මොකද ඔච්චර සද්දෙන් දොර ඇරියේ..? කැඩිලා ගියොත් ඒ හදන්න යන්නෙත් තාත්තගේ සල්ලි නේද?
කුඩම්මා එහෙම කියද්දී මගේ කම්මුල් දෙක තව ටිකක් පිම්බුණා.
ඒ පාර මට රවනවද? ගෙට එළිය වැටෙන්න ඉස්සර ඇහැරෙන්න ඕන කියලා ඔය ළමයාගේ අම්මා කියලා දීලා නැද්ද?
අම්මා දැනගෙන හිටියා මම ළමයෙක් කියලා.. එහෙම කියපු මම ආයෙත් කාමරයට ගිහින් දඩස් ගාලා දොර වහ ගත්තා. ඇවිත් එක දවසයි. කොහොමද කට. මගේ හිතට ආවේ අම්මගේ මතක ඔක්කොම අපේ ගෙදරින් අතුගාලා දාන්න ආව යක්ෂණියක් කෙරේ ඇතිවෙන කේන්තියක්. ෂික් උදේ පාන්දර මගේ නින්ද කඩලා දැම්මා...
අමර්..
මොන කන්කරච්චලයක්ද මන්දා? මම ඒ හඬ නෑහෙන්න පොරෝණයෙන් ඔළුව වහගෙන ආයෙත් ඇඳේ ගුලි ගැහුණා.
මේ මොන අමන වැඩක්ද මේ ළමයා කරලා තියෙන්නේ.. දවස් ගාණක් කන්න තිබුණු කෑම නේද? අයියෝ භගවාන් මෙහෙමත් නැහැදුණු ළමයෙක්. කෑමවලට අතදාලා කෑම අරන්.. මේවා නරක් වුණොත් මොන අපරාදයක්ද? සමර්කාන්ත් දැනගත්තොත් මමත් බැණුම් අහනවා... කොයි වෙලාවෙද මේ ළමයා මේ හොරා කෑවේ..? අයි.. අයියෝ..
කුඩම්මාගේ කියවිල්ල ඉවර වෙන පාටක් නෑ.. මම ඇඳේ එහෙට මෙහෙට පෙරළුණේ ඇස් දෙකට නින්ද ඉල්ලගෙන. ඒත් මගේ හිත හුළඟට අහුවෙච්ච තණකොළ යායක් වගේ... එහෙට මෙහෙට හරි කලබලේ... තාත්තා එන්න ඉස්සර ගෙදරින් මාරු වෙන්න ඕනෑ. එහෙම හිතාගෙන තුවායයි ඇඳුමකුයි පොදි ගහ ගත්ත මම එක පිම්මේම ගඟට දුවගෙන ආවා. ගඟ වෙනදා වගේම නිසංසලේ ගලාගෙන ගියා. ගඟ දෑල දම් පාට මල් පිපෙන ළා කොළ පැහැ දිගු පත්‍ර සහිත පැළෑටි හැමතැනකම පිරිලා. ඒ මල් මැද කහ පැහැ රේණු පිරී තිබුණා. ඒ රේණු මතින් සුවඳට මුසු කළ සුළඟ මගේ නැහැ අග්ගිස්සේත් ඇවිත් ඔහේ දැවටුණා. ඒ සුවඳත් එක්ක මට මතක් වුණේ අම්මා හරි ආසාවෙන් ළඟ තබාගෙන හිටි එයාගේ විලවුන් කුප්පිය. ඒ විලවුන් කුප්පියෙන් ආවෙත් ඒ දම්පාට මල්වලින් එන සුවඳ.. මගේ තාත්තා මහ නපුරු විදිහට උදුරා ගත්තේ මගේ අම්මා ළඟින් ආව ඒ සුවඳ... ඇයි තාත්තලා මෙච්චර නපුරු...?
මම ගඟ ඉවුරේ ඉඳගෙන මගේ රෙදි පොදිය පැත්තකට වීසි කරලා දැම්මා.. මට වෙලාවකට කුරුල්ලෙක් වෙලා අහසේ පියාඹන්න හිතුණා. තවත් වෙලාවක ගඟට පැනලා මැරෙන්න හිතුණා. ඒත් ආයෙත් හිතුණා කෝ මැරුණම මොකුත් නෑනේ කියලා. එහෙම හිතෙද්දී අනිත් හැමදේටම වඩා තදින් මට මගේ ජීවිතය අල්ලා ගන්න හිතුණා.
ආ.. පොඩ්ඩෝ.. මොකෝ කවදාවත් නැතුව අද උදේම නාන්න ඇවිත්..
හිතුණා
කුඩම්මා කීවද නාලා වරෙන් කියලා?
