2017 ජනවාරි 21 වන සෙනසුරාදා

ස්වර්ණා

 2017 ජනවාරි 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 408

බල්ලන්ට දඩාවතේ යන්න දෙන්න බෑ. එක්කෝ උන් බැඳලා දාන්න ඕනේ. නැත්නම් මරලා දාන්න ඕනේ. මට පුළුවන් බල්ලව බැඳලා දාන එක විතරයි...* දඩයම චිත්‍රපටයේ රත්මලීගේ චරිතය හරහා ස්වර්ණා මල්ලවආරච්චි ප්‍රකට කළ ඒ ප්‍රබල රංගනයට මේ වනවිට වසර 35ක් ගතවී තිබෙනවා. ඈ තුළින් පිළිබිඹු වුණ සියුම් භාව ප්‍රකාශනය, ඒ කටහඬෙහි තිබුණු හැඟුම්බර සුවිශේෂත්වය, ඒ මතකය තවමත් අලුත්ය, නැවුම්ය.

සිංහල සිනමා වංශ කතාවේ පුරුෂාධිපත්‍යයට අභියෝග කළ ප්‍රබල කාන්තා භූමිකාවන් තුළින් ප්‍රේක්ෂක සිත් සතන් වසඟයට පත් කළ, දේශීය සිනමාවේ ස්වර්ණමය යුගයේ තවත් එක් කැපී පෙනෙන පුරුකක් වූ ස්වර්ණාගේ සිනමා දිවියට අඩසිය වසක් පිරී ඇත. 1966 දී සත් සමුදුර සෝමාගේ චරිතය හරහා සිනමා ප්‍රේක්ෂකයින්ගේ සිත් තුළ නැවුම් බලාපොරොත්තුවක් එකතු කළ ස්වර්ණා, හන්තාන කතාවේ සුභා, හංස විලක් ඩල්සි, දඩයමේ රන්මලී, සුද්දිලාගේ කතාවේ සුද්දී, කැඩපතක ඡායා නන්දා, බවදුක නෝනේ, අයෝමා ලාලනී, අනන්ත රාත්‍රිය අයිරින්, සාගර ජලයේ හීන් මැණිකා වැනි අති විශිෂ්ඨ  චරිත නිරූපණයන් තුළින් ලාංකික සිනමාව පෝෂණය කළාය.
එදා මෙදා තුර ඇය රඟපෑ චිත්‍රපට ප්‍රමාණය හා සමානව සම්මානයටද පාත්‍රවී සිටි.

ඇගේ සිනමා දිවියේ 50 වැනි වසර සමරන ස්වර්ණා, රූපවාහිනි ටෙලි නාට්‍යවලට සම්බන්ධ නොවීම සුවිශේෂී සාධකයක් වුවද, ඇය රූපවාහිනී නාලිකා පිළිබඳව කතා කරන්නේ දැඩි ප්‍රසාදයකිනි.
“ඇත්තෙන්ම මගේ සිනමා දිවියේ මතකයේ රුඳෙන චරිත රුසක්ම නිරූපණය කළේ 60, 70 හා 80 දශකවල තිරගත වුණු සිනමා නිර්මාණවල. ඒත් අද වර්තමාන තරුණ පරම්පරාව අතරත් මම ජනප්‍රියවෙලා ඉන්නෙ ඒ පැරුණි චිත්‍රපට රූපවාහිනී නාලිකා හරහා විකාශය කරන නිසයි. ඒ ගැන මම රූපවාහිනී නාලිකාවලට ණය ගැතියි. ස්වර්ණා හදසර හා හඬ අවදි කරමින් කීවාය.

පුංචි තිරේට නොගිය 
පෙරළිකාරිය

ගෙවුණු වසර 50 දෙස ආපසු හැරිලා බලද්දී ඔබට සතුට දනවන තැන්, දුක හිතෙන තැන් තියෙනවද?
සිනමාවෙ අවුරුදු 50ක් ගෙවුණද කියලා හිතෙනකොට මට පුදුමත් හිතෙනවා. කාලය කොච්චර ඉක්මණට ගෙවිලා ගිහින්ද? ඒත් ආපසු හැරිලා බලද්දී මට කනගාටුවක්, දුකක් දැනෙන්නෙ නැහැ. නැවත ජීවිතය මුල ඉඳන් පටන් ගන්න අවස්ථාවක් ලැබුණොත් මම සිනමාවෙ හා ජීවිතයෙන් පහු කළ ඒ ගමන් මඟම තෝරාගන්නවා.

