2018 මැයි 05 වන සෙනසුරාදා

මොන පිස්සෙක්ද මේ...?

 2018 මැයි 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 98

කර්ම භූමි 09

ඒ පාර මේකා මොකක්ද ඒ පොළොවේ ගැහැව්වේ?
මේ ගෑනිනම් කුඩම්මෙක් නෙවෙයි යක්ෂණියක්.... මම එහෙම කියන ගමන් බිම අතහැරුණු පිඟාන අතට ගත්තා. පිඟාන පුරා සිරිසිරියට කූඹි. උන් මගේ අත දිගේ උඩටම නගින්න පටන් ගත්තා... දෙවැනි වතාවටත් මගේ අතින් පිඟාන අතහැරුණේ ඒ කූඹි වේදනාවක් දනවමින් මගේ අත හපන්න ගනිද්දී..

මොන පිස්සෙක්ද මේ...? කුඩම්මා එහෙම කියාගෙන මගේ ළඟටම ආවා...
මගේ පිඟාන.. ඔයාට මොකද?
ඔයාට මොකද අහන්නේ.... මම කවුද කියලා මුලක ඉඳන් කියලා දෙන්න ඕනැද?
මේක මගේ තාත්තගේ ගෙදර..
කුඩම්මා ගස්සාගෙන එතනින් ගියේ දඩාස් ගාලා දොරටත් පයින් පාරක් ගහගෙන.. ඒ අස්සේ මගේ අත හොඳ හැටියට කූඹි කෑවා.. මට තරහා ආවේ මගේ අත කෑව කූඹි ගැන නෙවෙයි.. මට මගේ ගෙදර නැති කරන්න හදන මගේ මැරුණු අම්මව මේ ගෙදරින් එලවන්න හදන කුඩම්මා ගැන. මම හිස් පිඟානත් අරගෙන කුස්සියට ගියා. 

කෝ දෙනවා මෙහාට පිඟාන... කුඩම්මා ඊළඟට මූණ ඇඹුල් කරගෙන ආයෙත් මගේ දිහාට හැරුණා. 
යනවා හෝදගෙන එනවා පිඟාන.. ෂික් කිසිම පිරිසිදුකමක් නැති ළමයෙක්. 
මම එහෙන් මෙහෙන් පිඟාන හෝදගෙන ගිහින් කුඩම්මට දික් කළා. කුඩම්මා ඒ පිඟානට අල පරිප්පු එක්ක බත් බෙදුවේ හරිම පරිස්සමින්. 

දැනගන්නවා ආයෙ එහෙම ඊයේ කළා වගේ වැඩක් කළොත් එහෙම ආයේ ජීවිතේට මේ ගෙදරින් බත් නෑ.. මම මූණ පුම්බගෙන ගිහින් සාලයේ පැදුරේ ඉඳගත්තා. අම්මා ඒ කාලෙ මාව ළඟින් ඉන්දවාගෙන බත් කැව්වේ මේ පැදුරේ ඉඳන්.. රෑට බත් කවද්දී අම්මා එක එක පුංචි කතන්දර කියලා දුන්නා.. ඒ හුඟක් කතන්දර ඇතුළෙ තිබුණේ හඳ ගැන, තරු ගැන, ආදරය ගැන පුංචි පුංචි කතා.. අම්මා එක බත් කටක් කවලා මම හෙමි හෙමින් ඒ බත් කට හපනකම් මගේ දිහාම බලාගෙන හිටියා.. අම්මගේ ආදරය මට හුඟක්ම දැනුණේ එයාගේ ඇස්වලින්.. අම්මා හුඟක්ම කතා කළෙත් එයාගේ ඇස් කොණින්. අම්මගේ හුස්මක පවා මොන සීතලකදී වුණත් උණුසුමක් තිබුණා...
ඒ පාර අහස දිහා බලාගෙන ඉන්නවා.. ඇත්තටම මේ ළමයට මොකක්හරි ඔළුවේ අමාරුවක් තියෙනවද?
කුඩම්මා එහෙම කියාගෙන ලොකු බත් පිඟානක් තාත්තට බෙදලා එයාට කතා කළා. 
කාලා ඉවර කරන්න ඉක්මනට 
මට බත් කන්න පැයක් විතර යනවා. 
ඒක යකාගේ කෑමක්නේ 

මම ඇස් දෙක දිගේ ගලාගෙන ගිය කඳුළක් පිටි අත්ලෙන් පිහදාන ගමන් අල්ලෙන් බත් අනන්න පටන් ගත්තා.
ඒ ඒ මොකක්ද ඒ බත් අනන විදිහ.. අම්මා බත් අනන්නවත් කියලා දුන්නේ නැද්ද?
ඔයා මගේ අම්මට බණින්න එපා.. මම ආසා නෑ මගේ අම්මට කවුරුත් බණිනවට 

