2018 මැයි 05 වන සෙනසුරාදා

දැහැන

 2018 මැයි 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 112

ජීවිතේ හුඟක් මිනිස්සුන්ට වැරදෙන එක තැනක් ගැන ඔයත් එක්ක කතා කරන්න මට හිතුණා. ඒ තමා තමන්ගේ ජීවිතයට ළං කරගන්න මිත්‍රයන් ඇත්තටම මිත්‍රයන්ද නැත්නම් අවස්ථාවාදී මිත්‍රද්‍රෝහීන්ද කියන එක. හොඳ යාළුවෙක්, හදවතින්ම ඇතිවෙන මිත්‍රත්වයක් කියන්නේ ජීවිතයට ආශීර්වාදයක් ශක්තියක් වගේම සුබවාදී සෙවණැල්ලක්. ඒ වගේම අවස්ථාවාදී ක_ර මිත්‍රයෙක් කියන්නේ සරලවම කිව්වොත් හෙණයක් වගේ. එහෙම හෙණ ඕනතරම් ඔයාගේ ජීවිතේ මතත් පාත්වෙලා ඇති. මොනවා කරන්නද මිනිස්සු කාලා බලලා ආශ්‍රය කරන්නද? මගේ මුළු ජීවිත කාලෙදීම මට මුණගැහුණේ අවස්ථාවාදී මිත්‍රයන්.... ජීවිතේ දුක සැප බෙදාගන්න ජීවිතේට හරි පාරක් කියලා දෙන මිත්‍රයෙක් කවදාවත් මගේ ජීවිතේදී මට මුණගැහිලා නෑ. එහෙම කියන අය මට මගේ ජීවිතයේදී හමුවෙලා තියෙනවා. ඔයාට ඔයාගේ ජීවිතේදීත් හමුවෙලා ඇති. අපිව ජීවිතේ කියන මහා කන්දෙ මුදුනත ඔසවා තියන්නත් අපිව ජීවිතේ මහා ප්‍රපාතයකට අතහරින්නත් අපේ ජීවිතත් එක්ක බැඳෙන අපේ මිත්‍රයන්ට පුළුවන්.

බෞද්ධ දර්ශනය ප්‍රායෝගික ජීවිතයත් එක්ක මොනතරම් යථාර්ථවාදීද කියන එක අත්දැකීමෙන් වගේම අවබෝධයෙනුත් තේරුම් ගන්න පුළුවන්නම් ජීවිතයේ හුඟක් සංසිද්ධීන්වලට නොසැලෙන මනසකින් මුහුණ දෙන්න අපිට පුළුවන්. ඇසුරට තෝරා ගත යුතු මිත්‍රයන් සේම ඇසුරින් අත්හල යුතු මිත්‍රයන් ගැනත් බෞද්ධ දර්ශනය අන්තර්ගතයෙහි ඉතාමත් පැහැදිලිව විවරණය කරලා තියෙනවා. ඒත් ජීවිතේ යනෙන හැම මඟ තොටකදීම අපට කල්‍යාණ මිත්‍ර සම්පත්තිය කියන සැපය ධර්මතාවය අත්විඳින්න ලැබෙන්නේ නෑ. සුලබ නොවෙන්නේ අත්හල යුතු මිත්‍ර වේශධාරීන්. එකට එකතු වෙන්නේ එක අත්තෙ වහන්නේ එක පාට අත්තටු තියෙන කුරුල්ලන් කීවට නොගැලපෙන කුරුල්ලනුත් සමාගමය තුළ ගැලපෙන අවස්ථා ඕනතරම් තියෙනවා. මඟ වරද්දගන්න හරි ලේසියි. වරද්දවන්නත් හරි ලේසියි. වැරදෙනකම් ලැබෙන වින්දනයත් හරි මිහිරියි. එහෙත් ඒ මිහිර යට හැංඟුණු සීතල වේදනාවන්ගේ උණුසුම හදවතට දරාගන්න බැරි දවසක් නොවැරදීම එන්න පුළුවන්.

ජීවිතය මහා කාන්තාරයක් වගේ දැනෙන මොහොතක මහා වැස්සක් වගේ  වහින්න සැබෑ මිත්‍රයෙකුට පුළුවන්. ඒ මහා කාන්තාරයේ කුසුමක් වී පිපෙන්න සැබෑ මිත්‍රයෙකුට පුළුවන්. ජීවිත දාහය දුරකට ගෙනියන සිහිල් සුළඟක් වෙන්න යහපත් මිත්‍රයෙකුට පුළුවන්. ජීවිතය කියන මහපොළොවේ අලුත් බලාපොරොත්තු සාරෙට අස්වද්දන්න උදව්වක් වෙන්න ඒ වෙනුවෙන් දරදිය අදින්න සැබෑ මිත්‍රත්වයකට පුළුවන්. සැබෑ මිත්‍රයෙක් ජීවිතයට මහා සෙවණැල්ලක් ආශිර්වාදයක් කියලා මට ඔයත් එක්ක කියන්න හිතුණෙ ඒකයි. ඒ සුවඳ හදවතින් විඳගන්න අවකාශය අපි හුඟ දෙනෙක්ට හිමි නෑ.

හුදෙකලාව සහ හොඳ පොතක් භාවාත්මක සංධ්වනියක් දනවන ගීයක් කවියක් ඔයාට පුළුවන්නම් ඔයාගේ හොඳම සහ ළඟම මිත්‍රයන් බවට පත්කරගන්න ඒ මිත්‍රයන් ඔයාට හරිම සියුම් විදිහට ජීවිතයේ රස භාව ගැන කියාදෙයි. අපි හැමෝගෙම ජීවිතේ කැරකෙන්නේ අට ලෝ දහම දුක සැප නින්දා ප්‍රශංසා ලාභ අලාභ යස අයස කියන චක්‍රය ඇතුළෙ. ජීවිතයේ සියලු විඳීම් හා විඳවීම් අවසානයේ ලඝුවෙන්නේ ඒ ධර්මතාවයේ සීමාවන් ඇතුළෙ. ඒ අවබෝධය ඔයාට ඔයා තුළ ඇති කරගන්න පුළුවන්නම් ඔයා ජීවිතයේ කිසිදෙයක් වෙනුවෙන් කවදාවත් අඬන එකක් නෑ. සතුට ඔයාගේ ජීවිතයේ පරමාදර්ශය සහ සිහිනය බවට පත්වේවි නිසැකයෙන්ම.

I saa