සුවිශේෂී චිත්‍රපටවල ඔබට ලැබුණු ප්‍රබල චරිත හා ඔබට ලැබුණු සම්මාන ගැන ආවර්ජනය කිරීමේදී සිංහල සිනමාවේ වාසනාවන්තම රංගන ශිල්පිනිය ඔබයි කියලා හිතෙන්නෙ නැද්ද?
මම ආඩම්බරෙන් කියනවා නෙවෙයි. මම තරම් මම කරපු චරිත ගැන සෑහීමකට පත්වෙන්න පුළුවන් වෙනත් නළුවෙක් හෝ නිළියක් නැතුව ඇති. ඔව් මට හැමදාම ලැබුණෙ හොඳ චරිත.

මම කළ වැඩ ගැන මටම පුදුමයි

ඔබට ලැබුණෙ අභියෝගාත්මක චරිත. ඒවා සාර්ථකව ප්‍රතිනිරුපණය කරන්නට බලපෑ සාධක ගැන කියනවනම්?
ඇත්තෙන්ම මම ලන්ඩනයට ගොස් නැවත ලංකාවට ආවම මට ලැබුණෙ දෙවෙනි චරිත. ඒ වෙනකොට අලුත් නිළු නිළියො, විශේෂයෙන් නිළියො සිනමාවට අවතීර්ණවෙලා හිටියා. ඒනිසා මාව සොයාගෙන ඇවිත් බලෙන් චිත්‍රපට දෙන්න කවුරැත් හිටියෙ නෑ. ඒ කාලෙ මම හරි කෙසඟයි. ඒ කාලේ සුපුරැදු නිළි රෑ සපුවක හැඩකළ හෝ ප්‍රතිමූර්තියක් මගෙන් දිස්වුණේ නැහැ. ඒත් හංස විලක් වගේ චිත්‍රපටයකින් ධර්මසිරි බණ්ඩාරනායකට පුළුවන් වුණා ඒක වෙනස් කරන්න. සිනමාවේදීන්ට මගේ වෙනස්, සුවිශේෂී කුසලතාවන් හඳුනාගන්නට පුළුවන්කම ලැබුණා. ඊට පස්සේ මට ලැබුණෙ ප්‍රබල ප්‍රධාන චරිත. ඒ අභියෝගාත්මක චරිතවලට ජීවය දෙන්න අධ්‍යක්ෂකවරුන් සමඟ කළ සාකච්ඡා ප්‍රබල සාධකයක් වුණා. ඇත්තෙන්ම මම කළේ අධ්‍යක්ෂකවරයාට අවශ්‍ය දේ තේරුම් අරගෙන එය ප්‍රතිනිර්මාණය කිරීමයි. ඒ කාලෙ දර්ශන තලයට ගියාම අපි ජීවත් වුණේ අපේ චරිත තුළ. පත්තරයක්වත් කියෙව්වෙ නැහැ, ගුවන් විදුලියවත් ඇහැව්වේ නැහැ. අපි දැඩි කැප කිරීමකින්, භක්තියකින් හා සතුටකින් තමයි සිනමා නිර්මාණවලට දායක වුණේ. අද නම් ඒ තත්ත්වය වෙනස් කියලා තමයි බොහෝ දෙනා කියන්නෙ.

