2017 ජනවාරි 21 වන සෙනසුරාදා

සිස්ටර් සේරා කාටවත් ආදරය කරලා නෑ

 2017 ජනවාරි 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 131

මම දෙවියන් වහන්සේගෙන් කිසිදෙයක් ඉල්ලුවෙ නෑ. ඒත් මේ ලෝකේ කාටවත් කියන්න බැරි දේවල් කවුරුවත් අහන්නෙ නැති දේවල් දෙවියන් වහන්සේට කියන්න මට ඕනැ වුණා. සිස්ටර් සේරා නොපිළිගන්න බොහෝ දේවල් ගැන දෙවියන් වහන්සේත් එක්ක කතා කරන්න මට ඕනැ වුණා. සදාකල් කුරුසියට කැපකරපු දෙවියන් වහන්සේගේ ජීවිතය ගැන හාරා අවුස්සලා බලන්න මට ඕනැ වුණා.

පල්ලියේ හැම තැනකම රැඳී තිබුණු ගුප්ත ස්වභාවය මට දැනුණේ හුඟාක් ප්‍රියජනක විදිහට. මා මෙහි රඳවා තබන්නේ දෙවියන් කෙරේ වූ විශ්වාසයට වඩා ඒ හුදෙකලා බැඳීම බව මට දැනුණා. මම මගේ කුටිය වෙත ඇවිදගෙන ගියේ හදවත වේදනාකාරී හැඟුම් සමුදායකින් කිතිකැවෙද්දී. අංජලී දවසින් දවස මගේ ජීවිතයෙන් ඈත්වෙමින් සිටියා. ඇය මා කුඩා වියේදී මෙන් හුදකලා ජීවිතයකට හුරුවෙන බව මට දැනෙමින් තිබුණා. සිදුවූ සියල්ල සහ සිදුවෙමින් පැවති සියල්ල තුළ මා තේරුම් ගැනීමට යත්ත දරමින් සිටියේ මිනිස්සුන්ගේ සිත් ක්‍ෂණයකින් වෙනස් වීමේ ස්වභාවය ගැන. අංජලීට මා මගේම දියණියකට මෙන් දැක්වූ ආදරය කවදාවත් තේරැම් ගියේ නෑ. ආදරයක් තේරුම් ගැනීමට වයසින් මුහුකුරා යා යුතු නැහැ. ඒත් මනුෂ්‍ය හැඟීම් ළඟ සංවේදී විය යුතුයි. මම මගේ ජීවිත කාලය පුරාම ආදේශ්ගෙන් හැර ඒ සංවේදී බව හෙවුවේ වැරැදි සිත්වලින්ද කියලා මට වෙලාවකට හිතුණා. මම මගේ කාමරයට ගියේ මට මාත් එක්කම තනිවෙන්න සහ කතා කරන්න දැනුණු වුවමනාව නිසා. ඒත් සිස්ටර් සේරා නැවත මා හමුවීමට මගේ කාමරයට පැමිණෙමින් සිටියා.
කරුණාකරලා මාව තේරැම් ගන්න සිස්ටර්... මට ටිකක් තනියෙන් ඉන්න දෙන්න. 

ඔයා ඔයාගෙ ජීවිත කාලයම තනියෙන් හිටියත් කමක් නෑ... ඒත් මේ මොහොතේ අවසාන වතාවට හරි මට ඔයත් එක්ක කතා කරන්න ඕනෑ... 
අවසාන වතාවට.... 
ඔව්.. සමහරවිට ඒක එහෙම වෙන්නත් පුළුවන්... මම කෙනෙක් මගේ ජීවිතයෙන් අත්හැරලා දැම්මොත් ඒ අත්හැරලා දාන්නෙ හැමදාටම...
සිස්ටර් එතකොට මාව සිස්ටර්ගෙ ජීවිතෙන් අයින් කරලා දාන්න තීරණය කරලත් ඉවරයි. දෙයියනේ එහෙම කරන්න මම මොකක්ද සිස්ටර්ට කරපු වැරැද්ද? ඒක හරි අසාධාරණ තීරණයක් සිස්ටර්... 
මම ගන්න තීරණවල හරි වැරැද්ද, සාධාරණ අසාධාරණබව හොයන්න ඔයා මගේ කවුද දුල්යානා? 
ඇයි... සිස්ටර් මේතරම් නපුරැ විදිහට මට කතා කරන්නේ? මගේ ඇස් අග්ගිස්සේ ගුලි ගැහෙමින් තිබුණු කඳුළු අත්ලෙන් පිස දමමින් මම ඇහුවා. 

එහෙම කතා කළේ ඔයත් මේ පල්ලියට ආවේ කාත් කවුරුත් නැති අනාථයෙක් විදිහට කියලා මට මතක් කරලා දෙන්ට ඕනෑ නිසා. 

සිස්ටර් මට පුදුමයි සිස්ටර් මට මේ කතා කරන විදිහ... දෙවියන් වහන්සේ වෙනුවෙන් කැපවෙච්ච කෙනෙකුට මෙහෙම කතා කරන්න පුළුවන්ද සිස්ටර්... සිස්ටර් සේරා කවදාවත් කාටවත් ආදරය කරලා නෑ. ඒකයි මේ තරම් නපුරු විදිහට කතා කරන්නේ. අඩුම තරමින් දෙවියන් වහන්සේටවත් ආදරේ... 

වහගන්න දුල්යානා කට... ඔයාට කොහොමත් හෙට ඉඳන් මේ පල්ලියේ ඉන්න බෑ.. හිතාගන්න ඔයා මේ පල්ලියේ ගෙවන අන්තිම හැන්දෑවත් රාත්‍රියත් මේක. 
නෑ.. මම මෙහෙන් යන්නෙ නෑ සිස්ටර්... මට යන්ට තැනක් නෑ.