2018 අප්‍රේල් 21 වන සෙනසුරාදා

අවුල් නොවී පවුල් කන හොලිවුඩ් තරු ජෝඩු 8 ක්

 2018 අප්‍රේල් 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 131

හොලිවුඩය කියන්නේ කසාදවලට වඩා දික්කසාදවලට වැඩි ඉඩක් තියෙන තැනක් විදිහටයි ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ. බැලූ බැල්මට පේන්න තියෙන්නේ එහෙමයි. විශේෂයෙන්ම හොලිවුඩයේ ආදර්ශමත්ම පවුල විදිහට හිටපු ඇන්ජලීනා ජොලී සහ බ්‍රැඩ් පිට් යුගලයේ වෙන් වීමත් එක්ක හොලිවුඩය තුළ ආදරේට වැඩි ආයුෂ නැහැ කියලා නැවතත් කියවෙන්න පටන් ගත්තා. හැබැයි අපි මේ කියන්න හදන්නේ හොලිවුඩය ඇතුළේ තවමත් ආදරය රැකගෙන ඉන්න පවුල් කිහිපයක් ගැනයි. 

Tom Hanks and Rita Wilson
ටොම් හෑන්ක්ස් කියන්නේ හොලිවුඩයේ ඉන්න දක්ෂ ඒ වගේම ගොඩක් සම්මාන හිමිකරගත් නළුවෙක්. ඔහුට රීටා විල්සන් හමුවන්නේත් චිත්‍රපටි පසුබිම් තලයකදීමයි. ඒ 1988දී. ඉතා ඉක්මණින් විවාහ වුණු මේ යුවල කාටත් ආදර්ශවත් පවුල් ජීවිතයක් ගතකරමින් ඉන්නවා. 

Will Smith and Jada Pinkett Smith
1994 වසරේදී විල් ස්මිත් සහ ජේඩා චිත්‍රපටයක චරිතවලට තෝරාගැනෙනවා. ඒ ජේඩා විල් ස්මිත්ගේ පෙම්වතිය ලෙසයි. නමුත් පසුව කුමක් හෝ හේතුවකට ජේඩාට එම චරිතය මඟහැරී යනවා. චරිතය මඟ හැරුණත් ඈට විල් ස්මිත් අහිමි වන්නේ නෑ. 1997දී විවාහ වුණු මොවුන් දෙදෙනා දැන් දෙදරු මාපියන්. 

Elizabeth Banks and Max Handelman
එළිසබෙත් බෑන්ක් කියන්නේ දක්ෂ හොලිවුඩ් නිළියක්. ඈට තමන්ගේ සැමියා වන මැක්ස් හැන්ඩල්මන් මුණ ගැහෙන්නේ පාසල් වියේදීමයි. ඉතින් අනූව දශකයේදී පටන් ගත්තු ඒ ආදරය 2003 අවුරැද්දෙදි විවාහයක් බවට පත්වෙනවා. එදා සිට අද දක්වා මේ අවුරුදු පහළොවක් තිස්සේ මේ ආදර කතාව ගලාගෙන යනවා. 

Matt and Luciana Damon
මැටි ඩේමන් කියන්නේත් හොලිවුඩයේ ඉන්න දක්ෂ ජනප්‍රිය නළුවෙක්. ඔහුට තම බිරිඳ වන ලුසියානා හම්බවෙන්නේ 2003දීයි. ඊටපස්සෙ අවුරුද්දේම කසාද බඳින මේ ජෝඩුවත් හොලිවුඩයේ හොඳින් පවුල් කන දෙපළක් විදිහට ප්‍රසිද්ධයි. 

David and Victoria Beckham
ඩේවිඩ් බෙකම් කියන්නේ නම් නළුවෙක් නෙමෙයි, එංගලන්තය බිහිකරපු දක්ෂතම පාපන්දු ක්‍රීඩකයෙක්. හැබැයි ඔහුගේ බිරිඳ වන වික්ටෝරියා විවාහයට කලින් බටහිර ජනප්‍රිය ගායිකාවක්. 1999දී විවාහ වුණු මේ පවුල අවුරුදු විස්සකට ආසන්න තම විවාහ ජීවිතය බොහොම සාර්ථකව ගත කරන බවයි දැනගන්න තියෙන්නේ. බෙකම් යුවලට දරුවන් හතරදෙනෙකුත් සිටිනවා. 

Elton John and David Furnish
අනූව දශකය තුළ අතිශය ජනප්‍රිය වෙච්ච කාටූන් චිත්‍රපටයක් තමයි ද ලයන් කින්ග්. ඒ චිත්‍රපටයේ සුන්දර ගීත ගැයුණේ එල්ටන් ජෝන්ස්ගේ හඬිනුයි. මේ දක්ෂ ගායකයා විවාහ වී සිටින්නේ ඩේවිඩ් ෆර්නිෂ් නමැත්තෙකු සමඟයි. 1993දී ආදරයෙන් බැඳුණු මේ දෙපළ 2005දී සිවිල් සම්බන්ධයකටත් 2014දී විවාහයකටත් මුල පිරුවා. 

Beyonce and Jay Z
බියොන්සේ සහ ජේ සී දෙදෙනාම හොලිවුඩයේ ජනප්‍රිය ගායක යුවලක්. මේ දෙදෙනා හමුවන විට බියොන්සේගේ වයස අවුරුදු 19යි. 1999 ඉඳන් 2008 වෙනතුරු පෙම්වතුන් ලෙස කාලය ගතකළ මේ දෙදෙනා විවාහ වුණේ 2008දීයි. 

Steve and Nancy Carell
ස්ටීව් සහ නැන්සි කැරෙල් දෙදෙනා මුණගැහෙන්නේ අනූව දශකයේ මුල් කාලයේදී චිකාගෝ නුවරදීයි. 1995දී හොලිවුඩයේ විකට චරිත ගණනාවකට පණ පොවා ඇති ස්ටීව් සහ නැන්සි අතර විවාහය සිද්ධ වෙනවා.  

► Text — Rehan