කුඩම්මා මට ගස්සාගෙන තාත්තට බත් කන්න කතා කරන ගමන් කෑම මේසයෙන් වාඩි වුණා. 
දෙවියනේ දරුවන්ට තාත්තලා නැති කළාට කමක් නෑ.. ඒත් අම්මලාවනම් නැති කරන්න එපා.. අම්මා කෙනෙක් නැතුව ඉන්න බෑ.. පාළුයි.. ඉවසගන්න බැරි තරම් පාළුයි.. දෙවියෝ මගේ ලෝකයෙන් අනිත් ඔක්කොම උදුරා ගත්තත් මට කමක් නෑ.. ඒත් ඇයි මගේ අම්මව උදුරා ගත්තේ...

අහසේ ඈත කොණක තරු තැනින් තැන දිලිසෙමින් තිබුණා. ඒ තරැ තරමටම මගේ හිත මලානික හැඟීමකින් ඔත්පල වෙලා තිබුණා. අම්මා ඒ හඳේ කොතැනක හරි ඉඳන් මගේ දිහා බලාගෙන ඇති කියලා මට හිතුණා. කුඩම්මා තාත්තා එක්ක හිනාවෙවී බත් කද්දී එකම එක වතාවක්වත් මගෙන් තව අල කෑල්ලක් දෙන්නද කියලා ඇහුවේ නෑ..

පෙරේතයෙක් වෙච්ච මගේ හිත මොකද්දෝ වේදනාවකින් රිදුම් දෙන්න පටන් ගත්තේ තව අල කෑලි තුන හතරක් කන්න තියෙන පෙරේතකමත් එක්ක.
ඔයා උදේ ගෙදරින් ගියාම ආයේ ගෙදර එන්නේ හොඳටම රෑ වෙලා... මේ ළමයත් මහ කරුමයක්... අනේ මන්දා.
මොකද ඔයා අමර්ව වඩාගෙන ඉන්නවද? නෑනේ. ඒ ළමයා ඒ ළමයා ගැන බලාගනියි. ඔයා ඔයාගේ වැඩක් කරගන්න.
ඔයා එහෙම කීවට මේ ළමයා කොයි වෙලේ මොන අසමජ්ජාති වැඩක් කරයිද කියලා මම හරි බයෙන් ඉන්නේ.
ඔයාට ඕන විදිහට ගහලා බැනලා හරි හදාගන්න. එහෙම නැතුව මම අමර්ව ගෙදරින් එලවන්නද.. ඒ මගේ දරුවනේ.
ඔයාගේ දරුවනම් තමයි.. ඒත් ඒ ළමයට හරියට බත් ටික අනාගන්නවත් ඒ ළමයගේ අම්මා උගන්නලා නෑ.
තාත්තා මොකුත් නොකියා පිඹුරෙක් වගේ ලොකු බත් කටවල් ගිලින දිහා මම ඇස් කොණකින් බලාගෙන හිටියා.
ඔයාත් එන්න එන්නම වයසට යනවා.

කුඩම්මා කියන දේවල් බත් ගිලින ගමන් තාත්තා වගේම මාත් අහගෙන හිටියා.
නැතුව... කවුද එන්න එන්න වයසට නොයා එන්න එන්න තරුණ වෙන්නේ?
නෑ මම කීවේ අපි මේ ගෙදරට තව පොඩි දරුවෙක් ගේන්න ඕන.

තාත්තා ඒ පාර බත් කන එක නතර කරලා කුඩම්මා දිහා බලන්න ඇති කියලා මට හිතුණේ ඒ දෙන්නා අතරේ ඇති වෙච්ච නිහඬතාවය හින්දා.
මේ දේපලවලට තනි උරුමක්කාරයෙක් ඉන්නවට වඩා තව උරුමක්කාරයෙක් හිටියොත් නරකද සමර්කාන්ත්...? කුඩම්මා මහ කපටි ගෑනියෙක් කියලා මට හිතුණේ කීවෙනි වතාවටද මන්දා. මොනවා වුණත් තාත්තාටම ගැලපෙන අම්මණ්ඩි.
මට තව අල ඕනෑ... මම හයියෙන් එහෙම කියද්දි කුඩම්මයි තාත්තායි දෙන්නම කතාව නවත්තලා මහ පුදුමයකින් වගේ මගේ දිහා බැලුවා.

 

► අනුවර්තනය : චන්දන වරාවිටගේ &  සංජු

 

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00