මම මොකුත් නොකියා අනිල් මාමා දිහා රවලා බැලුවා.
වරෙන් මාත් එක්ක පීනන්න
මට බෑ.
අනිල් මාමා හිනාවෙවීම වතුරට බැහැලා කරවටක් වතුරේ ගිලුණා.
ෂා කදිමට සීතල වතුර ටික...
හ්ම්... මමත් එහෙම කියාගෙනම වතුරට පැන්නා... මම උදේම නාන්න එන්නේ හුඟක් කලතුරකින්.. ඒත් මට අද හුඟක් වෙලා ඒ සීතල වතුරේ ගිලී ඉන්න හිතුණා.. ගඟ දිය දිගේ ඈතට ඈතට ඇදී යන්න මට හිතුණා...
මම සුවඳ සබන් කෑල්ලක් අරන් ආවා.. මට තෑගී හම්බුණා මම බඳින්න ඉන්න ගෑනු ළමයාගෙන්.. සුවඳ හිටින්න ගාලම නා ගන්න.
එපා.. ඕනේ නෑ
සබන් නොගා නාලා වැඩක් තියෙනවද අමර්?
මම කිසිම උත්තරයක් නොදී ගොඩට ඇවිත් ගඟ ඉවුරේ ඉඳගත්තා.
කෝ නාලා ඉවරද?
අනිල් මාමා ඇහුව ප්‍රශ්නේ නැහුණු ගාණට මම දිය බේරී බේරී ගෙදර දිවුවා. රෙදි පොදිය ඇඟට තුරුලු කරගෙන එක පිම්මේ ගෙදරට දුවගෙන ආව මම වතුර වැක්කෙරි වැක්කෙරිම කාමරය ඇතුළට රිංගා ගත්තා.
අමර් දොර අරිනවා
උදේට කන්න තාත්තා ඇවිත්.. ෂික් අනිල් මාමා නාවානම් මම උදේ වරුවම ගඟේ ඉන්නවනේ.. එයාටත් ඕන නැති ඕපදූපයක් නෑ... වෙන දෙයක් වෙච්චාදෙන්. එහෙම හිතාගෙන මම කාමරේ දොර ඇරලා දැම්මා.
මොකද මේ ලෙඩ කපුටෙක් වගේ තෙමීගෙන..? මෝඩ බකමුණා.. මොකක්ද අර ඊයේ කරලා තියෙන අසික්කිත වැඩේ?
මොන වැඩේද?
දන්නෙම නෑ එතකොට.. කුඩම්මත් එහෙම කියාගෙනම එතෙන්ට ආවා.
අර ශීතකරණයේ තිබුණු කෑමවලට කරපු අපරාදේ.. ඒවා නරක් වුණොත් උඹ ඒ කෑම ඔක්කොම කන්න ඕන.. නාස්තිකාරයා.. තාත්තා හාල්, හකුරු එක්ක කොච්චර හැප්පුනාද මේ සල්ලි හම්බකරන්න...
මට ඊයේ රෑ හුඟක් බඩගිනි වුණා.. විදුලිය තිබුණෙත් නෑ.
මම එහෙම කියද්දීම තාත්තා පුරුදු විදිහට මගේ කනෙන් අල්ලලා මිරිකුවා.
අද උදේට බඩගින්නේ හිටපන්.. නැත්නම් උඹව හදන්න බෑ.. අනිත් දවසේ හිතුවක්කාර වැඩ කළොත් මිදුලේ කූඹි ගොඩේ දණ ගස්සවලා තියෙනවා.
තාත්තා එහෙම කියාගෙන ගිහින් කුඩම්මත් එක්ක කෑම මේසයට වාඩි වුණා. මම ඇඟිලිවලින් ඉස්සිලා කෑම මේසයේ තියෙන්නේ මොනවද බැලුවා. කුඩම්මා ඊයේ අලයි, කුකුල් මසුයි එක්ක කන්න පරාටා හදලා තිබුණා. ඒත් කුඩම්මවත් තාත්තවත් මට එයාලත් එක්ක කෑම කන්න කතා කළේ නෑ.
තාත්තගේ අලුත් ජීවිතේ පටන් ගත්තා විතරයි තාත්තා හුඟක් වෙනස් වෙලා කියලා මට හිතුණා. මම ඇඳ ඇතුළට ඔළුව දාලා ඊයේ කාලා ඇඳ ඇතුළට තල්ලු කරපු පිඟාන එළියට ගත්තා. පිඟානෙන් එකක් තෙල් කුඹි පිරිණු පිඟාන දකිද්දී මට නිකම් ඔක්කාරෙට වගේ ආවා.
මම දඩස් ගාලා පිඟාන බිම අතහැරියා.
► අනුවර්තනය : චන්දන වරාවිටගේ & සංජු