ඔහු සීනිබෝල නළුවෙකු නොවේ. ආදරය කිරීමේදී ආදරයත් දඩබ්බරකමේදී දඩබ්බරකමත් ඔහුට ආවේණික ය. නිතර නිතර පුංචි තිරය රිදී තිරය එකළු නොකළද ඔහුගේ සීමිත චරිත නිරෑපණය නිතර නිතර කතිකාවට බඳුන් කිරීමට පවා මඟ පාදයි. ආලෝකෝ උදපාදී සිත්තම් පටය හරහා මේ දිනවල ඔබ හමුවට එන ඔහු රොෂාන් රවීන්ද්‍රයි.
මේ දවස්වල මොකද කරන්නෙ?
මේ දවස්වල නාමල් ජයසිංහගෙ සහෝදරයා ටෙලි නාට්‍යයෙයි, ජයලත් මනෝරත්නගෙ ටෙලි නාට්‍යකයි වැඩ කරගෙන ඉන්නවා.
ලංකාවේ ටෙලිනාට්‍ය ගැන මොකද හිතෙන්නේ?
ලංකාවේ ටෙලිනාට්‍ය මේ වෙනකොට නිර්මාණ තලයකට ගේන්න පුළුවන් වටපිටාවක් නෑ. කවුරුම හරි කියනවනම් ඒකට වග කියන්න ඕනි ආර්ටිස් කියලා මම එතන නෑ. මොකද ආට් කියන එක මිනිස්සුන්ට වැදගත්. හැබැයි ඒ වැදගත් දේ මිනිස්සුන්ට දෙන්න ඕනි කියන තැන රජය නෑ. ටෙලිනාට්‍ය කලාව අර්බුදයක තියෙන්නෙ. රජයේ මිනිස්සුන්ගෙ ඇස් කන් ඇරෙන්න ඕනි.
මෙගා ටෙලිනාට්‍ය ප්‍රතික්ෂේප කරන්නෙ ඇයි?
මම මෙගා නාට්‍ය ප්‍රතික්ෂේප කරන්නෙ වෘත්තිමය තලයක ඉඳගෙන. ලංකාවේ මෙගා නාට්‍ය කියලා කරන්නෙ ඉන්දියාවේ එක්තරා නාලිකාවකින් ගෙනැල්ලා පැලපදියම් කරපු පිළිකාව. මෙගා නාට්‍ය අපිට වැදගත් විදිහට කරන්න පුළුවන්. ඔෂින් වගේ ලස්සන නාට්‍ය තිබුණනෙ අපිට. ලංකාව වගේ පොඩි රටක මෙගා නාට්‍ය කරපුවාම එකම නළු නිළි පිරිසකට තමා බෙදිලා යන්නෙ. ගොඩක් අයට අවස්ථාවක් හම්බවෙන්නෙ නෑ.
රඟපෑම වෘත්තියද?
අනිවාර්යයෙන්ම.
ඔබ සීමිත චිත්‍රපට හතරකට පහකට පමණයි දායකවෙලා තියෙන්නෙ. ඒකට හේතුවක් තියෙනවාද?
මෙහෙමයි ලංකාවේ ගොඩක් චිත්‍රපට කෙරෙන්නෙත් නෑනෙ. මට චිත්‍රපටවලට කතා කෙරුවම ඒකෙ වෘත්තිය මහන්සිය මට එන් නෑ කියලා තේරුණොත් මම ප්‍රතික්ෂේප කරනවා. මට අවශ්‍ය නැති හෝ මට හෘද සාක්ෂියට එරෙහිව කරන්න බැරි ඒවත් මම ප්‍රතික්ෂේප කරනවා.
ආලෝකෝ උදපාදී හි ඔබේ චරිතය ගැන ඔබ තෘප්තිමත්ද?
ඔව් මම ඒ චරිතයේ යමක් කළා. ආලෝකෝ උදපාදී චිත්‍රපටය කළේ අපේ සිනමාවට ආදරේ කරන සිනමාව ගැන විශ්වාසය තියන තරුණයෝ දෙන්නෙක්. මට හිතෙනවා ලංකාවේ මෙතෙක් නිර්මාණය වුණු බෞද්ධ කතා අතරෙ ආලෝකෝ උදපාදී වෙනසක් ගනී කියලා.
