2018 අප්‍රේල් 28 වන සෙනසුරාදා

කැන්ගරු රටේ ගී සැඳෑවක්

 2018 අප්‍රේල් 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 181

ඔබේ අතගෙන පෙර සැඳෑවක, ලොවේ කොයි කාටත් හොරෙන්, හමුවේවා, සීත කඳුරැල්ලේ, මටත් හොරෙන්, දෑසේ මල් විලේ, දේව මන්දිරේ වැනි ප්‍රේමණීය ගීත රැසක් ශ්‍රී ලාංකික රසික රසිකාවියන්ට තිළිණ කළ ප්‍රවීණ ගායන ශිල්පී රෝහණ සිරිවර්ධන අද දින ඕස්ට්‍රේලියාවේ බෙල්බර්න් නුවර සිය මුල්ම ඒකපුද්ගල ප්‍රසංගය පවත්වනු ඇත.

මෙල්බර්න් නුවර කීස්බරෝ නගරයේ චැන්ඩ්ලර් තියටර්හිදී අද සවස 6ට පැවැත්වෙන මෙම සංගීත ප්‍රසංගය ඔබේ අතගෙන ලෙස නම්කර තිබේ.
ඕස්ට්‍රේලියාව බලා පිටත්වීමට පෙරාතුව එහිදී පැවැත්වෙන ඔහුගේ මුල්ම ඒකපුද්ගල සංගීත ප්‍රසංගය ගැන අදහස් දක්වමින් රෝහණ සිරිවර්ධන ප්‍රවීණ කලා ශිල්පියා කියා සිටියේ විදෙස් ප්‍රසංගවලදී කලාතුරකින් දකින්නට ලැබෙන ඔහු වැනි ප්‍රවීණ ගායන ශිල්පීන් ශිල්පිනියන් එරටට ගෙන්වා එහි වෙසෙන රසික ප්‍රජාවට රසවින්දනාත්මක අත්දැකීමක් ලබාදීම උතුම් ක්‍රියාවක් බවය.

මෙම ප්‍රසංග මාලාව නම්කර තිබෙන්නේ නෑසෙන ගී කියලා. මෙහි සංකල්පය ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටින තරුණ සංගීතවේදියෙක් වන ඉන්ද්‍රජිත් මිරිහානගේ. ඕස්ට්‍රේලියාවේ සංගීත ප්‍රසංගවල නිතර නොදකින ජනප්‍රිය ගීත රැසක් රටට දායාද කර ඇති ප්‍රවීණ ගායන ශිල්පීන් ශිල්පිනියන්ගේ සංගීත ප්‍රසංග මෙල්බර්න් නුවරදී සංවිධානය කිරීමට ඉන්ද්‍රජිත් ගෙන තිබෙන තීරණය අගය කළ යුතු කටයුත්තක්. මෙම ප්‍රසංග මාලාවේ මුල්ම ප්‍රසංගය සඳහා මා හට ආරාධනා කිරීම ගැන මම ඉන්ද්‍රජිත්ට ස්තූතිවන්ත වෙනවා. මගෙන් පසු එවැනි ගායක ගායිකාවන්ට එවැනි ඉඩ ප්‍රස්ථාව ලැබෙනවා. මෙම ප්‍රසංගයේ සංගීත අධ්‍යක්ෂණය කරන්නෙත් ඉන්ද්‍රජිත්මයි. අපේ සංගීත ක්ෂේත්‍රයට සුවිශේෂී දායකත්වයක් ලබාදී තිබෙන ගායක ගායිකාවන් විශාල සංඛ්‍යාවක් ඉන්නවා. ඔවුන් වියපත් වන්නට කලින් මෙවැනි ප්‍රසංග තුළින් රසික හමුවට පත්කිරීම විශාල පිනක් කියලයි මට හිතෙන්නෙ, රෝහණ කීවේ ඔහුට දැනටමත් ඕස්ට්‍රේලියාවෙන් ලැබෙන ප්‍රතිචාර සිහිපත් කරමිනි.

