස්සා මේ දවස්වල නාලිකාවල කරක් ගසන්නේ පනින උන් කවුදැයි දැක බලා ගන්නටය. ගොඩක් නාලිකාවලට දැන් එන නිර්නාමික දුරකතන ඇමතුම් වැඩිය. මැස්සා එක් නාලිකාවකට ගියේය. 

උඹට පාර දෙන්න කියලා මං උඹේ එකෙක් ඉස්සුවා

කතා කරපන්...

උන් අහයිද ඇයි කියලා
ඇයි ඇහුවොත් කියපන් ඩීජේ ශෙහාන්ට කතා කරන්න ඕන කියලා 
හේතුව ඇහුවොත්. 
මට දියන්කෝ. එහෙම ඇහුවොත්...
ඉතින් ඔන්න දැන් මේ හදන්නේ එකෙක් බාන්නටය. වැඩේ කෙරෙන්නේ හොර තාලෙනි. බාන කෙනාට කතා කරන්නේද හොරෙනි. එයාට හොරෙන් කවුරු හරි කතා කරන බවද එයා කලින්ම දනියි. ඉතින් හොරෙන් කීවාට හොරෙන්ම නැතත් හොරෙන් වගේ කතා කළ යුතුය.

හෙලෝ...
මේ කතා කරන්න ආයුබෝවන් අපි මේ අසවල් නාලිකාව
ආහ් මේ ඩීජේ ශෙහාන්ට කතා කරන්න පුළුවන්ද..
කතා කරන්න බැරි අය රේඩියෝවල නෑනේ කවුද මේහ්...
මම මේ කතා කරන්නෙ එයාගේ ලොකු අම්මගේ පුතා
ඇයි දන්නෙ නෑ...
එයාට තමයි කියන්න තියෙන්නෙ කියන්න ඕන දේ.
එයා බීම් එකේ....
ආනේ බීම්එකේ මොකද කරන්නෙ?
උත්තර නොදීම ඇය දුරකතනය තැබුවාය. 
මොකද බං වුණේ...
එයා බීම් එකේ කියන්නෙ. 
ඉතින් බලපන්කෝ ඌව ගේන්නම ඕන. ඌ නැතුව මේක කරන්න බෑ. ලොක්කා ආවොත් ඉවරයි.
කියනකොටත් ලොක්කා ආවේය.
මොකෝ අයිසේ කතා කළාද අරූ

කාටද සර්...
ඇයි අයිසෙ ඩීජේ ශෙහාන්ට
තාම ට‍්‍රයි කරනවා සර්.
අයිසේ... ඌ නැතුව බෑ. ඌව උස්සන්නම ඕන. ලොකු ගාණක් දෙනවා කියනවා.
කීයක් දෙනවද සර්...
කියනවා ලක්ෂ දහයක් දෙනවා කියලා
අම්මට සිරි සර් එච්චර ආදයමක්වත් නෑනේ මෙහෙට...
අයියේ කියනවා කියනවා. මෙතන ඉඳපු එකා ගියා... දැන් මෙතන ගොඩ දාන්න අපිත් එකෙක් උස්සන්න ඕන. 
උන් නැවත කෝල් එකක් ගත්තේය.

හෙලෝ...
ඔව් කියන්න මම කතාකරනකං තමයි බලන් හිටියේ. ගාණ ලක්ෂ 10යි.
ඔහු කීවේය. කතා කරපු දෙන්නාගේ ඇස් ටොම්බා සයිස් වුණේය. 
ඔයා කොහොමද දන්නෙ අපි කතා කරනවා කියලා... 
මැස්සට වගේ ගඳ සුවද දැනෙනවා මට හොෙඳ....
මම සතුටු වුෙණ් ඩීජේලාත් මැස්සන්ව අගය කළ නිසාය. 
කොහොම හරි ඩීල් එක කෙරැණේය. ඩීජේ ශෙහාන් ආවේය. වැඩ පටන් ගත්තේය. ඌ එන විට තව එකෙක් මෙහෙන් ගියේය. ඒ වෙනුවට මෙහේට තව උන් එහෙන් ගත්තේය. එහෙන් ගත්තේය. මෙහෙන් ගත්තේය. එහෙන් පැන්නේය. මෙහෙන් පැන්නේය. ඔක්කොම පැනලා පැනලා කොහොම හරි අන්තිමට දෙපැත්ත මාරූ වුණේය. දැන් එහේ වැඩ කළ ඔක්කොම මෙහේය. මෙහේ වැඩකරපු ඔක්කොම එසේය. 
අවසානයේ ලොක්කෝ දෙන්නා කතා කරනු මට ඇසිණ.

මචං... 
ඇයි මචං?
උඹට පාර දෙන්න කියලා මං උඹේ එකෙක් ඉස්සුවා
ඒ වෙනුවට මාත් උඹේ එකෙක් ඉස්සුවා
අම්මටසිරි... එහෙමද ඒ නිසාම මාත් ආයෙත් ඉස්සුවා
මමත් මොනාද තවත් එකෙක් ඉස්සුවා.
සේරම උඹ ගාව උන් මං ගාව
උඹ ගාව උන් මං ගාව. 
මචං දැන් පොඩි වැඩක් තියෙනවා
මොකද්ද බං
උඹලගෙ චැනල් එකේ බෝඩ් එකත් ඇරන් උඹ මෙහේට පැනපන්. මම මගේ චැනල් එකේ බෝඩ් එක අරගෙන ඔහේට පනින්නම්. එතකොට දෙකම ආයි එක වගේ.
මේ මචං..
ඔව් මචං...

මුන් බන් ඉස්සෝ වගේ එහෙට මෙහෙට පැන්නට සමහර උන්ට මැස්සෙක් තරම්වත් මොළයක් නෑනේ. 
අන්න මට මාරයා නැග්ගේය. මම උන් දෙන්නාගේම කටේ වසා රෝග පතුරා ආවෙමි. 

මම
හොස්ස ළඟින් ගිය මැස්සා.