ඔබ ටෙලිනාට්‍ය නිෂ්පාදනයට අත ගැහුවා. ඒකට මොකද වුණේ?
ලංකාවේ නිර්මාණාත්මක තලයට ඉඩ නෑ. මම කළේ කොටස් 25ක නාට්‍යයක්. ඉල්ලන්නෙ කොටස් 100, 200 ඒවා. මම මගේ නිර්මාණ කොටසකට ලක්ෂ 3 ක් වියදම් කළාම මට ගෙවන්නෙ නැත්නම් මම ආයිත් ටෙලිනාට්‍යයක් කරන්නෙ කොහොමද. මම ගෙවල් දොරවලුත් නැති කරගෙන නාට්‍ය කරලා දැන් හොටත් බිම ඇනගෙන ඉන්නෙ. ලංකාවේ නිර්මාණාත්මක වටපිටාවක් හැදෙන්න ඕනි. එහෙම වුණොත් අපි නිර්මාණ නොකර ඉන්නෙ නෑ.
කැමතිම නළුවා නිළිය කවුද?
එක්කෙනෙක් කියලා නෑ. මාලනී ෆොන්සේකා, අයිරාංගනී සේරසිංහ මහත්මිය කෞශල්‍යා ප්‍රනාන්දු, චාන්දනී සෙනෙවිරත්න, මහේන්ද්‍ර පෙරේරා, ජෝ අබේවික්‍රම මේ අයට මම කැමතියි.
රඟපාන්න ලැබුණානම් හොඳයි කියලා චරිතයක් තියෙනවාද?
මම දන්න වෘත්තිමය තලයෙ මම දන්න සිනමාව ඇතුළෙ මට කිසිම දෙයක් රඟපාන්න ලැබිලා නෑ. අපි තාම සිනමාව අතගානවා විතරයි.
වේදිකා නාට්‍යවලට සම්බන්ධ වෙන්නෙ නැද්ද?
වේදිකා නාට්‍යවලට සම්බන්ධ වුණොත් එහෙම මට ළමයින්ට කිරිපිටි පැකට් එකක්වත් අරන් දෙන්න වෙන්නෙ නෑ.
ඔබ රඟපාන්නෙ තෝරා බේරා ගෙනද?
තෝරා බේරාගෙන රඟපාන්නත් ලංකාවේ නිර්මාණ නෑනෙ.
කලකිරීමෙන්ද කතා කරන්නෙ?
ඔබ හිතන්නෙ සතුටින් ඉන්නව කියලද. මම විතරක් නෙවෙයි. හැම ක්ෂේත්‍රයකම අය ඉන්නෙ කලකිරීමෙන්. මම මේ දේශපාලන පක්ෂෙකට බණිනවා නෙවෙයි. ඔය කවුරුත් අපිට කරපු දෙයක් නෑ.
නළුවෙක් නොවුණ නම් රොෂාන් රවින්ද්‍ර කවුරු වෙයිද?
ඇත්තමයි එහෙනම් මම ලංකාවෙත් නෑ. මම හීනවලට යන්න ආස නෑ .හැම වෘත්තියකම ගැටලුවක් තියෙනවා .මම මේසන් බාස් කෙනෙක් වෙලා ඉපදුනානම් මට මේසන් වැඩේ කරගෙන ළමයින්ට කන්න දීලා හවසට කසිප්පු ටිකක් බීලා ඉන්න තිබුණනෙ. දැන් එහෙම කරන්න බෑනෙ.
ආපු මඟ හැරිලා බලද්දී?
හැරිල බලද්දි නම් මට ගොඩක් සතුටුයි. මොකද මම පොඩි කාලේ හුඟක් දුක් වින්දා. දැන් මම එක්තරා පිළිවෙළකට ජීවත් වෙනවා. මේ පවතින ක්‍රමය ගැන හිතලා බලද්දී තමා මට දුක හිතෙන්නේ.
පෞද්ගලික ජීවිතේ තොරතුරු මොනවද?
මගේ වයිෆ් එක්ක මම සතුටින් ඉන්නවා. රණ්ඩු වෙවී යාළු වෙවී අපි හොඳින් ඉන්නවා. මට දුවෙකුයි පුතෙකුයි ඉන්නවා. අපේ ජීවිතේ සතුටින් ගෙවෙනවා.
Text – Thanu - Pic - FB