2018 අප්‍රේල් 28 වන සෙනසුරාදා

ලෝකයේ අලුත්ම රජ පැටියා

 2018 අප්‍රේල් 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 128

බ්‍රිතාන්‍ය රජ කිරුළේ පස්වැනි උරුමක්කාරයා ලෙසින් නව කුමරෙක් පසුගිය සඳුදා (23) ඉපදුණේය. කේම්බ්‍රිජ් ආදිපාදවරයා සහ ආදිපාදවරිය වන විලියම් කුමරුගේ සහ කේට් කුමරියගේ තෙවැනි දරුවා ලෙස ඔහු මෙලොව එළිය දුටුවේ පැඩින්ටන්හි ශාන්ත මේරි රෝහලේදීය. මීට පෙර ජෝර්ජ් කුමරු සහ චාලට් කුමරිය ඉපදුණේත් එහිදීය.

කේට් කුමරියව රෝහල්ගත කර තිබුණේ සඳුදා උදෑසන හයට පමණය. කෙසේ නමුත් කුමරු ඉපදුණු වේලාව ලෙස සටහන් වූයේ උදෑසන 11.01 ය. තෝප් බීස්ටන් සහ ඇලන් ෆාතින් යන එරට සිටින උසස්ම වෛද්‍යවරු දෙපළක් රාජකීය දරු උපත මෙහෙයවූ බව ද වාර්තා විය. 

අලුත් රජ කුමරා ඉපදී හෝරා කිහිපයකට පසු ඔහුගේ වැඩිමල් සොයුරා සහ සොයුරිය වන ජෝර්ජ් කුමරු සහ චාලට් කුමරියත් තම පියා වන විලියම් කුමරු සමඟ රෝහලට යන අයුරු දැකගත හැකි විය. විශේෂයෙන්ම පුංචි කුමරිය තම මලණුවන් දැකගැනීමට විශාල උද් යෝගයකින් පසු වූ බව දැකගන්නට ලැබුණි. රාජකීය මෝටර් රථයෙන් බට අවස්ථාවේදී සිටම එක් අතෙකින් තම පියාගේ අතේ එල්ලී ආ කුමරිය තම සිඟිති අත් ඔසවමින් අලුත් කුමරුගේ පැමිණීම සැමරීමට අවට රැස්ව සිටි ජනතාවට ආචාර කරන අයුරු ද ඉතාම සුන්දර දසුනක් විය. 

හෝරා කිහිපයකින් අනතුරුව විලියම් සහ කේට් යුවල අලුත උපන් කුමරා ද සමඟ මහජනයා ඉදිරියේ පෙනීසිටියහ. එහිදී මහත් ප්‍රීතිඝෝෂාවකින් ශාන්ත මේරි රෝහල ඉදිරිපිට පිරී ඉතිරී ගිය අයුරුද අන්තර්ජාල සජීවී විකාශය හරහා දැකගැනීමට ලැබුණි. 
විලියම් කුමරු නිල් පැහැ ඇඳුමින් සැරසී සිටි අතර කේට් කුමරිය සුදු පැහැ කොලරයක් සහිත රතු හැට්ටයකින් සැරසී උන්නාය. ඇගේ සහ විලියම් කුමරුගේ ඇඳුම්වල එකමුතුව (නිල්, රතු සහ සුදු) බ්‍රිතාන්‍ය ධජයේ වර්ණ වීම ද විශේෂත්වයක් විය. 1984 වසරේදී බිළිඳු හැරී කුමරු සමඟ ඩයනා කුමරිය ශාන්ත මේරි රෝහලෙන් පිටවූයේ ද සුදු කොලරයක් සහිත රතු හැට්ටයකින් සැරසීගෙනය. 

අතීතයේ බ්‍රිතාන්‍ය රාජකීය උරුමය හිමිවීමේදී කුමාරවරුන්ට ප්‍රමුඛස්ථානය ලැබුණු අතර කුමාරවරු නොමැති අවස්ථාවක පමණක් කුමරියකට අවස්ථාව ලැබිණි. නමුත් 2013 වසරේදී සම්මත කරගත් නව නීතියක් අනුව එම තත්ත්වය වෙනස් කෙරුණි. එනිසා අලුත් කුමරුගේ ඉපදීම නිසා චාලට් කුමරියට ඇති රාජකීය උරුමයේ වෙනසක් සිදුනොවන අතර ඇය තවදුරටත් බ්‍රිතාන්‍ය කිරීටයේ සිව්වැනි උරුමකරු වන්නීය. 

හදසර අතිරේකය මුද්‍රණයට යන විටත් අලුත් කුමරාට නමක් තබා තිබුණේ නැත. එහෙත් එංගලන්ත මාධ්‍ය වාර්තා කර තිබුණේ, ආතර්, ඇල්බට්, ෆෙඩ්රික්, ජේම්ස් හෝ පිලිප් වැනි නමක් කුමරුට යොදනු ඇති බවය.  මේ අතර අලුත් කුමරු වෙනුවෙන් බ්‍රිතාන්‍යයේ දේශපාලනඥයන්, කැන්ටබරියේ අගරදගුරු හිමියන් මෙන්ම ලොව වටා සිටින බොහෝ නායකයන්ගෙන් සුබපැතුම් එක්ව තිබුණි. 

බ්‍රිතාන්‍ය කිරුළේ නව උරුමකරුගේ පැමිණීම බ්‍රිතාන්‍ය වැසියන් උත්සවශ්‍රීයෙන් සමරන ආකාරය ද දක්නට ලැබුණි. රාජකීය පවුලට ආදරය කරන ඇතැම් පුද්ගලයන් දින 10 ක් 15 ක් තිස්සේ රෝහල අවට ස්ථානවල කඳවුරු ගසා සිටියහ. ඒ බොහෝ දෙනෙකු සතුව පරම්පරා කිහිපයක රාජකීය පවුලේ මතකයන් මෙන්ම අලුත් බිළිඳාට සුබපැතුම් සඳහන් විසිතුරු පුවරු ද දකින්නට ලැබුණි. 

මේ අතර ඉකුත් අඟහරුවාදා දිනය වනවිට රාජකීය බිළිඳාගේ උපත නිල වශයෙන් නිවේදනය කරමින් බකිංහැම් මාලිගයේ ඉදිරිපස මිදුලේ විශේෂ පුවරුවක නිවේදනයක් ද රඳවා තිබුණි. 

► Text — Rajitha

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00