මාත් එක්ක කොළඹ ආනන්ද විද්‍යාලයේ ඉගෙන ගත්තු මිතුරන් විශාල පිරිසක් ඕස්ට්‍රේලියාවේ පදිංචිවෙලා ඉන්නෙ. මම එහෙට එන බව ආරංචිවෙලා මගේ පාසල් මිතුරන් කීපදෙනෙක් කතා කළා. ප්‍රසංගය නරඹන්නත් එන බව කිව්වා. මගේ මිතුරන් වගේම එහි වෙසෙන අපේ ශ්‍රී ලාංකික කලා ශිල්පීන් ශිල්පිනියන් මුණගැසෙන්නත් මම ආසාවෙන් බලාගෙන ඉන්නවා. මේ ප්‍රසංගයට මම 70 හා 80 දශකවල ගායනා කළ ජනප්‍රිය වූ ගීත කිහිපයකුත් ගායනා කරන්න බලාපොරොත්තු වෙනවා, රෝහණ කීය.
රෝහණ සිරිවර්ධන ගායකයකු ලෙස පමණක් නොව නාට්‍ය ශිල්පියකු, ගුවන් විදුලි වැඩසටහන් නිෂ්පාදකවරයකු, හඬකැවීම් ශිල්පියකු හා චිත්‍ර ශිල්පියකු ලෙස සිය කුසලතාවන් ප්‍රකට කර තිබෙන සම්මානනීය ශිල්පියෙකි.

60 දශකයේ කරු අයියාගේ ළමා පිටියට බැඳුණු රෝහණ පසු කලෙක ගුවන් විදුලියේ විවිධ අංශයන්හි පළපුරුදු ශිල්පියකු ලෙස තම දස්කම් පිළිබිඹු කළේය. 1996 වසරේදී හොඳම සංගීත වැඩසටහන් නිෂ්පාදකවරයා ලෙස ජනාධිපති හා උණ්ඩා සම්මානවලටද පාත්‍ර වූ රෝහණ, කොළඹ ආනන්ද විදුහලේදී උසස් පෙළ විභාගය සමත් වූයේ විද්‍යා අංශයෙන්ය. එහෙත් ඔහු සතුව තිබූ කලා කුසලතාවන් රැසක් කුඩා කල සිටම ඔපමට්ටම් කරගැනීම සඳහා ඔහු දැඩි වෙහෙසක් ගත්තේය.
ඔහු සතුව තිබූ චිත්‍ර ඇඳීමේ හැකියාව හඳුනාගත් ගුරුභවතුන් පාසල් වේලාවෙන් පසුව ඔහුට චිත්‍ර පන්ති පැවැත්වීය. පසු කලෙක ප්‍රවීණ ගුරුවරුන් යටතේ චිත්‍ර ශිල්පය හැදෑරූ රෝහණ, සමස්ත ලංකා චිත්‍ර තරග ගණනාවක ජයග්‍රහණය අත්පත් කරගත්තේය.
ගුවන් විදුලි නාට්‍ය රැසක ප්‍රධාන චරිත සඳහා හඬකැවූ රෝහණ වඩාත් ප්‍රකට වූයේ වජිරා ගුවන් විදුලි නාට්‍යයේ නිමල්ගේ චරිතය හරහාය.

1970 දශකයේ සංගීත් නිපුන් සනත් නන්දසිරිගේ ස්වර්ණ කුණ්ඩල හා විශාරද නන්දා මාලිනීගේ ශ්‍රවණ රමණී ඒකපුද්ගල සංගීත ප්‍රසංගවල නිවේදක ලෙස කටයුතු කළේද රෝහණය.
2002 දී තම සහෝදර ගායක මොරිස් දහනායකගේ ජීවන හා කලා තොරතුරු අළලා ඔන්න ඕලු මලක් නමින් පොතක් රෝහණ සම්පාදනය කළේ යාපා බණ්ඩාර සෙනෙවිරත්න සමඟය.
ගුවන් විදුලියේ A ශ්‍රේණියේ ගායකයකු වූ රෝහණ වැඩසටහන් නිෂ්පාදකවරයකු ලෙසද තම කුසලතාවන් ප්‍රකට කළේය. එමගින් බොහෝ ශිල්පීන්ට හා නවකයන්ට අතහිත දුන්නේය.
1970 දී ච්‍රිත්‍රපට ක්‍ෂේත්‍රයට අවතීර්ණ වූ රෝහණ, පසු කලෙක ටෙලිනාට්‍ය කීපයකටද ගායනයෙන් දායක විය.

► Text – Ramesh Uvais / Pic – Internet