නිහාල්සිංහ කිව්වා 
අත පුච්චගන්න එපා කියලා

පහසුකම් අතින් එදා සිනමාව තිබුණෙ පහළ තැනක. ඒත් අපේ සිනමා අධ්‍යක්ෂකවරු සිනමා ශිල්පීන්, තාක්ෂණ ශිල්පීන් මේ වෘත්තියේ යෙදුනෙ හරියට ආගමක් අදහනවා වගේ දැඩි භක්තියකින්. මගේ වාසනාවට මට බුද්ධිමත් අධ්‍යක්ෂකවරු, හොඳ තිරනාටක, හොඳ සංරක්ෂණ ශිල්පීන් සමඟ වැඩ කරන්න වාසනාව ලැබුණා.
දඩයමෙන් පස්සෙ සිනමාවෙ ගැහැනියකගේ ප්‍රතිරූපය වෙනස් වුණා. ඒ උත්තේජනය තුළින් අපේ ජනප්‍රිය සිනමා නිළියන් රුසක් චිත්‍රපට නිෂ්පාදනයට යොමුවෙලා ප්‍රබල කාන්තා චරිත පිළිබිඹු කළා.

චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්න ඔබට හිතුණේ නැද්ද?
ඇයි නැත්තෙ. මට ඒ සඳහා බැංකු ණයකුත් අනුමත වුණා. ඒත් ඩී.බී. නිහාල්සිංහ මහත්තයා මට කිව්වා අත පුච්චගන්නෙ නැතුව නිකං ඉන්න කියලා. අධ්‍යක්ෂණය ගැන කොහොමත් මගේ කැමැත්තක් තිබුණෙම නැහැ. ඉන් පස්සෙ මගේ කාලය ගොඩාක්ම යොමු වුණේ මගේ දුව නරේන්ද්‍රාගේ අධ්‍යාපන කටයුතු සඳහාත්, මගේ ව්‍යාපාර කටයුතු සාර්ථක කරගැනීම සඳහාත්. ඒ කාලෙ මම සාප්පු හතරක් තිබුණ කාර්ය බහුල ව්‍යාපාරිකාවක්.

ධර්මසිරි මාව වෙනස් කළා

සිනමාවට, රංගනයට දුවගෙ කැමැත්තක් තියෙනවද?
මට වඩා, එයාගෙ තාත්තට වඩා ලෝකෙ තියෙන හොඳම චිත්‍රපට හා නාට්‍ය බලලා තියෙන්නෙ මගේ දුව. ඇය උසස් අධ්‍යාපනය පැත්තට දැඩි ලෙස යොමු වුණාට රංගනය පැත්තට යොමු වුණේම නැහැ. එහෙම ආසාවකුත් නැහැ. අදින් ඇරඹෙන මගේ චිත්‍රපට උළෙලත්, 26 වැනිදට පැවැත්වෙන උපහාර සම්මාන උළෙලත් සංවිධානය කරන්නෙ මගේ දුවයි එයාගෙ තාත්තා ධර්මසිරි බණ්ඩාරනායකත් එකතු වෙලා. ඒ වෙනුවෙන් දුවයි, තාත්තයි සෑහෙන්න මහන්සි වෙනවා. ඒත් ඉතිං මම වගේ නිළියකගේ චිත්‍රපට උළෙලකට අනුග්‍රාහකයින් සෙවීම ලොකු ගැටලුවක් වෙලා. මොකද දැන් ආයතන බලන්නෙ වාණිජ වාසි විතරයි.

පුංචි තිරේට නොගිය පෙරළිකාරිය

ඔබ කිසිම දවසක ටෙලි නාට්‍යක රඟපාලත් තැහැ, දේශපාලනයට සම්බන්ධවෙලත් නැහැ?
කවදාවත් නැහැ. ටෙලි නාට්‍යවලට වගේම දේශපාලනයටත් ඒ කාලෙ ඉඳන්ම ආරාධනා ලැබුණා. එදත් මම බැහැ කිව්වා. අදත් බැහැම තමයි.

සිනමාවේ වසර 50කින් ඔබ්බට ඔබේ බලාපොරොත්තුව?
මට තව දේවල් කරන්න පුළුවන්. සමහරු තාම හිතන්නෙ සිනමා පටයක කොල්ලයි, කෙල්ලයි ඉන්න ඕනෙ කියලා. ඒත් ලෝකෙ අනිත් රටවල් දිහා බැලුවම පරිණත නිළියන් සුවිශේෂී දායකත්වයන් සිනමාවට ලබාදීලා තියෙනවා. මගෙත් බලාපොරොත්තුවක් තියෙනවා හොඳ චිත්‍රපට දෙක තුනකට දායක වෙන්න.

Text — Ramesh Uvais - Pic-Internet